10. සුඛ විහාරි ජාතකය

star_outline
වර්තමාන කථාව: භද්දිය තෙරුන්ගේ උදානය

තවද එක් කලෙක තුන් ලොවට පහළ වූ පහනක් වැනි වූ සර්වඥයන් වහන්සේ, අනුපිය නම් නුවර ඇසුරු කොට අනුපිය නම් අඹ වනයෙහි වැඩවසන සේක්, ‘සුඛවිහාරී’ (සුවසේ වාසය කරන) වූ භද්දිය ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

මේ සුඛවිහාරී වූ භද්දිය ස්ථවිරයන් වහන්සේ, ක්ෂත්‍රිය රාජ කුමාරවරුන් සදෙනාගේ කණ්ඩායම සමඟ උපාලි ස්ථවිරයන් වහන්සේ සත්වැනියා කොට පැවිදි වූ සේක. ඔවුන් අතරින් භද්දිය ස්ථවිරයන් වහන්සේ ද, කිම්බිල ස්ථවිරයන් වහන්සේ ද, භගු ස්ථවිරයන් වහන්සේ ද, උපාලි ස්ථවිරයන් වහන්සේ ද යන සතර දෙනා වහන්සේ ම රහත් වූ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ සෝවාන් වූ සේක. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ දිවැස් ලත් සේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ධ්‍යානලාභී වූ සේක. (ක්ෂත්‍රිය රාජ කුමාරවරුන් සදෙනාගේ කථාව අනුපිය නුවර දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි මතු ප්‍රකාශ වන්නේය).

ආයුෂ්මත් වූ භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි, පෙර රජ වී සිටි කල්හි තමන්ට ආරක්ෂාව සලසා ගන්නා විට, ආරක්ෂාවට විධිවිධාන යෙදීමට ද පළමුකොට බොහෝ ආරක්ෂකයන් විසින් රකින ලද්දාහු, මතු මහල් තලයේ මහා යහනෙහි ඔබ මොබ පෙරළෙමින් නිදන්නා වූ තමන්ට භය පැමිණීම ද, දැන් අර්හත් ඵලයට පැමිණ අරණ්‍යාදි වූ යම්කිසි තැනක හැසිරෙන විට තමන්ට ඒ භිය පහව ගොස් ඇති බව ද දැක, “ඉතා සැපය! (අහෝ සුඛං!)” යැයි කිය කියා ප්‍රීති වාක්‍ය පවත්වන සේක.

ඒ අසා භික්ෂූන් වහන්සේලා, “ආයුෂ්මත් වූ භද්දිය ස්ථවිරයන් වහන්සේ අර්හත්වය ප්‍රකාශ කරන සේකැ” යි සිතා සර්වඥයන් වහන්සේට ඒ බව දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාරණ සේක්, “මහණෙනි, භද්දිය ස්ථවිරයෝ සැප විහාරී වූවෝ දැන් මතු නොවෙති. පෙරත් සැප විහාරී වූහ,” යි වදාරා, භික්ෂූන් විසින් ඒ කාරණය ප්‍රකාශ කරනු පිණිස ආරාධනා කළ කල්හි, සර්වඥයන් වහන්සේ භවයෙන් වැසී තිබුණු කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.

අතීත කථාව: තාපස ජීවිතය

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි, අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ මහාසාර කුලයෙක ඉපිද, වැඩිවියට පැමිණ වස්තු කාම ක්ලේශ කාමයෙහි ආදීනව ද, මහා අභිනිෂ්ක්‍රමණයෙහි (ගිහිගෙයින් නික්මීමේ) ආනිසංසය ද දැක, වස්තුකාම ක්ලේශකාම හැර හිමාලය වනයට වැද සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව අෂ්ට සමාපත්ති උපදවා වාසය කරන සේක්, උන්වහන්සේට මහත් වූ පිරිවර වූයේය. පන්සියයක් පමණ තපස්වීහු පිරිවර වූහ.

අප මහා බෝසතාණන් වහන්සේ වර්ෂා කාලයෙහි හිමාල වනයෙන් නික්ම තපස්වී සමූහයා විසින් පිරිවරා ගන්නා ලදුව, ගම් නියම්ගම් ආදියෙහි සැරිසරා වඩින සේක් බරණැස් නුවරට පැමිණ, රජුගේ අනුග්‍රහය නිසා රාජෝද්‍යානයෙහි වාසය කළ සේක. එතැන්හි වැසි සාර මස වාසය කොට රජුට (ආපසු යන බව) දැන්වූ සේක.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේට කියන සේක්, “ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේ වෘද්ධ සේක. හිමාලය වනයට යාමෙන් නුඹ වහන්සේට කවර ප්‍රයෝජන ද? අතවැස්සන් හිමාලය වනයට යවා නුඹ වහන්සේ මෙතැන්හි ම වාසය කරව,” යි කීවේය.

බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රධාන අතවැසි තාපසයන් වහන්සේට පන්සියයක් තපස්වීවරුන් භාරකොට, “තොපි යව, මේ තපස්වීවරුන් හා සමග හිමාලය වනයෙහි එතැන්හි ම වාසය කරව,” යි වදාළ සේක.

අතවැසි තාපසයාගේ පැමිණීම

බෝධිසත්ත්වයන් වහන්සේගේ ප්‍රධාන අතැවැසි තාපසයන් වහන්සේ පෙර රජ වී සිට පැවිදි වූ රාජ තාපසයන් වහන්සේ ය. එතුමා මහත් රාජ්‍යයක් හැරදමා පැවිදිව, කසින භාවනා වඩා අෂ්ට සමාපත්ති ලාභීව වසන සේක්, සෙසු තාපසයන් හා සමග හිමාලය වනයෙහි වසන සේක්, එක් දවසක් ආචාරීන් වහන්සේ දකිනු කැමතිව ඒ තාපසවරුන්ට ආමන්ත්‍රණය කොට, “තොපි උකටලී නොවී මෙතැන්හි ම වාසය කරව. මම ආචාරීන් වහන්සේට නමස්කාර කොට එන්නෙමි,” යි කියා ආචාරීන් වහන්සේගේ සමීපයට (බරණැස් නුවරට) ගොස් නමස්කාර කොට, පිළිසඳර කථා කොට, එක් මැඩිලි පතක් (පදුරු ආසනයක්) එලාගෙන ආචාරීන් වහන්සේගේ සමීපයෙහි ම උන් සේක.

එවේලෙහි බරණැස් රජ්ජුරුවෝ “තාපසයන් වහන්සේ දකිමි” යි සිතා උයනට ගොස් නමස්කාර කොට එකත්පස්ව හුන් සේක. අතැවැසි තාපසයන් වහන්සේ රජු දැකත් නො නැගී සිටි සේක් ම, හුන් සේක් ම වනාහි “ඉතා සැපය! ඉතා සැපය! (අහෝ සුඛං! අහෝ සුඛං!)” යි කියා ප්‍රීති වාක්‍ය පැවැත්වූ සේක.

Story Illustration බරණැස් රජු පැමිණි විටත් නොනැගිට "ඉතා සැපය" යැයි කියමින් ප්‍රීති වන අතවැසි තාපසයන් වහන්සේ.
රජුගේ අසතුට හා බෝසතුන්ගේ දහම් දෙසීම

රජතෙම සිතනුයේ, “මේ තාපසයන් වහන්සේ මා දැකත් නැගී නොසිටි සේකැ” යි අසන්තෝෂ වී බෝධිසත්ත්වයන් වහන්සේට කියන සේක්, “ස්වාමීන් වහන්ස, මේ තාපසයන් වහන්සේ කැමති පරිද්දෙන් ආහාරය අනුභව කළා සේක් ද? ප්‍රීති වාක්‍ය පවත්වන සේක් සැප සෙය්‍යාව ම කරන සේකැ” යි කීවේය.

එවිට බෝධිසත්ත්වයන් වහන්සේ, “මහරජ, මේ තාපසයන් වහන්සේ, ‘දැන් මම පෙර ගිහි කල්හි රාජ්‍ය ශ්‍රී අනුභව කරන්නෙම්, ආයුධ ගත් අත් ඇති බොහෝ සේනාව විසින් රක්ෂා කරනු ලබන්නෙම් ද මෙබඳු සැපයක් නොලද්දෙමි’ යි කියා තමාගේ ප්‍රව්‍රජ්‍යා සැපය හා ධ්‍යාන සැපය අරභයා මේ ප්‍රීති වාක්‍යය පැවැත්වූයේය,” යි වදාළ සේක.

මෙසේ ද කියා බෝධිසත්ත්වයන් වහන්සේ රජුට ධර්ම දේශනා කොට වදාළ සේක:

“යම් පුද්ගලයෙකු සෙසු බොහෝ පුද්ගලයෝ රක්ෂා නොකෙරෙද්ද?

යමෙක් සෙසු බොහෝ සත්ත්වයන් රක්ෂා නොකෙරේද?

මහරජ, ඒ පුද්ගලයා වස්තුකාම ක්ලේශ කාමයෙහි අපේක්ෂාවක් නැතිව,

හුදකලාව කාය විවේක චිත්ත විවේක සැපයෙන් යුක්තව සයනය කරන්නේය.

“හුදෙක් සයනය කරන්නේ ම නොවෙයි. මෙබඳු පුද්ගල තෙම සැප සේ යන්නේය, සැප සේ සිටින්නේය, සැප සේ හිඳින්නේය, සැප සේ හෝන්නේය. සියලු ඉරියව්වලදී සැප සේ කල් යවන්නේය. මහරජ, තෘෂ්ණාව නැත්තා වූ පුද්ගල තෙම සැපසේ වාසය කරන්නේය,” යි වදාළ සේක.

ජාතක සමාප්තිය

රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා තුටු පහටු සිත් ඇතිව නමස්කාර කොට වාස භවනයට ගිය සේක. අතැවැසි තාපසයන් වහන්සේ ද ආචාරීන් වහන්සේට වැඳ හිමාලය වනයට වැඩි සේක. බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි එතැන්හි ම වාසය කරන සේක් නො පිරිහුණු ධ්‍යානයෙන් යුක්තව කාල ක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන් සේක.

ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මේ දම්දෙසුන් ගෙන හැර දක්වා අතීත කථාව හා වර්තමාන කථාව වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ සුඛවිහාරී ජාතකය නිමවා වදාළ සේක.

“එසමයෙහි අතැවැසි තාපසයන් වහන්සේ නම් දැන් භද්දිය ස්ථවිර වූ සේක. ශාස්තෘව උපන්නෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදුරජ වූ මම්ම වෙදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.