“සබ්බෙසු කිර භූතෙසු” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සමයෙහි එක්තරා කුහක භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. කථා වස්තුව ඉහත කියන ලද පරිදිමය.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයෝ කාසි රට බමුණු කුලයක ඉපිද, වැඩිවියට පත්ව තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන, ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූහ. උන්වහන්සේ අභිඥා හා සමාපත්ති උපදවාගෙන මහත් පිරිවර ඇති ගණශාස්තෘවරයෙකු වී හිමාල වනයෙහි වාසය කළහ. එහි බොහෝ කලක් වාසය කොට ලුණු ඇඹුල් සෙවීම පිණිස පර්වතයෙන් බැස ප්‍රත්‍යන්ත ජනපදයක එක් ගමක් ඇසුරු කොට පන්සලක වාසයට එළඹුණාහ.
ඉක්බිති එක් කෑදර වඳුරෙක්, තාපස පිරිස පිඬු සිඟා ගිය කල්හි අසපුවට අවුත්:
- පන්සලේ සෙවිලි කර ඇති තණකොළ ගලවා දමයි.
- පැන් කළවල ඇති ජලය ඉවත දමයි.
- පැන් කෙණ්ඩිය බිඳ දමයි.
- ගිනිහල්ගෙයි මලපහ කරයි.
තාපසවරු එහි වස් වැස, “දැන් හිමාල වනය මල් ගෙඩිවලින් සමෘද්ධිමත්ය, රමණීයය, එහිම යන්නෙමු”යි ප්‍රත්‍යන්ත ගම්වාසීන්ගෙන් විමසූහ. මිනිස්සු, “ස්වාමීනි, හෙට අපි භික්ෂාව ගෙන අසපුවට එන්නෙමු. එය අනුභව කොට යන්නැ”යි කියා දෙවන දිනයේ බොහෝ කෑම් බීම් රැගෙන එහි ගියහ. එය දැක ඒ වඳුරා සිතුවේ “මමද කුහකකම් කොට මිනිසුන් සතුටු කරවා මටත් කෑම් බීම් ගෙන්වා ගන්නෙමි” කියාය. හෙතෙම තපස් රකින්නෙකු මෙන්ද, සිල්වතෙකු මෙන්ද පෙන්වා තාපසයන්ට නුදුරෙහි සූර්යයාට වඳිමින් සිටියේය. මිනිස්සු ඒ දැක “සිල්වතුන් සමීපයේ වසන්නෝ සිල්වන්තයෝ වෙති”යි කියා පළමු ගාථාව කීහ.
වඳුරා ශාන්ත දාන්ත වෙස් ගෙන සූර්ය වන්දනා කරන ආකාරයෙන් සිටීම සහ උපාසකවරුන් පැමිණීම.
“සියලු සත්ත්වයන් කෙරෙහි සිල්වත් වූ, සමාධියට සමවැදුණු අය සිටිත්ලු. මේ හීන වූ ගති ඇති වඳුරා දෙස බලන්න. හෙතෙම සූර්යයාට වඳිමින් සිටියි.”
යනුවෙන් පළමු ගාථාව කීවාහුය.
එහි, සන්ති සීල සමාහිතා යනු සීලයෙන් යුක්ත වූවෝ විද්‍යමාන වෙති; සිල්වත්හු ද, තැන්පත් සිත් ඇත්තෝ ද, එකඟ සිත් ඇත්තෝ ද විද්‍යමාන වෙති යන අර්ථයි. ජම්මං යනු පහත් වූ හෙවත් ලාමක වූ යන්නයි. ආදිච්චමුපතිට්ඨති යනු හිරුට වඳිමින් සිටියි.
මෙසේ ඒ මිනිසුන් වඳුරාගේ ගුණ කියනු දැක බෝසතාණන් වහන්සේ, “තොප මේ කපටි වඳුරාගේ සීලාචාරකම නොදැන, පැහැදිය නොයුතු තැනම පැහැදුනේ ය”යි කියා දෙවන ගාථාව වදාළහ.
“තොපි මොහුගේ සීලය නොදන්නහුය; නොදැන ප්‍රශංසා කරන්නාහුය. (මොහු විසින්) ගිනි දෙවියා පුදන ගිනිහල්ගෙය ද මලපහ කර කිලිටි කරන ලදී. කෙණ්ඩි දෙක ද බිඳින ලදී.”
යනුවෙන් දෙවන ගාථාව කීවේය.
එහි, අනඤ්ඤාය යනු නොදැන යන්නයි. උහන්නං යනු මේ පවිටු වඳුරා විසින් වර්චස් කොට කිලිටි කරන ලද බවයි. කමණ්ඩලූ යනු පැන් කෙණ්ඩියයි. ද්වෙ ච භින්නා යනු ඔහු විසින් පැන් කෙණ්ඩි දෙකක්ම බිඳ දමන ලදැයි එහි අගුණ ප්‍රකාශ කළහ.
මිනිස්සු වඳුරාගේ කුහක බව දැන, මැටි කැට හා කෝටුවලින් තලා ඌ පලවා හැර, තාපස පිරිසට භික්ෂාව දුන්හ. ඍෂිවරු ද හිමාල වනයටම ගොස් නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු (මරණින් මතු) බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල වඳුරා නම් මේ කුහක භික්ෂුවයි. තාපස පිරිස නම් බුදු පිරිසයි. නායක තාපසයා නම් මම ම වූවෙමි” යි වදාළ සේක.
ආදිච්චුපට්ඨාන ජාතක වර්ණනාව පස්වැනියි.