“අලමෙතෙහි අම්බෙහි” (මේ අඹවලින් මට වැඩක් නැත) යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි දේවදත්ත තෙරුන් බුදුරජුන් මැරීමට ගත් උත්සාහය අරබයා වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ “දේවදත්ත තෙම තමන් වහන්සේ මැරීමට උත්සාහ කරන්නේ යැ”යි අසා, “මහණෙනි, දේවදත්ත මා මැරීමට උත්සාහ කළේ දැන් පමණක් නොවේ; පෙරත් උත්සාහ කළේ ම ය. එහෙත් මට බිය වැද්දීමක්වත් කරන්නට (ඔහුට) නොහැකි වී යැ”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කල්හි හිමාල වන ප්‍රදේශයෙහි බෝසතාණන් වහන්සේ වඳුරු යෝනියෙහි උපන් සේක. උන්වහන්සේ ඇතුන්ගේ කායික බලය ඇත්තා වූ ද, මනා කාය ශක්තියෙන් යුක්ත වූ ද, මහත් වූ ශරීර ඇත්තා වූ ද, ශෝභා සම්පන්න වූවෙක් වී ගංගා වකක පිහිටි වන ලැහැබක වාසය කළහ. එකල ගඟෙහි එක් කිඹුලෙක් ද විසී ය. ඉක්බිති ඔහුගේ භාර්යාව බෝසත් වඳුරාගේ ශරීරය දැක ඔහුගේ හෘදය මාංශය කෙරෙහි දොළදුකක් උපදවාගෙන කිඹුලාට, “ස්වාමීනි, මම ඒ වඳුරු රජුගේ හෘදය මාංශය කනු කැමැත්තෙමි”යි කීවා ය. එවිට කිඹුලා, “සොඳුරිය, අපි ජලයෙහි හැසිරෙන්නෝ වෙමු. වඳුරා ගොඩබිම හැසිරෙන්නෙකි. එබැවින් ඌ අල්ලා ගන්නට කෙසේ හැකි වන්නෙම් ද?”යි ඇසී ය. “යම්කිසි උපායකින් අල්ලා ගන්න. ඉදින් නොලබන්නෙම් නම් මැරෙන්නෙමි”යි ඕ තොමෝ කීවා ය. “එසේ නම් ශෝක නොකරන්න. එක් උපායක් ඇත. ඌගේ හෘදය මාංශය ඔබට කවන්නෙමි”යි කිඹුලිය සනසා, බෝසතාණන් වහන්සේ ගඟින් පැන් බී ගංතෙර හිඳින වේලාවක (කිඹුලා) සමීපයට ගොස් මෙසේ කීවේ ය. “වඳුරු රජාණෙනි, මේ ප්‍රදේශයෙහි කසට රස ඇති ගෙඩි කන්නේ මන්ද? ඔබ පුරුදු තැනම හැසිරෙන්නෙහි ද? ගඟින් එගොඩ අඹ, දෙල් ආදී මිහිරි පළතුරුවල කෙළවරක් නැත. ඔබට එහි ගොස් ලොකු කුඩා පලවැල කන්නට නොවටින්නේ ද?” “කිඹුල් රජාණෙනි, ගඟ මහ දිය කඳකින් යුක්ත ය, ඉතා පුළුල් ය. කෙසේ එහි යන්නෙම් ද?” “ඉදින් කැමති නම් මම ඔබව මගේ පිට මත තබාගෙන ගෙන යන්නෙමි”යි (කිඹුලා) කී ය. වඳුරා එය අදහාගෙන “යහපතැ”යි පිළිගත්තේ ය. “එසේ නම් එන්න, මගේ පිට මතට නගින්නැ”යි කී කල්හි (වඳුරා) එසේ නැංගේ ය. කිඹුලා ටික දුරක් ගෙන ගොස් (වඳුරා) දිය යට ගිල්ලවන්නට විය.
කිඹුලාගේ පිට මත යන බෝධිසත්වයන් වහන්සේ
බෝසතාණන් වහන්සේ, “යහළුව, මා වතුරෙහි ගිල්වන්නෙහි ද? මේ කුමක් ද?”යි ඇසූ හ. “මම ඔබව ධර්මයේ ස්වභාවය සලකා (මිත්‍ර ධර්මයෙන්) රැගෙන නොයන්නෙමි. මාගේ භාර්යාවට ඔබේ හෘදය මාංශය කෑමට දොළක් උපන්නේ ය. මම ඔබේ හදවත ඇයට කවනු කැමැත්තෙමි”යි (කිඹුලා) කී ය. “යහළුව, (සැබෑව) ප්‍රකාශ කිරීමෙන් ඔබ යහපතක් කළේ ය. ඉදින් අපගේ බඩෙහි හදවත තිබුණේ නම්, ගස්වල අතු අග හැසිරෙන විට එය සුණු විසුණු වී යනු ඇතැ”යි (වඳුරා) කීවේ ය. “එසේ නම් තොපි එය කොතැනක තබන්නහු ද?”යි කිඹුලා ඇසී ය. බෝසතාණන් වහන්සේ නුදුරෙහි ඉදුණු ගෙඩි පොකුරු ඇති දිඹුල් ගසක් පෙන්වමින්, “බලන්න, අපගේ හදවත් ඒ දිඹුල් ගසේ එල්ලෙන්නේ ය”යි කී හ. “ඉදින් මට හදවත දෙන්නෙහි නම් මම ඔබව නොමරන්නෙමි”යි (කිඹුලා) කී ය. “එසේ නම් මා එහි ගෙන යන්න. මම ගසෙහි එල්ලෙන (හදවත්) ඔබට දෙන්නෙමි”යි වඳුරා කීවේ ය. කිඹුලා වඳුරාව රැගෙන එහි ගියේ ය. බෝසතාණන් වහන්සේ (කිඹුලාගේ) පිටින් පැන දිඹුල් ගසට නැග, එහි හිඳ, “යහළු මෝඩ කිඹුල, මේ සතුන්ගේ හදවත නම් ගස්වල අතු අග තිබේ යැයි ඔබට සිතුණේ ද? ඔබ මෝඩයෙකි. මම ඔබව රැවටුවෙමි. ඔබේ පළතුරු ඔබට ම වේවා! ඔබේ ශරීරය විශාල වුව ද (ඊට සරිලන) නුවණක් නැතැ”යි කියා මේ කරුණු පැහැදිලි කරමින් පහත ගාථා වදාළ සේක.
“ගඟෙන් එතෙර ඇති යම් අඹ ද, දම් ද, කොස් ආදියක් වෙත් ද, ඒ පලතුරු වලින් මට කම් නැත. මේ මහ මුහුදක් වන් ගඟෙන් මෙගොඩ පිහිටි මගේ දිඹුල් ගස ම මට උතුම් ය.”
“කිඹුල, නුඹේ ශරීරය නම් මහත් ය. එහෙත් ඊට යෝග්‍ය වූ නුවණක් (නුඹට) නැත. මා විසින් නුඹ රවටන ලද්දෙහි ය. දැන් කැමති සේ යව.”
යනුවෙන් මේ ගාථාවන් වදාළ සේක.
එහි අලමෙතෙහි යනු ඔබ විසින් පෙන්වන ලද ඒ පලතුරු මා විසින් දක්නා ලදී; ඒවායින් මට කම් නැත (වැඩක් නැත). වරං මය්හං උදුම්බරො යනු මට මේ දිඹුල් ගස ම උතුම් ය. බොන්දි යනු ශරීරයයි. තදූපිකා යනු ඔබේ නුවණ වනාහි ඒ ශරීරයට යෝග්‍ය පරිදි (ප්‍රමාණවත්ව) පිහිටා නැත. ගච්ඡ දානි යථාසුඛං යනු දැන් ඉතින් සුවසේ යන්න; නුඹට හෘදය මාංශය ලබා ගැනීමේ උපායක් නැත යන අර්ථයි. (එවිට) කිඹුලා දහසින් පරාජිතයෙකු සේ දුක් දොම්නස් ඇතිව, ශෝකයෙන් ලතවෙමින් තමන්ගේ වාසස්ථානයට ම ගියේ ය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව පූර්වපර සන්ධි ගළපා නිමවා වදාළ සේක. “එකල කිඹුලා වූයේ දැන් දේවදත්ත ය. කිඹුලිය වූයේ චිංචි මානවිකාව ය. වඳුරු රජා නම් (ලොව්තුරු බුදු වූ) මම ම වෙමි”යි වදාළ සේක.
අටවැනි වූ සුසුමාර ජාතක වර්ණනාවයි.