තවද එක් සමයක, සියලු ගුණයන්ට නිධානයක් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඇසුරු කොට ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, වීර්යය අතහැර දැමූ (පසුබට වීර්යය ඇති) භික්ෂූන් වහන්සේ නමක් අරභයා මෙම ජාතකය දේශනා කොට වදාළ සේක.
ඒ කෙසේද යත්, වීර්යය අතහැර දැමූ ඒ භික්ෂූන් වහන්සේව, පෙර පරිද්දෙන්ම අනෙක් භික්ෂූන් වහන්සේලා විසින් බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන අවුත් දැක්වූ කල්හි, බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ අමතා, “එම්බල මහණ, තෝ මෙබඳු වූ මාර්ග ඵල ලබා දෙන ශාසනයක මහණ වී වීර්යය අතහරින්නෙහිද? ලක්ෂයක් වටිනා ඝන රන් තලියෙන් (පාත්‍රයෙන්) පිරිහුණු සේරිවාණිජ වෙළෙන්දා මෙන් ඔබත් බොහෝ කාලයක් ශෝක කරන්නෙහිද?” යැයි වදාරා නිහඬව වැඩ සිටි සේක.
එකල්හි එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේලා සිවුරු සකසා පොරවා, ඵල බරින් නැමුණු කෙසෙල් ගසක් මෙන් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත්ව, නළලෙහි දෑත් තබා වන්දනා කරමින්, භක්තියෙන් හා ප්‍රේමයෙන් යුතුව, එම කාරණය ප්‍රකාශ කරන ලෙස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ වෙනත් භවයක සැඟවී තිබූ ඒ කාරණය ප්‍රකාශ කරමින් අතීත කථාව මෙසේ වදාළ සේක.
අතීතයේ මෙම කල්පයට පස්වැනි වූ කල්පයේදී මහා බෝධිසත්වයන් වහන්සේ, සේරිව රාජ්‍යයෙහි රන් ආභරණ ආදිය බහාලූ පසුම්බිය කිහිල්ලේ රඳවාගෙන වෙළඳාම් කරන හෙයින් ‘කච්ඡපුට වාණිජ’ නම් වූ වෙළෙන්දෙක්ව උපන්හ.
ඒ වෙළෙඳාණෝ ‘සේරිවාණිජ’ නම් වූ එක් ලෝභී වෙළෙන්දකු සමඟ නීලවාහිනී නම් වූ ගඟෙන් එගොඩ වී, අන්ධපුර නම් නුවරට ඇතුළු වී, නුවර වීථි (පාරවල්) බෙදාගෙන තමන්ට අයත් වූ වීථියෙහි බඩු විකුණමින් ඇවිදිති. අනෙක් ලෝභී වෙළෙන්දාද තමාට අයත් වූ වීථියෙහි බඩු විකුණමින් ඇවිදින්නේය.
එකල්හි ඒ නුවර එක් සිටු කුලයක පිරිස ඉතා දුප්පත් තත්ත්වයට පත්ව සිටියහ. ඔවුන්ගේ සියලු සහෝදරයන්, දරුවන් සහ වස්තුව විනාශ වී ගොස් තිබුණි. එක් මිණිබිරි දැරියක් තම ආච්චි අම්මා (මුත්තණියන්) සමඟ පමණක් නොනැසී ඉතිරිව සිටියාය. ඔවුන් දෙදෙනාම අනුන්ට බැලමෙහෙවර කොට ජීවත් වෙති.
මොවුන් දෙදෙනාගේ ගෙදර, පැරණි මහා සිටුතුමා බත් අනුභව කළ රන් තලියක් (පාත්‍රයක්) අනෙකුත් වලං අතර තිබී, බොහෝ කලක් ප්‍රයෝජනයට නොගත් හෙයින් මලකඩ බැඳී (කුණු දූවිලි බැඳී) තිබුණි. ඒ වන තුරුම ඔවුන් දෙදෙනා එය රන් තලියක් බව නොදනිති.
එකල අර ලෝභී වෙළෙන්දා “කාදා වළලු ගන්න” යැයි කියමින් ඇවිදින්නේ ඒ අයගේ නිවස දොරටුවට පැමිණියේය. ඒ ගෙදර සිටි කුමාරිකාව වෙළෙන්දා දැක ආච්චි අම්මාට කතා කොට, “මෑණියනි, මට එක් පළඳනාවක් ගෙන දෙන්න” යැයි කීවාය.
ඒ අසා ආච්චි අම්මා, “අපි ඉතා දිළිඳු ය. කුමක් දී පළඳනා ගන්නද?” යැයි කීවාය.
එවෙලෙහි ඒ කුමාරිකාව කියන්නී, “අපේ ගෙදර එක් තලියක් ඇත. ඒ තලියෙන් අපට කිසි ප්‍රයෝජනයකුත් නැත. මේ තලිය දී දමා වළලු ගැනීම යහපත්ය” යැයි කීවාය.
මුත්තණියෝ ඒ කුමාරිකාවගේ ඉල්ලීම බලවත් හෙයින් වෙළෙන්දා කැඳවා, අසුනක හිඳුවා තලිය දී, “ස්වාමීනි, මේ තලිය රැගෙන ඔබගේ නැගණියට යම් කිසි පළඳනාවක් දුන මැනව” යැයි කීවාය.
ඒ ලෝභී වෙළෙන්දා තලිය අතට ගෙන ‘මේ රන් තලියක් වැනිය’ යි සිතා, තලියේ පිට පැත්ත ඉඳිකටුවකින් ඉරක් ඇද එය රන් බව දැන ගත්තේය. ‘මොවුන්ට කිසිවක් නොදීම මේ තලිය රැගෙන යමි’ යි සිතා, “මේ තලිය කුමක් වටීද? අඩ මදටකුත් (ඉතා සුළු මුදලක්වත්) පමණ මේ තලියට වටිනාකමක් නැත්තේය” යැයි කියා එය බිමට දමා හුනස්නෙන් නැගිට ගියේය.
වෙළඳ නීතියට අනුව එක් කෙනෙකු ඇතුළු වී පිටව ගිය වීථියට අනෙක් වෙළෙන්දාට ඇතුළු වීමට අවසර ඇත්තේය. එබැවින් බෝධිසත්වයන් වහන්සේ ඒ වීථියට ඇතුළු වී, “කාදා වළලු ගන්න” යැයි කියමින් එම ගෙදර දොරටුවට පැමිණියහ.
නැවතත් ඒ කුමාරිකාව පළමු පරිද්දෙන්ම ආච්චි අම්මාට කියන්නී, “මෑණියනි, මට වළලු රැගෙන දුන මැනව” යැයි පෙරැත්ත කළාය.
එකල්හි මුත්තණියෝ කුමාරිකාවට කියන්නී, “දියණියනි, කලින් පැමිණි වෙළෙන්දා තමාට දුන් තලිය බිමට දමා ගියේය. දැන් කුමක් දී ගනුමෝදැ?” යි කීවාය.
ඒ අසා කුමාරිකාව කියන්නී, “මෑණියනි, ඒ වෙළෙන්දා තද පරුෂ වචන ඇත්තෙකි. මේ වෙළෙඳාණෝ වූ කලී ප්‍රිය වූ දැකුම් ඇත්තෝය. මෘදු මොළොක් වූ කථා ඇත්තෝය. එසේ හෙයින් මේ තලිය රැගෙන දී මට පළඳනා රැගෙන දුන මැනව. වළලු නම් යහපත් වේ දැයි” යි කීවාය.
ඒ කුමාරිකාවගේ බස් අසා මුත්තණියෝ, “එසේ නම් කැඳවන්න” යැයි කියා වෙළෙඳාණන් කැඳවූහ. ඉක්බිති ගෙට වැද වැඩ උන් බෝධිසත්වයන්ට ඒ තලිය දුන්නාහ.
බෝධිසත්වයන් වහන්සේ ඒ තලිය රන් තලියක් බව දැන කියන්නාහු, “මෑණියනි, මේ තලිය අගනා තරම් බඩු මා අත නැතැ” යි කීහ.
ඒ අසා කුමාරිකාවගේ මුත්තණියෝ කියන්නී, “පළමු ආ වෙළෙඳාණෝ ‘මේ තලිය අඩ මදටකුත් වටින්නේ නැත’ යි කියා බිමට දමා ගියෝය. ස්වාමීනි, මේ තලිය වූ කලී ඔබගේ කුසලයෙන් රත්රන් වී ගියා වැනිය. අපි ඔබට මේ තලිය දෙමු. අපට යන්තම් දෙයක් දී දමා මේ තලිය රැගෙන ගිය මැනව” යි කීවාය.
බෝධිසත්වයන් වහන්සේ එකෙණෙහි තමා අත තිබූ පන්සියයක් කහවණු හා පන්සියයක් අගනා බඩු දී, මුළු වටිනාකමම දී, “මට මේ තරාදි කඳ සහ බඩු පසුම්බියත්, කහවණු අටකුත් දුන මැනව” යි කියා මෙපමණක් ඉල්ලාගෙන පිටත්ව ගියහ.
මහා බෝසතාණෝ වහ වහා ගං ඉවුරට ගොස් ඔරු පදින තොටියාට කහවණු අටක් දී ඔරුවට පැන නැග්ගාහුය.
ඉක්බිති ඒ ලෝභී වෙළෙන්දා නැවතත් ඒ ගෙදරට ගොස්, “පළමු මා බලා දමා ගිය තලිය ගෙනෙව. යන්තම් මිලයක් තොපට දෙමි” යි කියා ඉල්ලීය.
ඒ අසා කුමාරිකාවගේ මුත්තණියෝ ඔහුට බැණ වදිමින්, “අපගේ ලක්ෂයක් වටිනා ඝන රන් තලිය අඩ මදටක්වත් නොවටිනා බව කීවෙහිය. නුඹට ස්වාමි දරුවකු වැනි වූ එක් ධර්මිෂ්ඨ වෙළෙඳාණ කෙනෙක් අපට දහසක් මිල දී ඒ තලිය රැගෙන ගියෝය” යි කීවාය.
ඒ අසා හෙතෙම, “ලක්ෂයක් වටිනා ඝන රන් තලියෙන් පිරිහී ගියෙම් වේදැයි, මට වූයේ බලවත් හානියෙකැ” යි උපන්නා වූ බලවත් ශෝක ඇතිව, සිහි එළවා ගැනීමට නොහැකිව සිහිසුන් විය. තමා අත තිබූ කහවණුත් බඩුත් ඒ ගෙදරම වගුරුවා, ඇඳ සිටි රෙදි සහ පෙරවූ රෙදි ඉවත දමා, තරාදි කඳ මුගුරක් මෙන් අල්ලාගෙන බෝධිසත්වයන් පසුපස ලුහුබැඳ ගියේය.
ගං ඉවුරට පැමිණි ඔහු, යන්නා වූ බෝධිසත්වයන් දැක, “එම්බල තොටිය, ඔරුව නවත්වව! නවත්වව!” යි කියා අඬගා කීවේය.
ඒ අසා බෝධිසත්වයන් වහන්සේ තොටියාට කියන්නාහු, “ඔරුව ආපසු නොහරවව, නොනවත්වව” යි කියා වැළැක්වූහ.
තමා කී බස් නොපිළිගෙන, ඔරුව නොනවත්වා පදිනා ඔරුවෙන් යන්නා වූ බෝධිසත්වයන් දෙස බලා සිටියා වූ ඒ ලෝභී වෙළෙන්දාට බලවත් වූ ශෝකයක් උපන්නේය. ලය උණු වී ගියේය. කටින් උණු ලේ පිට විය. වැවක ඉවුරු බැම්ම පැලී යන්නාක් මෙන් ඔහුගේ හදවත පැලී ගියේය.
ගං ඉවුරේ සිටින කෝපාවිෂ්ට සේරිවාණිජ වෙළෙන්දා සහ ගඟ මැද ඔරුවේ යන බෝධිසත්වයන් වහන්සේ
ඒ ලෝභී වෙළෙන්දා බෝධිසත්වයන් කෙරෙහි වෛර බැඳ එතැන්හිම ජීවිතක්‍ෂයට පැමිණියේය. මේ වනාහි බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ පළමුව ඇති වූ වෛර බැඳීම වන්නේය.
බෝධිසත්වයන් වහන්සේ දානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා, මත්තෙහි ධර්ම දේශනා කොට වදාරන සේක්, “යම් සේ පෙර සේරිවාණිජ නම් වෙළෙන්දා ලක්ෂයක් වටිනා රන් තලිය නොලැබ, ඒ තලිය ලබා ගැනීමට වීර්යය නොකොට, ඒ තලියෙන් පිරිහී ශෝක කළේද? පශ්චාත්තාපයට පැමිණියේද? මහණ, එපරිද්දෙන්ම තොපිත් මේ ශාසනයෙහි සරහා පිළියෙළ කරන ලද රන් තලියක් වැනි වූ ආර්ය මාර්ගයට, පසුබට වීර්යය ඇති බැවින් නොපැමිණ, ඒ මාර්ග ඵලයෙනුත් පිරිහී බොහෝ කලක් ශෝක කරන්නාහුය.”
“ඉදින් තෝ වීර්යය නොහැරියෙහි නම්, නුවණ ඇති වෙළෙඳාණන් රන් තලිය ගෙන ප්‍රයෝජන වින්ද කලක් මෙන්, මාගේ ශාසනයෙහි නවවිධ ලෝකෝත්තර ධර්මය ලබන්නෙහි වේ දැයි” මෙසේ ඒ සර්වඥයන් වහන්සේ නැවතත් ඒ භික්ෂූන් වහන්සේට අර්හත් ඵලය කුළුගන්වමින් ධර්ම දේශනා දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක.
චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අවසානයේදී, පසුබට වීර්යය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. තවද බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ සේරිවාණිජ ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි අඥාන වෙළෙන්දා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි නුවණ ඇති වෙළෙන්දා නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.