“සත්තතන්තිං සුමධුරං” යනාදී වශයෙන් එන මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි දේවදත්ත තෙරුන් අරබයා වදාළ සේක. එකල භික්ෂූහු දේවදත්ත තෙරුන්ට, “ඇවැත්නි දේවදත්ත, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබගේ ආචාර්යවරයා ය. ඔබ උන්වහන්සේ නිසා ත්‍රිපිටකය ඉගෙන ගත්තෙහි ය; ධ්‍යාන හතර උපදවා ගත්තෙහි ය. ආචාර්යවරයාට සතුරකු වීම නම් සුදුසු නොවේ” යැයි කීහ. එවිට දේවදත්ත, “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් මට ආචාර්යවරයකු වන්නේ කෙසේ ද? මා විසින් මගේ ම උත්සාහයෙන් ත්‍රිපිටකය ඉගෙන ගන්නා ලදී; ධ්‍යාන සතර උපදවා ගන්නා ලදී” යැයි කියමින් ආචාර්යවරයා ප්‍රතික්ෂේප කළේ ය. භික්ෂූන් වහන්සේලා ඒ ගැන දම්සභාවේ දී කථාවක් ඇති කර ගනිමින්, “ඇවැත්නි, දේවදත්ත තෙරුන් ආචාර්යවරයා ප්‍රතික්ෂේප කොට බුදුරජාණන් වහන්සේට සතුරු වී මහා විනාශයට පත් විය” යැයි කීහ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර, “මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් යුතුව සිටියාහු ද?” යි විචාරා, “මේ නම් කථාවෙන්” යැයි කී කල්හි, “මහණෙනි, දේවදත්ත ආචාර්යවරයා ප්‍රතික්ෂේප කොට මට සතුරු වී විනාශයට පත් වූයේ දැන් පමණක් නොවේ; පෙරත් එසේ විනාශයට පත් වූයේ ය” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයේ බෝධිසත්ත්වයන් වහන්සේ ගාන්ධර්ව කුලයෙහි උපන් සේක. ඔහුට ‘ගුත්තිල කුමාරයා’ යැයි නම් තැබූහ. ඔහු වැඩිවියට පත් ව ගාන්ධර්ව ශිල්පයෙහි කෙළවරට ම පැමිණ ‘ගුත්තිල ගාන්ධර්වයා’ නමින් මුළු දඹදිව අග්‍ර ගාන්ධර්වයා විය. ඔහු විවාහයක් කර නොගෙන අන්ධ මවුපියන් පෝෂණය කරයි. එකල බරණැස් නුවර වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස උදේනි නුවරට ගොස්, එහි උත්සවයක් ප්‍රකාශ කළ කල්හි, සම්මාදම් කොට බොහෝ මල්, සුවඳ, විලවුන් ද, කන බොන දෑ ද රැගෙන ක්‍රීඩා කරන ස්ථානයට රැස් ව, “මුදල් දී එක් ගාන්ධර්වයකු කැඳවාගෙන එන්න” යැයි කීවාහු ය. ඒ කාලයෙහි උදේනි නුවර ‘මූසිල’ නම් ජ්‍යෙෂ්ඨ ගාන්ධර්වයෙක් විය. ඔවුහු ඔහු කැඳවාගෙන ගොස් තමන් වෙනුවෙන් වීණා වාදනය කරවූහ.
මූසිල වීණා වාදකයා වීණාව උත්තම මූර්ඡනාවෙන් (ඉහළ ශ්‍රැතියෙන්) සකසා වාදනය කළේ ය. ගුත්තිල ගාන්ධර්වයාගේ වීණා වාදනයෙහි හුරුපුරුදුකම ඇති ඒ වෙළෙඳුන්ට මූසිලයාගේ වාදනය බටපතුරක් පහුරුගානවා වැනි යැයි වැටහුණේ ය. ඔවුන්ගෙන් කිසිවෙක් සතුටට පත් ආකාරයක් නොදැක්වී ය. මූසිල තෙමේ ඔවුන් සතුටු වූ බවක් නොදක්වන කල්හි, “මම ඉතා රළු කොට (හඬ නංවා) වාදනය කරමි” යි සිතා මධ්‍යම මූර්ඡනාවෙන් (මැද ශ්‍රැතියෙන්) සකසා වාදනය කළේ ය. ඔවුහු එවිට ද මධ්‍යස්ථ ව සිටියහ. ඉක්බිති මූසිල, “මොවුන් කිසිවක් නොදනිතියි” සිතා තමන් ද නොදන්නා කෙනෙකු මෙන් වීණා තත් ලිහිල් කොට වාදනය කළේ ය. ඔවුහු එවිට ද කිසිවක් නොකීහ. ඉක්බිති මූසිල ඔවුන් අමතා, “එම්බා වෙළෙන්දනි! මා වීණා වාදනය කරන විට කුමක් නිසා තොප සතුටු නොවන්නහු ද?” යි ඇසී ය. “ඔබ වීණා වාදනය කළෙහි ද? මොහු වීණාව සකස් කරගනිතියි අපි සිතුවෙමු” යි ඔවුහු කීහ. “නුඹලා මට වඩා උතුම් ආචාර්යවරයකු ගැන දනිව් ද? නැතිනම් නොදන්නාකමින් සතුටු නොවව් ද?” යි හෙතෙම ඇසී ය. වෙළෙන්දෝ, “බරණැස් නුවර ගුත්තිල ගාන්ධර්වයාගේ වීණා හඬ අසා ඇති අයට නම් ඔබේ වීණා හඬ ස්ත්‍රීන් දරුවන් නළවන හඬ වැනි ය” යි කීහ. “එසේ නම්, තොප විසින් දුන් මුදල ආපසු බාරගනිව්; මට ඒවායින් ප්‍රයෝජනයක් නැත. එහෙත් බරණැසට යන විට මාත් රැගෙන යන්න” යැයි හෙතෙම ඉල්ලා සිටියේ ය. ඒ වෙළෙන්දෝ “යහපතැ”යි පිළිගෙන ආපසු යන ගමන් ඔහු ද රැගෙන බරණැසට ගොස්, “මෙය ගුත්තිල පඬිතුමා වාසය කරන ස්ථානය යි” ඔහුට පෙන්වා දී තම තමන්ගේ නිවෙස් බලා ගියහ.
මූසිල තෙමේ බෝධිසත්ත්වයන් වහන්සේගේ නිවසට පිවිස, එහි එල්ලා තිබුණු බෝධිසත්ත්වයන්ගේ ජාති වීණාව දැක එය රැගෙන වාදනය කළේ ය. ඉක්බිති බෝධිසත්ත්වයන්ගේ මවුපියන් අන්ධ බැවින් ඔහු නොදැක, “මීයන් වීණාව කතියි” සිතා “සූ සූ” යයි හඬ නැගූහ. ඒ අවස්ථාවේ දී මූසිල වීණාව තබා බෝධිසත්ත්වයන්ගේ මවුපියන්ට වැඳ, “කොහි සිට ආවෙහි ද?” යි ඇසූ කල, “ආචාර්යවරයා ළඟ ශිල්ප ඉගෙනීම පිණිස උදේනි නුවර සිට ආවෙමි” යි කීවේ ය. මවුපියන් “යහපතැ”යි කී කල්හි “ගුරුතුමා කොහි ද?” යි විමසා, “දරුව, ඔහු බැහැරට ගියේ ය; අද එන්නේ ය” යි කී බහ අසා එහි ම හිඳගෙන සිටියේ ය. පැමිණියා වූ බෝධිසත්ත්වයන් දැක උන්වහන්සේ සමග පිළිසඳර කථා කොට තමන් ආ කාරණය දැන්වී ය. බෝධිසත්ත්වයන් වහන්සේ අංග ලක්ෂණ විද්‍යාව දන්නෙකි. උන්වහන්සේ ඔහුගේ අසත්පුරුෂ බව දැන, “දරුව! යව, ඔබට ඉගැන්විය හැකි ශිල්ප නැත” යැයි ප්‍රතික්ෂේප කළහ. හෙතෙම බෝධිසත්ත්වයන්ගේ මවුපියන්ගේ පා අල්ලා වැඳ, උපකාර කරමින් ඔවුන් සතුටු කොට, “මට ශිල්ප ලබා දෙවන්න” යැයි ඉල්ලී ය. බෝධිසත්ත්වයන් වහන්සේ මවුපියන් නැවත නැවතත් කියද්දී ඔවුන්ගේ වචනය ඉක්මවා යාමට නොහැකි ව ශිල්ප ඉගැන්වූහ. ඔහු බෝධිසත්ත්වයන් වහන්සේ සමග ම රජ මාලිගයට යයි. රජතුමා ඔහු දැක, “ආචාර්යයෙනි! මොහු කවරෙක් ද?” යි විචාළේ ය. “මහරජතුමනි, ඒ මගේ අතවැසියෙකි” යි කීහ. හෙතෙම ක්‍රමයෙන් රජතුමාගේ විශ්වාසවන්තයෙක් විය. බෝධිසත්ත්වයන් වහන්සේ ගුරු මුෂ්ටි නොතබා තමන් දන්නා ක්‍රමයට ම සියලු ශිල්ප උගන්වා, “දරුව! ඔබේ ශිල්ප ඉගෙනීම අවසන් ය” යි කීහ.
ඔහු මෙසේ සිතුවේ ය: “මට ශිල්ප ප්‍රගුණ ය; මේ බරණැස් නගරය මුළු දඹදිවට ම අග නගරය යි; ඇදුරුතුමා ද මහලු ය. මා විසින් මෙහි ම විසීම වටී.” ඔහු ගුරුවරයාට, “ආචාර්යයෙනි! මම රජතුමාට සේවය කරන්නෙමි” යි කීවේ ය. ගුරුතුමා, “හොඳයි දරුව! රජතුමාට කියන්නෙමි” යි කියා රජු වෙත ගොස්, “අපගේ අතවැසියා දේවයන් වහන්සේට සේවය කරන්නට කැමති ය; ඔහුට දිය යුතු වැටුපක් දැනගනු මැනවැ”යි දැන්වී ය. රජතුමා, “ඔබට ලැබෙන දෙයින් අඩක් ඔහුට ලැබෙන්නේ ය” යි කී කල්හි ඒ බව මූසිලයාට දැන්වූහ. මූසිල තෙමේ, “මම නුඹවහන්සේට සමානව වැටුප් ලබන්නේ නම් සේවය කරන්නෙමි; එසේ නොලැබෙන්නේ නම් සේවය නොකරන්නෙමි” යි කීවේ ය. “කුමක් නිසා ද?” යි ඇසූ කල, “මම නුඹවහන්සේ දන්නා ශිල්ප සියල්ල නොදනිම් ද?” යි කීය. “එසේ ය, දන්නෙහි ය” යි කීහ. “මෙසේ ඇති කල්හි කුමක් නිසා මට අඩක් දෙන්නේ ද?” බෝධිසත්ත්වයන් වහන්සේ ඒ බව රජුට සැල කළ සේක. එවිට රජතුමා, “ඉදින් මෙසේ ඔබට සමාන ව ශිල්ප දැක්වීමට ඔහුට හැකි නම් සමාන ව වැටුප් ලබන්නේ ය” යි කීවේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ රජුගේ කීම ඔහුට දන්වා සිටි විට ඔහු විසින්, “යහපති, ශිල්ප දක්වමි” යි කී කල්හි, රජුට ඒ පුවත දන්වා, “හොඳයි ශිල්ප දක්වන්න; කවර දිනක තරගය සිදු වේ ද?” යි විමසූ විට, “මහරජතුමනි, මෙයින් සත්වන දවසේ සිදු වේ වා” යි කී ය.
රජතුමා මූසිල කැඳවා, “නුඹ ගුරුවරයා සමග වාද කිරීමට සැරසෙන්නෙහි ය යනු සත්‍යයක් ද?” යි විමසා, “දේවයන් වහන්ස, ඇත්ත ය” යි කී කල්හි, “ගුරුවරයා සමග වාද කිරීම නම් නො වටී; එසේ නොකරව” යි වළක්වද්දී ම, “මහරජ, කම් නැත; මගේ ගුරුවරයා සමග සත්වැනි දා තරගය සිදු වේවා! කවරෙකු දක්ෂ ද යන්න දැනගන්නෙමු” යි කීවේ ය. රජතුමා “යහපතැ”යි පිළිගෙන, “මෙයින් සත්වන දින ආචාර්ය ගුත්තිල ද අතවැසි මූසිල ද රාජ මාලිගා දොරටුව අභියස දී ඔවුනොවුන් තරග කොට වීණා ශිල්ප දක්වන්නෝ ය; නගරවාසීහු රැස් ව ශිල්ප බලත්වා” යි අණ බෙර හැසිරවී ය.
බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ සිතූහ: “මේ මූසිල ලාබාල තරුණයෙකි; මම මහලු ය, පිරිහුණු ශක්තිය ඇත්තෙක්මි. මහල්ලාගේ ක්‍රියාව නිසි පරිදි සිදු නොවේ. අතවැසියා පැරදුණත් මට විශේෂයක් නැත. අතවැසියාට ජයග්‍රහණය ලැබුණහොත් පත් විය හැකි ලැජ්ජාවට වඩා වනයට ගොස් මරණයට පත් වීම උතුම් ය.” ඔහු කැලයට පිවිස මරබියෙන් ආපසු හැරෙයි; ලැජ්ජාවට බියෙන් නැවත වනයට යයි. මෙසේ යන එන ඔහුට දින හයක් ඉක්ම ගියේ ය. ඔහු ගමන් කළ මඟ තණකොළ මැරී අඩිපාරක් ඇති විය. ඒ මොහොතෙහි ශක්‍රයාගේ ආසනය උණුසුම් වන ආකාරයක් දැක්වී ය. ශක්‍රයා විමසා බලන්නේ, ඒ කාරණය දැන, “ගුත්තිල ගාන්ධර්වයා අතවැසියාට බියෙන් වනයෙහි මහ දුකක් අනුභව කරයි; මා විසින් මොහුට පිහිට වීම සුදුසු ය” යි සිතා, වේගයෙන් අවුත් බෝධිසත්ත්වයන් වහන්සේගේ ඉදිරියෙහි සිට, “ආචාර්යයෙනි, කුමක් හෙයින් වනයට පිවිසියෙහි ද?” යි විචාරා, “නුඹ කවරෙක් ද?” යි කී කල්හි “මම ශක්‍රයා වෙමි” යි කීවේ ය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ, “දෙව්රජතුමනි! මම ගෝලයාගෙන් පරාජය වේ යැයි බියෙන් කැලයට පිවිසියෙමි” යි කියා පළමු වන ගාථාව පැවසී ය.
“සත් තතක් ඇති, ඉතා මිහිරි, රමණීය වූ වීණා ගායනය ඔහුට ඉගැන්වීමි. ඒ අතවැසියා (වාදය සඳහා) මා රඟමඬලට කැඳවයි. කෝසිය ගෝත්‍රයෙහි වූ සක් දෙවිඳුනි, මට පිහිටක් වුව මැනවි.”
යනුවෙන් පළමු ගාථාව කීහ.
එහි අර්ථය නම්: දෙව්රජතුමනි, මම මූසිල නම් අතවැසියකුට සත් තතක් ඇති, ඉතා මිහිරි, රමණීය වූ වීණා ශිල්පය තමන් දන්නා ක්‍රමයට පුහුණු කරවීමි. ඔහු දැන් මා රඟමඬලට කැඳවයි. කෝසිය ගෝත්‍රයේ උපන් ශක්‍රයාණෙනි! ඒ මට පිහිටක් වුව මැනවි.
ශක්‍රයා ඔහුගේ වචනය අසා, “බිය නොවන්න! මම නුඹේ ආරක්ෂකයා වෙමි; රැකවලා වෙමි” යි කියා දෙවැනි ගාථාව පැවසී ය.
“මිතුර! මම තොපට පිහිට වෙමි. මම ගුරුවරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්‍යයා නුඹව නොදිනන්නේ ය. ඇදුරු වූ නුඹ ම ශිෂ්‍යයා දිනන්නෙහිය.”
තව ද නුඹ වීණාව වාදනය කරමින් එක් තතක් සිඳ හයකින් වාදනය කරන්න. නුඹේ වීණාවෙහි ප්‍රකෘති (නියම) ශබ්දය ඇති වන්නේ ය. මූසිලයා ද තත් සිඳියි. එවිට ඔහුගේ වීණාවේ ශබ්දය නොවන්නේ ය. ඒ අවස්ථාවෙහි හෙතෙම පරාජයට පත් වන්නේ ය. එවිට ඔහු පැරදුණු බව දැන දෙවනුව, තුන්වෙනුව, සතරවෙනුව, පස්වෙනුව, හයවෙනුව සහ සත්වෙනුව ද තත් සිඳ දමා තනි වීණා දණ්ඩ ම වාදනය කරන්න. සිඳුණු තත් කොනින් හඬ නික්ම දොළොස් යොදුන් මුළු බරණැස් නුවර වසාගෙන පවතිනු ඇත.
මෙසේ කියා ශක්‍රයා බෝධිසත්ත්වයන් වහන්සේට ගුලි (පාසක ඝටිකා) තුනක් දී මෙසේ කීවේ ය: “වීණා හඬින් මුළු නුවර ම වැසී ගිය විට මින් එක් ගුලියක් අහසට විසි කරව. එවිට ඔබ ඉදිරියේ අප්සරාවන් තුන්සියයක් බැස නටන්නාහ. ඔවුන් නටන කාලයෙහි දෙවන ගුලියත් උඩ දමන්න. එවිට තවත් තුන්සියයක් දෙවඟනෝ බැස නුඹේ වීණා දණ්ඩ අසල නටන්නාහ. අනතුරුව තුන්වන ගුලියත් විසි කරව. එවිට තවත් දෙවඟනන් තුන්සියයක් බැස රඟමඬලෙහි නටන්නාහ. මම ද ඔවුන් සමීපයට එන්නෙමි. යන්න, බිය නොවන්න.” බෝධිසත්ත්වයන් වහන්සේ පෙරවරුවෙහි නිවසට ගියහ. නගරවාසීහු රජ මාලිගාවේ දොරටුව අසල මණ්ඩපයක් කරවා එහි රජතුමාට ආසනයක් පැනවූහ. රජතුමා ප්‍රාසාදයෙන් බැස සරසන ලද මණ්ඩපයෙහි පර්යංක ආසනයෙහි හිඳ ගත්තේ ය. දසදහසක් සැරසුණු ස්ත්‍රීහු ද, ඇමති, බමුණු, ගෘහපති ආදීහු ද රජතුමා පිරිවරා සිටියහ. සියලු නගරවාසීහු ද රැස්වූහ. රජ මිදුලෙහි (සෙනඟ අධික බැවින්) වළලු පිට වළලු ද මැහි පිට මැහි ද බැන්දාහු ය.
බෝධිසත්ත්වයන් වහන්සේ ද නා පිරිසිදු වී, සුවඳ ගල්වාගෙන, නොයෙක් රසයෙන් යුත් බොජුන් අනුභව කොට, වීණාව ගෙන්වාගෙන තමන්ට පනවන ලද ආසනයෙහි වාඩි වූහ. ශක්‍රයා නො පෙනෙන සිරුරු ඇති ව අවුත් අහසෙහි සිටියේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ පමණක් ශක්‍රයා දකිති. මූසිලයා ද අවුත් තමන්ගේ ආසනයෙහි හිඳ ගත්තේ ය. මහජනයා පිරිවැරූහ. ආරම්භයේ දී ම දෙදෙනා ම සම සම ව වීණා වාදනය කළහ. මහජනයා දෙදෙනාගේ ම වාදනයෙන් සතුටු ව වාර දහස් ගණනක් මහා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ශක්‍රයා අහසෙහි සිට බෝධිසත්ත්වයන් වහන්සේට පමණක් ඇසෙන සේ “එක් තතක් සිඳ දමන්න” යැයි කීවේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ භමර තත (ප්‍රධාන තත) සිඳ දැමූහ. තත සිඳුණේ නමුදු කැඩී ඉතිරි වූ තත් කෙළවරෙන් හඬ පිට වේ ම ය; දිව්‍ය සංගීත වාදනයක් පවතින්නාක් මෙනි. මූසිලයා ද තතක් කැඩුවේ ය; එයින් හඬ නො නික්මුණි. ගුත්තිල ඇදුරුතුමා දෙවන තත ද... හත්වන තත ද සිඳ දැමී ය. වීණා දණ්ඩ පමණක් වාදනය කරන ගුත්තිල ඇදුරාගේ වීණා ශබ්දය නුවර වසාගෙන පැතිර ගියේ ය. වාර දහස් ගණනක් අත් පොළසන් ද මහා ප්‍රීති ඝෝෂා ද පැවැත්විණි. බෝධිසත්ත්වයන් වහන්සේ එක් ගුලියක් අහසට විසි කළහ; දිව්‍ය අප්සරාවෝ තුන්සියයක් බැස නැටූහ. මෙසේ දෙවන, තුන්වන ගුලි ද අහසට දැමූ කල අප්සරාවන් තවත් හයසියයක් බැස කියන ලද විදියට ම නැටූහ.
ගුත්තිල ඇදුරාණන් තත් සිඳි වීණාව වයද්දී දෙවඟනන් නැටූ අසිරිමත් දසුන
ඒ අවස්ථාවෙහි රජතුමා මහජනයාට ඉඟියක් කළේ ය. මහජනයා නැගිට, “නුඹ ගුරුවරයා සමග විරුද්ධ වී සම ව වාදනය කරමි යි උත්සාහ කළෙහි ද? තමන්ගේ තරම නො දන්නෙහි ද?” යි මූසිලයාට තර්ජනය කොට, අතට හසු වූ ගල් මුල් ආදියෙන් දමා ගසා පොඩිකර, ජීවිතක්ෂයට පමුණුවා, පාවලින් ඇදගෙන ගොස් කසල ගොඩට දැමූහ. රජතුමා සතුටු සිත් ඇත්තේ මහ වැස්සක් වසින්නාක් මෙන් බෝධිසත්ත්වයන් වහන්සේට බොහෝ ධනය දුන්නේ ය. එසේ ම නගරවාසීහු ද පුදසත්කාර කළහ. ශක්‍රයා ද ගුත්තිල පඬිතුමා සමග පිළිසඳර කථා කොට, “පඬිතුමනි! මම නුඹට ආජානේය අශ්වයන් දහසක් යෙදූ රථයක් ගෙන්වාගෙන පසුව මාතලී එවන්නෙමි; නුඹ අසුන් දහසකින් යුත් උතුම් වෛජයන්ත රථයට නැගී දෙව්ලොවට එන්න” යැයි කියා නික්ම ගියේ ය.
ඉන්පසු ශක්‍රයා දෙව්ලොව ගොස් පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි හිඳින විට, “දෙව්රජතුමනි! කොහි ගියෙහි දැ?” යි දෙව්දූවරු විචාළහ. සක්දෙවිඳු ඔවුන්ට ඒ කරුණු විස්තර වශයෙන් කියා බෝධිසත්ත්වයන් වහන්සේගේ සීලය, ගුණ ආදිය වර්ණනා කළේ ය. දෙව්දූවරු, “මහරජතුමනි! අපිත් ඇදුරුතුමා දකිනු කැමැත්තෙමු; ඔහුව මෙහි ගෙන්වනු මැනවැ”යි කීහ. ශක්‍රයා මාතලී අමතා, “දරුව! දිව්‍ය අප්සරාවෝ ගුත්තිල ගාන්ධර්වයා දකිනු කැමැත්තාහ; යව, ඔහුව වෛජයන්ත රථයෙහි හිඳුවාගෙන එන්න” යැයි කී ය. ඔහු “යහපතැ”යි කියා ගොස් බෝධිසත්ත්වයන් වහන්සේ රැගෙන ආවේ ය. ශක්‍රයා බෝධිසත්ත්වයන් වහන්සේ සමග සතුටු වී, “ගුරුතුමනි! දිව්‍ය කන්‍යාවෝ ඔබේ වීණා වාදනය අසනු කැමැත්තාහ” යි කීවේ ය. “මහරජ! ගාන්ධර්වයෝ වන අපි ශිල්පය නිසා ජීවත් වෙමු; මුදල් ලබන්නාහු නම් වාදනය කරන්නෙමු” යි කීහ. “වාදනය කරව; මම තොපට මුදල් දෙන්නෙමි” යි රජ කී ය. “මට වෙනත් මුදලකින් ඵලක් නැත; මේ දෙව්දූවරු තමන් කළ යහපත් කර්ම (පින්කම්) පවසන්නේ නම්, ඒ කුලියට මම වාදනය කරන්නෙමි” යි කීහ. ඉක්බිති දේවදූවරු, “අප විසින් කරන ලද යහපත් ක්‍රියා පසුව ඔබතුමාට කියන්නෙමු; ගුරුතුමනි, වීණා වාදනය කරව” යි කීහ. බෝධිසත්ත්වයන් වහන්සේ සතියක් ම දෙවියන්ට වීණා වාදනය කළ සේක. එය දිව්‍ය වීණා වාදනයන් අභිබවා පැවතුණේ ය. සත්වැනි දිනයෙහි මුල පටන් දේව දූවරුගේ පින්කම් විචාළහ. එක් තැනැත්තියක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී එක් භික්ෂූන් වහන්සේ නමකට වටිනා වස්ත්‍රයක් පූජා කොට, ඒ පිනෙන් ශක්‍රයාගේ පාද පරිචාරිකාව වී, අප්සරාවන් දහසක් පිරිවරා ගත් උතුම් දිව්‍ය කන්‍යාවක් වී උපන්නා ය. “නුඹ පෙර ආත්මයේ කුමන පින්කමක් කොට (මෙහි) උපන්නා ද?” යි ඇගෙන් විචාළහ. ඔහුගේ ප්‍රශ්න කරන ආකාරය ද, ඇයගේ විසඳන ආකාරය ද විමාන වස්තුවෙහි ආ පරිදි ම ය. එහි මෙසේ සඳහන් වේ:
“දෙව්දුව! ඔබ යහපත් වූ රූ සිරින් සියලු දිශාවන් බබුළුවමින් ඕසධී තරුව මෙන් සිටින්නෙහිය.”
“ඔබට මෙබඳු පැහැයක් ලැබුණේ කුමකින් ද? කිනම් පිනකින් මෙහි දී ඔබේ සැපත සම්පූර්ණ වී ද? සිතට ප්‍රිය වූ යම් සම්පතක් වේ නම් ඒවා ඔබට පහළ වන්නේ කෙසේ ද?”
“මහානුභාව සම්පන්න දෙව්දුවනි! මම ඔබෙන් විමසමි. මිනිස් ලොව දී කවර පිනක් කළෙහි ද? කවර පිනකින් මෙබඳු දිලිසෙන ආනුභාව ඇති වී ද? ඔබේ ශරීර පැහැය සියලු දිසා බබුළුවයි.”
“මිනිසුන් අතර යම් ස්ත්‍රියක් උතුම් වස්ත්‍ර දානය කරන්නී ද, ඕ තොමෝ (අනෙක්) ස්ත්‍රීන් අතර උතුම් වෙයි. මෙසේ මනාප වූ ප්‍රිය වස්තු දෙන ඇය දෙව්ලොවට පැමිණ දිව්‍ය සැප ලබන්නී ය.”
“ඒ මගේ විමානය බලන්න. මම කැමති රූපයක් මවා ගත හැකි අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පිනේ විපාකය බලන්න.”
“ඒ පිනෙන් මගේ සිරුරෙහි පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ මෙහි සම්පත්තිය සම්පූර්ණ වෙයි. මට යම් සම්පත්තියක් ප්‍රියමනාප වේ නම් ඒවා (සිතු පැතූ විගස) පහළ වන්නේ ය.”
“එයින් මම මෙසේ දිලිසෙන පුණ්‍ය ආනුභාව ඇත්තියක වෙමි. මාගේ ශරීර ප්‍රභාව සියලු දිසා බබුළුවයි.” (විමාන වත්ථු 329-331, 333-336)
- තවත් දෙවඟනක් පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට පූජා කිරීම පිණිස මල් දුන්නා ය.
- තවත් දෙවඟනක් දාගැබකට ‘සුවඳ පසඟුල්’ (ඇඟිලි පහට අසුවන තරම් සුවඳ) පූජා කළා ය.
- තවත් දෙවඟනක් මිහිරි ලොකු කුඩා පලතුරු දුන්නා ය.
- තවත් දෙවඟනක් උක් පැණි දුන්නා ය.
- තවත් දෙවඟනක් කාශ්‍යප දසබලයන් වහන්සේගේ සෑයට සුවඳ පසඟුල් පිදුවා ය.
- තවත් දෙවඟනක් මග යමින් සිට නිවසට වැඩියා වූ භික්ෂු භික්ෂුණීන් වෙතින් බණ ඇසුවා ය.
- තවත් දෙවඟනක් ජලයෙහි සිට, නැවක ගමන් කළ භික්ෂුවකට පැන් දුන්නා ය.
- තවත් දෙවඟනක් මිනිස් ලොව දී ගිහිගෙයි වසමින් ක්‍රෝධ නො වී නැන්දාගේ ද මාමාගේ ද වත් පිළිවෙත් කළා ය.
- තවත් දෙවඟනක් තමාට ලැබුණු ආහාර කොටසින් අනුන්ට බෙදා හදාගෙන අනුභව කළා ය; සිල්වතියක් ද වූවා ය.
- තවත් තැනැත්තියක් අනුන්ගේ ගෙයි දාසියක වී ක්‍රෝධ නො කර, නිහතමානී ව තමන් ලද කොටසින් ද බෙදා හදාගෙන පරිභෝග කිරීමෙන් (පින් කර) සක් දෙවිඳුගේ බිරිඳක් ව උපන්නා ය.
මෙසේ ගුත්තිල විමාන වස්තුවෙහි සඳහන් වූ තිස්හයක් පමණ වූ සියලු ම දිව්‍ය අප්සරාවෝ යම් යම් කර්මයක් කොට එහි උපන්නාහු ද, ඒ සියලු දෙනාගෙන් ම බෝධිසත්ත්වයන් වහන්සේ කරුණු විචාළ සේක. ඒ දෙවඟනෝ ද ඔහුට තම තමන් කළ කුසල් ගාථාවලින් ම කීවාහු ය. ඒ අසා බෝධිසත්ත්වයන් වහන්සේ, “ඒකාන්තයෙන් මට ලාභයකි; ඒකාන්තයෙන් මා විසින් මනාව ලබන ලද්දකි. මම මෙහි පැමිණ ස්වල්ප මාත්‍ර කුසල කර්මයකින් ලබන ලද දිව්‍ය සම්පත් ගැන ඇසුවෙමි. මෙතැන් පටන් මිනිස් ලොවට ගොස් දානාදී පින්කම් ම කරන්නෙමි” යි කියා මේ උදානය පළ කළහ:
“අද මට යහපත් පැමිණීමකි; යහපත් පහන් වීමකි; යහපත් නැගිටීමකි. මම යම් හෙයකින් කැමති රූප මවා ගන්නා සුළු වූ, මේ දේවතාවියන් දුටුවෙම් ද (එය මගේ භාග්‍යයකි).”
“මම මොවුන්ගෙන් ධර්මය අසා බොහෝ පින් කරන්නෙමි. දානයෙන් ද, සමචර්යාවෙන් ද (ධර්ම චර්යාවෙන් ද), සංයමයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද පින් කොට, යම් තැනකට ගොස් ශෝක නො වෙත් ද, මම (නිවනට) යන්නෙමි.” (විමාන වත්ථු 617-618)
ඉක්බිති සක්දෙව්රජ සත් දිනක් ගිය විට මාතලී රියදුරාට අණ කොට පඬිතුමා රථයේ හිඳුවා බරණැස් නුවරට ම යැවී ය. ගුත්තිල පඬිතුමා බරණැස් නුවරට ගොස් දෙව්ලොව දී තමන් දුටු කරුණු මිනිසුන්ට කීවේ ය. එතැන් පටන් මිනිස්සු මහත් උත්සාහයෙන් පින්කම් කිරීමට ඉටා ගත්හ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගළපා නිමවා වදාළ සේක. “එකල මූසිලයා නම් දේවදත්ත ය; ශක්‍රයා නම් අනුරුද්ධ ය; රජතුමා නම් ආනන්ද ය; ගුත්තිල ගාන්ධර්වයා වනාහි මම ම වූයෙමි.”
ගුත්තිල ජාතක කථා වර්ණනාව (තුන්වැනි ජාතකයයි).