4. විගතිච්ඡ ජාතකය (244)

star_outline

“යං පස්සති න තං ඉච්ඡති” (දකින දෙයට කැමති නැත) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි පලා යන සුලු (වාදයෙන් පැරදී පලා යන) එක්තරා පරිබ්‍රාජකයෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මුළු දඹදිව පුරා ප්‍රතිවාදියෙකු නොලබා සැවැත්නුවරට පැමිණ, “මා සමඟ වාද කරන්නට සමත් කවුදැයි” විමසා, “සම්මා සම්බුදුරජාණන් වහන්සේ යයි” අසා, මහජනයා පිරිවරාගෙන ජේතවනාරාමයට ගොස් සිව් පිරිස් මැද ධර්මදේශනා කරන භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාළේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නය විසඳා, “එක නම් කුමක්ද?” යන ප්‍රශ්නය විචාළ සේක. ඔහු ඊට පිළිතුරු කියන්නට අසමත් ව නැගිට පලා ගියේය. එහි සිටි පිරිස, “ස්වාමීනි! ඔබවහන්සේ විසින් එක පදයෙන්ම පරිබ්‍රාජකයා නිග්‍රහයට පත් කරන ලදී” යයි කීවාහුය. එවිට බුදුරජාණන් වහන්සේ, “උපාසකවරුනි! මම ඔහු එක පදයකින් නිග්‍රහයට පත් කළේ දැන් පමණක් නොවේ; පෙරත් එසේ නිග්‍රහ කළෙමි” යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ කාසි රට බමුණු කුලයක ඉපදී, වැඩිවියට පත්ව, කම්සැප අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව දීර්ඝ කාලයක් හිමාල වනයෙහි වාසය කළ සේක. හෙතෙම හිමාල පර්වතයෙන් බැස එක් නියම්ගමක් ඇසුරු කොට ගඟේ නැම්මක පිහිටි පන්සලක වාසය කළේය. ඉක්බිති එක් පරිබ්‍රාජකයෙක් මුළු දඹදිවම ප්‍රතිවාදියෙකු නොලැබ ඒ නියම්ගමට පැමිණ, “මා සමඟ වාද කරන්නට සමත් කිසිවෙක් ඇත්දැයි” විමසා, “ඇතැයි” බෝසතාණන් වහන්සේගේ ආනුභාවය අසා, මහජනයා විසින් පිරිවරන ලද්දේ බෝසතුන් වසන තැනට ගොස් පිළිසඳර කථා කොට වාඩිවිය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ, “වන සුවඳ මුසු වූ ගඟෙහි පැන් බොන්නෙහිදැයි” ඔහුගෙන් විචාළහ. පරිබ්‍රාජකයා වාදයට බසිමින්;

Story Illustration බෝධිසත්ත්වයන් වහන්සේ පරිබ්‍රාජකයාට පැන් පිළිගන්වන අයුරු
  1. “ගංගාව යනු කුමක්ද?
  2. වැලි ගඟද?
  3. ජලය ගඟද?
  4. මෙගොඩ ගඟද?
  5. එගොඩ ගඟද?”

යනුවෙන් ඇසීය. බෝසතාණෝ, “පරිබ්‍රාජකය! තොප ඔය කියන ජලයත්, වැලිත්, මෙගොඩත්, එගොඩත් හැර ගංගාවක් ලැබෙන්නේ කොහෙන්දැයි” ප්‍රශ්න කළහ. පරිබ්‍රාජකයා ඊට පිළිතුරු නොවැටහුණේ නැගිට පලා ගියේය. ඔහු පලාගිය කල්හි බෝසතාණන් වහන්සේ එහි සිටි පිරිසට දම් දෙසමින් මෙම ගාථාවන් වදාළ සේක:

“යමෙක් දකින දෙයට (ඇසට පෙනෙන ජලයට) කැමති නැත. නොදකින දෙයට (නොපෙනෙන ගඟකට) කැමතිය. (එනිසා හෙතෙම ජලය නැති ගඟක් සොයමින්) බොහෝ කල් ඇවිදින්නේ යයි මම සිතමි. ඔහු යමක් කැමති වේ නම් එය කිසිදා නොලබන්නේය.”

“හෙතෙම ලද දෙයින් සතුටු නොවේ. පතන ලද දෙය ලැබූ විට එය හෙළාදකියි. ආසාව අනන්ත වූ අරමුණු ඇත්තේය. එබැවින් පහ කළ ආසා ඇති (වීතිච්ඡ) උතුමන්ට නමස්කාර කරමු.”

යනුවෙන් මෙම ගාථාවන් වදාළ සේක.

එහි, “යං පස්සති” යනු ජලය ආදී යමක් දකියි ද, එය ‘ගඟක් ය’යි පිළිගැනීමට අකැමති වෙයි. “යඤ්ච න පස්සති” යනු යමෙක් ජලය ආදියෙන් තොර ගංගාවක් නොදකී ද, එයට කැමති වෙයි. “මඤ්ඤාමි චිරං චරිස්සති” යනු මම මෙසේ සිතමි: ‘මේ පරිබ්‍රාජකයා මෙබඳු (ජලය ආදිය නැති) ගංගාවක් සොයමින් බොහෝ කලක් හැසිරෙන්නේය.’ ජලය ආදියෙන් තොර ගඟක් සොයන්නාක් මෙන් රූපාදියෙන් තොර ආත්මයක් සොයමින් සසරෙහිම බොහෝ කලක් හැසිරෙන්නේය. “න හි තං ලච්ඡති” යනු බොහෝ කාලයක් හැසිරෙමින් මෙබඳු ගංගාවක් හෝ ආත්මයක් හෝ කැමති වන්නේ නම් එය කිසි දිනෙක නොලබන්නේය. “යං ලභති” යනු යම් ජලයක් හෝ රූපාදියක් හෝ ලබයි නම් එයින් සතුටු නොවෙයි. “යං පත්ථෙති ලද්ධං හීළෙති” යනු මෙසේ ලැබුණු දෙයින් සතුටු නොවෙමින්, පතන පතන සම්පත් ලැබ “මෙයින් ඇති ඵලය කුමක්දැ”යි එය පිළිකුල් කරයි; අවමන් කරයි. “ඉච්ඡා හි අනන්තගොචරා” යනු ලද ලද දේ පිළිකුල් කොට අනෙක් අනෙක් අරමුණු කැමති වීමෙන් මේ ‘ඉච්ඡා’ නම් වූ තෘෂ්ණාව අනන්ත අරමුණු ඇති එකක් වේ. “විගතිච්ඡාන නමො කරොමසෙ” යනු එබැවින් යම් බුද්ධාදී උතුමන් වහන්සේලා පහ වූ ආසා ඇත්තාහු ද, ඔවුන්ට අපි නමස්කාර කරමු යනුයි.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල පරිබ්‍රාජකයාම මෙකලත් පරිබ්‍රාජකයාම විය. තාපසයා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.

සිව්වැනි වූ විගතිච්ඡ ජාතක වර්ණනාව නිමාවිය.