“එකපුත්තකො භවිස්සසි” (නුඹ මගේ එකම පුත්‍රයා වන්නෙහිය) යන මේ ධර්ම දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා මහ තෙරනමක් අරබයා වදාළ සේක. ඒ තෙරුන් වහන්සේ එක් දරුවෙකු පැවිදි කරවාගෙන, ඔහුට පීඩා කරමින් වාසය කළහ. සාමණේර තෙම ඒ පීඩාව ඉවසාගත නොහැකිව උපැවිදි විය (සිවුරු හැරියේය). තෙරුන් වහන්සේ ඔහු වෙත ගොස්, “කුමාරය, නුඹේ සිවුර නුඹටම අයිති වනු ඇත. පාත්‍රයද නුඹටම අයිති වනු ඇත. මා සතු පාත්‍රා සිවුරු ද නුඹටම හිමි වනු ඇත. එන්න, පැවිදි වන්න” යැයි පවසා ඔහු පොළඹවා ගත්හ. ඒ දරුවා “මම පැවිදි නොවන්නෙමි” යි කී නමුත්, නැවත නැවතත් කියද්දී යළි පැවිදි විය. ඉන්පසු ඔහු පැවිදි වූ දිනයේ සිට නැවතත් තෙරුන් වහන්සේ සාමණේර නමට හිරිහැර කළහ. හෙතෙම ඒ පීඩාව නොඉවසමින් නැවතත් උපැවිදි විය. නැවත වරක් ඒ භික්ෂුව පැමිණ පැවිදි වන ලෙස නොයෙක් වර ඉල්ලා සිටියදී, “ඔබ මාව ඉවසන්නේ නැත. මා නැතිව ජීවත් වන්නට ද ඔබට නොහැකිය. එසේ වුව ද, ‘මම (නැවත) පැවිදි නොවන්නෙමි’” යි කියා (පලා ගොස්) පැවිදි නොවීය. භික්ෂූන් වහන්සේලා දම්සභාවේදී, “ඇවැත්නි! ඒකාන්තයෙන්ම යහපත් හදවතක් ඇති ඒ දරුවා මහ තෙරුන් වහන්සේගේ අදහස දැනගෙන පැවිදි නොවීය” යැයි කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර, “මහණෙනි, මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි” විචාරා, “මේ නම් කථාවෙන් යුක්තව සිටියෙමු” යි කී කල්හි, “මහණෙනි, ඔහු යහපත් හදවතක් ඇත්තෙකු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් සුහද වූයේය. එක් වරක් මොහුගේ දොස් දැක නැවත මොහු වෙත නොපැමිණියේය” යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගොවි කුලයක ඉපදී, වැඩිවියට පත්ව ධාන්‍ය විකිණීමෙන් ජීවිකාව ගෙන ගියහ. එක්තරා අහිකුණ්ඨිකයෙක් එක් වඳුරෙකු පුහුණු කරවාගෙන, ඌ ලවා බෙහෙත් ගෙන්වාගෙන, ඌ ලවා නාගයින් නටවමින් ජීවිකාව ගෙන ගියේය. හෙතෙම බරණැස් නුවර සැණකෙළි පවත්වන බව අසා, එහි ක්‍රීඩා කරනු කැමැත්තෙන්, “මූ ගැන සැලකිලිමත් වන්න” යැයි පවසා ඒ වඳුරා ධාන්‍ය වෙළෙන්දාට භාර දී, සැණකෙළියෙහි සෙල්ලම් කොට, සත්වන දින වෙළෙන්දා ළඟට ගොස් “වඳුරා කොහිදැයි” විමසීය. වඳුරා ස්වාමියාගේ හඬ ඇසූ විගසම ධාන්‍ය වෙළෙඳසලෙන් වේගයෙන් එළියට පැමිණියේය. ඉක්බිති ඔහු වඳුරා අල්ලාගෙන උණ පතුරකින් පිටට ගසා, රැගෙන ගොස් උයනකට පැමිණ, එක් පසෙක බැඳ නිදන්නට විය. වඳුරා ඔහු නිදන බව දැන, තමන්ගේ බැම්ම මුදාගෙන පලා ගොස් අඹ ගසකට නැග, අඹ ගෙඩියක් කා (එහි) ඇටය අහිකුණ්ඨිකයාගේ ඇඟ මත හෙළුවේය. ඔහු පිබිදී උඩ බලන විට වඳුරා දැක, “මිහිරි වචනයෙන් මූ රවටා ගසින් බස්සාගෙන අල්ලාගන්නෙමි” යි සිතා ඌ පොළඹවමින් මෙම පළමු ගාථාව පැවසීය.
“සාලක, නුඹ මගේ එකම පුත්‍රයා වන්නෙහිය. අපේ කුලයේ අධිපතියා වන්නේ ද නුඹයි. එබැවින් වෘක්ෂයෙන් බසින්න. එන්න, දැන් අපි ගෙදර යමු.”
යනුවෙන් පළමු ගාථාව කීවේය.
අහිගුණ්ඨිකයා අඹ ගස මුල සිට වඳුරාට ආයාචනා කරන අයුරු
එහි අර්ථය නම්; නුඹ මාගේ එකම පුත්‍රයා වන්නෙහිය. මාගේ කුලයෙහි සම්පත්වලට අධිපතියා ද වන්නෙහිය. එබැවින් ඔය ගසින් බසින්න. එන්න, අපගේ ගෙදර යමු. ‘සාලක’ යනු ඌට නමින් ආමන්ත්‍රණය කර පැවසූ ආකාරයයි.
එය අසා වඳුරා දෙවන ගාථාව පැවසීය:
“නුඹ මාව හිතවත් මිතුරෙකු යැයි සිතන්නෙහි ද? (එසේ නම්) කුමක් හෙයින් මට උණ පතුරෙන් ගැසුවෙහි ද? අපි මේ ඉදුණු අඹ වනයෙහි සතුටින් කල් ගෙවන්නෙමු. නුඹ රිසි සේ ගෙදර යන්න.”
යනුවෙන් දෙවන ගාථාව කීවේය.
එහි අර්ථය මෙසේය: නනු මං සුහදයොති මඤ්ඤසි යනු, “නුඹ මා ගැන හදවතින්ම අනුකම්පා කරන්නේද? මොහු මිතුරෙකැයි සිතන්නෙහිද?” (යන අදහසයි). යඤ්ච මං හනසි වෙළුයට්ඨියා යනු, “යම් හෙයකින් නුඹ මට මෙසේ අවමන් කරන්නෙහි ද, උණ පතුරෙන් තලන්නෙහි ද, ඒ නිසා මම නොඑමි” යි දැක්වීමයි. ඉක්බිති වඳුරා ඔහුට, “අපි මේ පක්කම්බවනෙ රමාමසෙ, ගච්ඡ ත්වං ඝරකං යථාසුඛං (ඉදුණු අඹ වනයෙහි සතුටු වෙමු. නුඹ කැමති පරිදි ගෙදර යන්න)” යැයි පවසා, ඉහළට පැන කැලයට පිවිසියේය. අහිකුණ්ඨිකයා ද අසතුටු සිත් ඇත්තේ තමන්ගේ ගෙදර ගියේය.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල වඳුරා නම් මේ සාමණේරයා විය. අහිකුණ්ඨිකයා වූයේ (දැන් මේ) මහ තෙරනමයි. ධාන්‍ය වෙළෙන්දා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.
නව වැනි වූ සාලක ජාතක වර්ණනාවයි.