ඒ නගර දෙක අතරෙහි නානා විධ වෘක්ෂ පන්තීන්ගෙන් සැදුම්ලත් ‘ලුම්බිණි වන’ නම් වූ මංගල සල් උයනක් ඇත. එසමයෙහි මහාමායා දේවිය උයනේ ක්‍රීඩා කරනු කැමති වූවාය. අමාත්‍යයෝ ඇයගේ කැමැත්ත පරිදි මංගල උයනට දේවිය වැඩමවූහ. මහාමායා දේවිය මල් පිපුණු සල් ගසක් මුලට ගොස් එහි අත්තක් අල්ලා ගැනීමට කැමති වූ කල්හි, එකෙණෙහි වේවැලක් මෙන් සල් අත්ත නැමී දේවියගේ අතට ළං විය. ඒ සල් අත්ත දකුණු අතින් අල්ලාගෙන නැගෙනහිර දිශාව බලා සිටියදීම බෝධිසත්ත්වයෝ ප්‍රසූත වූ සේක.
යම් සේ අන්‍ය සත්ත්වයෝ මව් කුසින් ප්‍රසූත වෙත් ද, මහ බෝසතාණෝ එසේ නොවූහ. මහ බෝසතාණෝ වනාහි ධර්මාසනයකින් බසින ධර්ම කථික කෙනෙකුන් මෙන්, දිගු කරන ලද අත් පා ඇතිව, කසී රට වස්ත්‍රයක් මත තබන ලද ජාතිරංග මාණික්‍යයක් (මැණිකක්) මෙන් පිරිසිදු වූ ශරීර ඇතිව ප්‍රසූත වූ සේක. බුදුවන ජාතියෙහි මව් කුසින් ප්‍රසූත වන සියලු බෝධිසත්ත්ව වරයන්ගේ මෙය ධර්මතාවකි.
ඉන්පසු පහ වූ කාම රාග ඇති, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නා වූ මහා බ්‍රහ්මයෝ සතර දෙනෙක් රන් දැලකින් බෝධිසත්ත්වයන් පිළිගෙන, මායා දේවිය ඉදිරියෙහි තබා, “දේවියනි, සතුටු සිත් ඇති වන්න. මහානුභාව සම්පන්න පුතනුවන් කෙනෙකුන් ඔබට උපන්නේ වේ දැ” යි කීවාහුය. මහා බ්‍රහ්මයන් අතින් වරම් රජ දරුවෝ උතුම් වූ මෘදු ස්පර්ශ ඇති අඳුන් දිවි සමකින් පිළිගත්තාහුය. ඒ වරම් රජ දරුවන් අතින් අමාත්‍යයෝ දිව්‍ය දුහුල් රෙද්දකින් පිළිගත්තාහුය. මේ දහම බෝධිසත්ත්වයන්ගේ ධර්මතාවකි.
ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයෝ බිසවුන් අතින් බැස පෘථිවිය පළාගෙන පැන නැගුණු පද්ම (නෙළුම්) මස්තකයෙහි නැගෙනහිර දිශාව බලා වැඩ සිටි සේක. එකෙණෙහි පිරිසිදු ශරීර ඇති මහා බෝධිසත්ත්වයන්ට ද, මායා දේවියට ද සත්කාර පිණිස අහසින් ස්ඵටික මාණික්‍ය වන් (පැහැදිලි) ජල ධාරාවෝ දෙදෙනෙක් (උණුසුම් හා සිසිල් ජල ධාරා) වැගිරී මාතෘ පුත්‍ර දෙදෙනාගේ ශරීර ඍතු ග්‍රහණය කිරීමෙන් (පහසු කිරීමෙන්) සතුටු කළාහුය. මෙය ද හැම බෝධිසත්ත්වයන්ගේ ධර්මතාවකි.
මෙපමණක් නොවේ; එකෙණෙහි පෙර සේම දෙතිස් මහා පූර්ව නිමිති පහළ විය. එකල්හි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබළෙන්නා වූ, සියලු කුසල රාශියට උත්පත්ති ස්ථානය වූ මහා බෝධිසත්ත්ව තෙමේ දස දිග බලනුයේ, බැලූ බැලූ දිශාවෙහි දිව්‍ය බ්‍රහ්මයන් විසින් “ස්වාමීනි, මේ දිශාවෙහි ඔබ හා සමාන කෙනෙකුන් නැතැ” යි යනාදී වශයෙන් දැක්වූ හෙයින්, උතුරු දිශාව බලා වැඩ සිට, මහා බ්‍රහ්මාදී දිව්‍ය සමූහයා විසින් නංවන ලද ධවල ඡත්‍රාදී (සුදු කුඩ ආදී) දිව්‍යමය පූජා ලබමින්, සියලු ලෝවැස්සන්ට පෙනි පෙනී, උතුරු දිගට සත් පියවරක් නෙළුම් මල් පිටින්ම වඩිමින්,
“අග්ගෝහමස්මි ලෝකස්ස”
යනාදී සියලු සර්වඥවරයන්ගේ චාරිත්‍ර ධර්මයක් වූ බිය රහිත කේසර සිංහනාද කළ සේක.
යම් කලෙක අප මහා බෝසතාණෝ ලුම්බිණි නම් වනයෙහි උපන් සේක් ද, එම වේලෙහිම රාහුල මාතාවෝ ද (යශෝධරා දේවිය), ඡන්න නම් අමාත්‍යයා ද, කාලුදායි නම් අමාත්‍යයා ද, කන්ථක නම් අශ්ව රාජයා ද, මහා බෝධි වෘක්ෂය ද, සතර මහා නිධානය ද යන මේ වස්තූහු පහළ වූවාහුය. සිංහනාද කළ පසු, නගර දෙකෙහිම වැසියෝ අපමණ වූ පූජාවෙන් හා ප්‍රමාණය ඉක්මවා ගිය ශ්‍රී සමෘද්ධියෙන් යුතුව බෝධිසත්ත්වයන් කිඹුල්වත් පුරයටම ගෙන ගියාහුය.
එදින, “කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන මහ රජුට පුත් රුවනක් උපන්නේය. ඔහු බෝ මැඩ හිඳ බුදු වෙති” යි තව්තිසා දිව්‍ය භවනයෙහි දිව්‍ය සමූහයා තුටු පහටු සිත් ඇතිව මහත් වූ ක්‍රීඩාවක් කරන්නට පටන් ගත්හ.
එසමයෙහි සුද්ධෝදන රජතුමාගේ කුල උපදේශක වූ, අෂ්ට සමාපත්තිලාභී වූ ‘කාල දේවල’ නම් තපස්වී තෙමේ බත් කිස නිමවා දවල් කාලය ගත කිරීම (දිවා විහාරය) පිණිස තව්තිසා භවනයට ගොස්, එහි දිවා විහාරය කොට සිටියේ, ඒ ක්‍රීඩා කරන දෙවියන් දැක, “එම්බා දේවතාවෙනි, මෙසේ සතුටු සිත් ඇතිව කුමක් නිසා ක්‍රීඩා කරවු ද? මටත් මේ කාරණය නොසඟවා කියව” යි විචාලේය.
දෙවියෝ කියන්නාහු, “පින්වත් වූ තාපසයෙනි, සුදොවුන් මහ රජාණන්ට පුත්‍රයෙක් උපන්නේය. හෙතෙම බෝ මැඩ හිඳ බුදු වී ධර්ම චක්‍රය පවත්වයි. ඔහුගේ අනන්ත වූ බුද්ධ ලීලාව දකින්නට ද, ධර්මය අසන්නට ද ලබන්නෙමු යි මේ කාරණයෙන් සතුටු වූවෙමු” යි කීවාහුය.
කාලදේවල තාපසයෝ ඒ පුවත අසා වහා දෙව්ලොවින් බැස රජ ගෙට පිවිස, පනවන ලද ආසනයෙහි හිඳගෙන, “මහරජ, ඔබට පුත්‍රයෙක් උපන්නේය යි ඇසුවෙමි. ඔහු දකිනු කැමැත්තෙමි” යි කීහ. රජතුමා සරසා පිළියෙළ කරන ලද කුමාරයන් වඩාගෙන ඉදිරියට ගෙනැවිත් කුමාරයන්ට අණ කරමින්, “පුත, තපස්වීන් වැඳ පින් රැස් කරගනු” යි කියා තපස්වීන් වඳින ලෙස යොමු කළේය.
එකල්හි බෝධිසත්ත්වයන්ගේ පාද පරිවර්තනය වී (කැරකී) තාපසයන්ගේ ජටා මස්තකයෙහි (හිස මත) පිහිටියාහුය. ඒ එසේමය; බෝධිසත්ත්වයන්ගේ ඒ ආත්ම භාවයෙන් වැඳුම් ගත යුතු අන් කිසිවෙක් නැත. ඉදින් නොදැන බෝධිසත්ත්වයන්ගේ හිස තාපසයන්ගේ පාමුල තැබුවේ නම්, ඒ තාපසයාගේ හිස සත් කඩක් වී පැලෙන්නේය. ඒ බව දත් තාපස තෙමේ, එසේ (හිස පැලීම) සිදු වීමට අකමැති වූ රජුට “මා විනාශ නොකළ මැනව” යි හුන් තැනින් නැගී, දොහොත් මුදුන් දී බෝධිසත්ත්වයන්ට නමස්කාර කළේය. ඒ ආශ්චර්යය දුටු සුදොවුන් මහරජාණෝ තමන්ගේ පුතනුවන් වැන්දාහ.
ඒ කාල දේවල තාපසයන් වහන්සේට අතීතයෙහි කල්ප හතළිහක් ද, අනාගතයෙහි කල්ප හතළිහක් ද වශයෙන් කල්ප අසූවක් සිහි කරන ඥානය ඇත්තේය. එසේ හෙයින් බෝධිසත්ත්වයන්ගේ ලක්ෂණ සම්පත්තිය දැක, “බුද්ධත්වය සිද්ධ වේ දෝ? නොවේ දෝ?” යි ආවර්ජනය කොට විමසා බලන්නේ, සැක නැතිවම “බුදු වෙති” යි දැන, “මේ තෙමේ ආශ්චර්යමත් පුද්ගලයෙකැ” යි සිනාසී, “නැවත මට මේ උතුමාණන් බුදු වූ කල දකින්නට ලැබේ ද? නොලැබේ ද?” යි පරීක්ෂා කරන්නේ, නොලැබේ යයි දැන, “මම වනාහි මොහු බුදු වෙන අතරතුර කාල ක්‍රියා කොට (මිය ගොස්), සියක් බුදුවරයන් විසිනුත්, දහසක් බුදුවරයන් විසිනුත් ගොස් අවබෝධ කරවන්නට නොහැකි වූ අරූප ලෝකයෙහි උපදින්නෙමි” යි දැක, “මෙබඳු වූ ආශ්චර්යවත් පුද්ගලයා බුදු වූ කල දකින්නට නොලබමි” යි ශෝකයෙන් හැඬුවේය.
මනුෂ්‍යයෝ ඒ දැක, “අපගේ තාපසයෝ දැන් සිනාසී, නැවත හඬන්නට පටන් ගත්හ. මේ කාරණය කුමක් ද?” යි සිතා, “කිමෙක් ද ස්වාමීනි, අපගේ මේ උතුමන්ට කිසි අනතුරක් වන්නේ දැ?” යි විචාලාහ.
ඒ අසා තාපසයෝ, “මේ කුමාරයන්ට අනතුරක් නැත. සැක නැතිවම බුදු වන්නේය” යි කීහ. “එසේ නම් නැවත කුමක් හෙයින් හැඬු සේක් ද?” යි විචාලාහ. තාපසයෝ, “මෙබඳු උතුමාණන් බුදු වූ කල දකින්නට නොලැබ, මහලු හෙයින් ඊට පෙර මිය යන්නෙමි. එහෙයින් හැඬුවෙමි” යි කීහ.
මෙසේ කියා, “මේ උතුමාණන් බුදු වූ කල්හි දකින්නට මාගේ නෑයන් අතරෙහි කිසිවෙක් ඇද්ද? නැද්ද?” යි පරීක්ෂා කරන්නේ, තම බෑණනුවන් වූ ‘නාලක’ නම් කුමරුවා දැක, නැගණියගේ ගෙට ගොස් ඔහු කැඳවා, “දරුව, සුදොවුන් මහරජාණන්ගේ කුලයෙහි පුත්‍රයෙක් උපන්නේය. ඔහු බුද්ධාංකුරයෙකි. පන්තිස් අවුරුද්දක් ඉක්ම ගිය කල බුදු වන්නේය. ඔබට ඒ බුදුන් දකින්නට ලැබෙන්නේය. එහෙයින් අදම පැවිදි වෙව” යි කීහ.
ඒ අසා නාලක කුමාරයෝ, “මාගේ මාමා මා අනර්ථයක නොයොදයි; මට යහපතක් පිණිසම කීවේ ය” යි සිතා, කීකරු ව, සත් අසූ කෝටියක් ධන ඇති කුලයෙහි උපන් තැනැත්තෝ ඒ සියලු සම්පත් හැර දමා, එකෙණෙහිම වීදියෙන් සිවුරු හා මැටි පාත්‍රයක් ගෙන්වාගෙන, හිසකෙස් කපා දමා, සිවුරු හැඳ පොරවා, “ලෝකයෙහි යම් පුද්ගලයෙක් උත්තම වී නම් මාගේ පැවිදි වීම ඔහු උදෙසා ය” යි බෝධිසත්ත්වයන් සිටින දිශාවට මුහුණ ලා, ඇඳිලි බැඳ, පසඟ පිහිටුවා වැඳ, පාත්‍රය මල්ලෙහි දමා කරෙහි එල්ලාගෙන හිමාලයට පිවිස මහණ දම් පිරුවේය.
හෙතෙම පරමාභිසම්බෝධියට පැමිණි බුදුරදුන් කරා පැමිණ, ‘නාලක ප්‍රතිපදාව’ ඉගෙන, නැවතත් හිමාලයට පිවිස රහත් වී, උත්කෘෂ්ට ප්‍රතිපත්තියට පිළිපන් තැනැත්තේ, සත් මසක් පමණ කල් ජීවත් ව, එක් ස්වර්ණ පර්වතයක් ඇසුරු කොට වැඩ සිට පිරිනිවන් පෑ පරිදි නිදාන වර්ණනාවෙන් හා සද්ධර්ම රත්නාකරයෙන් බලා දත යුතු.
බෝධිසත්ත්වයන් උපන් පස්වෙනි දවසෙහි, සුවඳ පැනින් නාවා (පිරිබඩ ගෙන), පස් මල් ඉස, නොකැඩුණු සහල්වලින් පිසූ කිරිබත් පිසවා, ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණි එකසිය අටක් බ්‍රාහ්මණයන්ට ආරාධනා කොට, රජ ගෙයි පනවන ලද අසුන්වල හිඳුවා, මනා බොජුන් අනුභව කරවා, මහත් සත්කාර කොට, “බ්‍රාහ්මණවරුනි, මේ කුමාරයන්ගේ ලක්ෂණ බලා ඇති තත්ත්වය කියව” යි විචාල කල, ඔවුන් අතරෙහි රාම ය, ධජ ය යනාදී බ්‍රාහ්මණයෝ අට දෙනා කුමාරයන්ගේ ලක්ෂණ පිළිබඳ විශේෂඥයෝ වෙති. ඒ අට දෙනා අතරින් සත් දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා මෙසේ කීවාහුය:
“මෙබඳු ලක්ෂණයෙන් සමන්විත වූයේ ගිහි ගෙයි විසුවහොත් දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහාද්වීපයට එකම කුඩයක් නංවා (එක්සේසත් කොට) රජ සැප විඳිති. පැවිදි වුවහොත් බුද්ධත්වයට පැමිණෙති.”
ඔවුන් හැමදෙනාටම වඩා වයසින් බාල වූ, ගෝත්‍රයෙන් ‘කොණ්ඩඤ්ඤ’ නම් වූ මානවකයෝ බෝධිසත්ත්වයන්ගේ ලක්ෂණවල පරිපූර්ණ බව බලා, “මේ පුරුෂයාණන් ගිහි ගෙයි විසීමක් නම් නැත; ඒකාන්තයෙන්ම බුදු වන්නේය” යි එකම ඇඟිල්ලක් ඔසවා එකක්ම කීවෝය. ඒ එසේමය; මේ කොණ්ඩඤ්ඤ නම් බ්‍රාහ්මණ තෙමේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පින් කළ, එම ජන්මයෙහිම රහත් වන අවසන් ආත්මය ලත් (පශ්චිම භවික) සත්ත්වයෙකි. එහෙයින් ඉතිරි සත් දෙනා පරදවමින්, අභිබවා ගොස්, “සැක නැතිවම බුදු වන්නේමය” යි එක් ඇඟිල්ලක් ඔසවා මෙසේ කීවේය.
ඉන්පසු ඉතිරි බමුණන් සත් දෙනා වනාහි තම තමන්ගේ නිවෙස්වලට පැමිණ තමන්ගේ පුත්‍රයන් අමතා, “දරුවනි, අපි මහලු වූවෙමු. සුදොවුන් මහරජාණන්ගේ පුතු සර්වඥතා ඥානයට පැමිණි කල්හි උන්වහන්සේ කරා පැමිණෙන්නට අපට ලැබෙයි ද, නොලැබෙයි ද කියා නොදනිමු. ඔබලා ඒ කුමාරයන් බුදු වූ කල්හි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි වෙත්වා” යි කියා, ඒ බ්‍රාහ්මණයෝ සත් දෙනාම ආයුෂ ගෙවී ගිය පරිද්දෙන් මියගොස් පරලොව ගියහ.
කොණ්ඩඤ්ඤ නම් බ්‍රාහ්මණයා පමණක් නිරෝගී ව සිටියේය. ඒ කොණ්ඩඤ්ඤ නම් මානවකයෝ බෝධිසත්ත්වයන් වැඩිවිය පැමිණ, ගිහිගෙයින් නික්මී (අභිනිෂ්ක්‍රමණය කොට) ක්‍රමයෙන් උරුවෙල් දනව්වට ගොස්, “ඒකාන්තයෙන් මේ භූමි ප්‍රදේශය සිත්කළු ය” යි එහි මහා වීර්යය කරමින් වසන සමයෙහි, මහා පුරුෂයාණෝ පැවිදි වූහ යි අසා, යට කී බ්‍රාහ්මණයන් අට දෙනාගේ පුත්‍රයන් කරා ගොස්, “ඒ සිද්ධාර්ථ කුමාර තෙමේ පැවිදි විය. හෙතෙම ඒකාන්තයෙන්ම බුදු වන්නේය. ඉදින් ඔබලාගේ පියවරුන් වූ බ්‍රාහ්මණයෝ ජීවත්ව සිටියාහු නම් අදම නික්ම පැවිදි වෙති. ඉදින් ඔබලාත් කැමති නම් මා හා කැටුව එන්න. මම ඒ මහා පුරුෂයාණන්ට අනුව පැවිදි වෙමි” යි කීවාහුය.
ඒ ඇසූ බ්‍රාහ්මණයෝ සියලු දෙනාම එක සිතක් ඇති කර ගැනීමට අසමත් වූහ. එහෙයින් තුන් දෙනෙක් පැවිදි නොවූහ. කොණ්ඩඤ්ඤ නම් බ්‍රාහ්මණයන් ප්‍රධාන කොට අනෙක් බ්‍රාහ්මණයෝ සතර දෙනාම පැවිදි වූහ. ඒ පස් දෙනාම ‘පඤ්ච වර්ගික භික්ෂූහු’ නම් වෙති. ඔවුහු ඉසිපතනාරාමයෙහි දී අග්‍ර ධර්මය පිළිගත් ආකාරය පසුව සඳහන් වෙයි.
එසමයෙහි වනාහි සුද්ධෝදන මහරජාණෝ, “මාගේ පුතනුවෝ කුමක් දැක පැවිදි වෙද්දැ” යි විචාලෝය. එකල “සතර පූර්ව නිමිත්ත දැක පැවිදි වෙති” යි කීහ. “සතර පූර්ව නිමිත්ත නම් කවරෙක් දැ?” යි විචාරා, “ජරාවට පත්වීම (මහලු වීම), ලෙඩ වීම, මරණය, පැවිදි රූපය” යි අසා, “එසේ නම් මෙතැන් පටන් මෙබඳු වූවන් මගේ පුතනුවන් සමීපයට යන්නට ඉඩ නොදෙන්න; දකින්නට ඉඩ නොදෙන්න. බුදු වීමෙන් වැඩක් නැත. මගේ පුතනුවන් දෙදහසක් දිවයින් පිරිවර කොට ඇති සතර මහාද්වීපයට අධිපති රජකම කරමින්, තිස්සයක් යොදුන් ප්‍රදේශයක පැතිර සිටින මහ පිරිවරින් පිරිවරාගෙන අහස් තලයෙහි ඇවිදින්නා දකිනු කැමැත්තෙමු” යි කියා, මහලු, ලෙඩ, මළ, පැවිදි යන මොවුන්ගේ පැමිණීම වැළැක්වීම පිණිස සිවු දිගින් ගව්වෙන් ගව්වට ආරක්ෂාව යෙදවූහ.
එදින මංගල කටයුතු පිණිස එතැනට රැස් වූ අසූ දහසක් ඥාති රජ දරුවෝ, “අප හැම දෙනාගෙන් එක එක කුමරුවා බැගින් දෙමු” යි අසූ දහසක් කුමරුවන් දුන්හ. සුද්ධෝදන මහරජාණෝ බෝධිසත්ත්වයන්ට උතුම් වූ රූප සම්පත් ඇති, දොස් රහිත වූ කිරි මවුන් ලබා දුන්හ. බෝධිසත්ත්වයෝ මහත් වූ යස පිරිවරින්, මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් වැඩෙන්නට වූ සේක.
එක් දවසක් වප් මඟුලෙහි දී කළ ප්‍රාතිහාර්යය දැක සුදොවුන් මහරජාණෝ දෙවෙනි වරට ද වැන්දාහ. තුන්වෙනි වැඳීමෙන් වැන්ද ආකාරය පසුව සඳහන් වෙයි.
ඉක්බිත්තෙන් අනුක්‍රමයෙන් බෝධිසත්ත්වයන් වහන්සේ දහසය හැවිරිදි වයසට පැමිණි කල්හි, සුදොවුන් මහරජාණෝ බෝධිසත්ත්වයන්ට තුන් ඍතුවට සුදුසු මාලිගා තුනක් ඉදි කරවූයේය. එකක් නව මහල් ය; එකක් සත් මහල් ය; එකක් පස් මහල් ය. ප්‍රාසාද පමණක් නොවේ, හතළිස් දහසක් පමණ නාටිකාංගනා ස්ත්‍රීන් ද ලබා දුන්හ. තුන් ලොවට තිලකයක් බඳු වූ අප මහා බෝසතාණෝ, දහසක් රුවන් දොරටුවලින් හා සප්ත රත්න ප්‍රාකාරයෙන් බැබළෙන, රන් රිදී ආදී විමාන පේළිවලින් අලංකාර වූ, රුවන් මෙර මුදුනෙහි පිහිටි තව්තිසා දෙව් නුවර අඩ තුන් කෝටියක් දෙවඟනන් පිරිවරාගෙන රජකමට පැමිණි සක් දෙවි රජු සේ, හතළිස් දහසක් පමණ දෙවඟනන් වැනි වරඟනන් විසින් පිරිවරා ගන්නා ලදුව, ඒ ඒ ඍතුවට සැපවත් වූ පරිද්දෙන් එම මාලිගා තුනෙහි, රාහුල මාතාවන් අග්‍ර මෙහෙසිය කොට වසන සේක.
මෙසේ මහා සම්පත් අනුභව කරන්නා වූ බෝධිසත්ත්වයන්ට ඥාති සමූහයා මධ්‍යයෙහි මෙබඳු කථාවක් පහළ විය. කෙසේද යත්:
“සිද්ධාර්ථ කුමාරයෝ කෙළිසෙල්ලමෙහිම යෙදෙමින් කල් ගෙවති. කිසිදු ශිල්පයක් නොදනිති. යුද්ධයක් පැමිණි කල්හි මොහු කුමක් කරන්නේ දැ” යි යන මේ කතාව නෑයන් අතර ඇති විය. සුදොවුන් මහරජතුමා ඒ පුවත අසා බෝධිසත්ත්වයන් අමතා, “පුතණුවනි, ‘සිද්ධාර්ථ කුමාරයෝ කිසිම ශිල්පයක පුහුණු නොවී කෙළිසෙල්ලමෙහිම යෙදෙමින් ඇවිදිති’ යි ඔබගේ ඥාතීහු කියති. මෙබඳු අවස්ථාවක් (යුද්ධයක්) පැමිණි කල්හි කුමක් කරම් දැ යි සිතන්නේදැ” යි විමසූහ.
ඒ පුවත ඇසූ තුන් ලොවටම හිස මත තැබූ මල් ඔටුන්නක් වැනි වූ සිද්ධාර්ථ කුමාර වූ අප මහා බෝසතාණෝ මෙසේ පිළිතුරු දුන්හ: “දේවයන් වහන්ස, චම්පක, සමන්පිච්ච, වැටකේ ආදී සුවඳ මල්, තමන්ට සුවඳ ලබා ගැනීම පිණිස අන් කිසි සුවඳ මල් වෙත ගොස් කරන පුහුණුවක් තිබේද? එලෙසින්ම මේ ආත්මභාවයෙහි මාගේ ශිල්ප පුහුණුවීම පිණිස අන් කිසිවකු වෙත යාමක් නැත. යම් සේ සඳුන් ගස්වල සුවඳ, පුහුණුවීම පිණිස අන් කිසි ගන්ධයක් කරා නොයන්නේ ද? එපරිද්දෙන්ම මේ ආත්මභාවයෙහි අන් කිසිවකු වෙත ගොස් පුහුණු කරන ශිල්පයක් මට නැත. මාගේ ශිල්ප බලා ගැනීම පිණිස නුවර බෙර හසුරුවා වදාළ මැනව. මෙයින් සත්වැනි දවසෙහි නෑයන්ට මාගේ ශිල්ප දක්වමි” යි කී සේක.
සුදොවුන් මහරජතුමා එලෙසින්ම කළේය. බෝධිසත්ත්වයෝ අක්ෂණවේධී, වාලවේධී ධනුර්ධරයන් රැස් කරවා, මහජනයා මධ්‍යයෙහි මුළු ලෝකයෙහි සිටින තාක් ධනුර්ධරයන් හා අසාධාරණ වූ දොළොස් වැදිරි ශිල්පයක් ඥාතීන්ට පෙන්වූ සේක. ඒ ශිල්ප දැක්වූ ආකාරය 'සරභංග ජාතකයෙහි' ආ පිළිවෙළින් දත යුතුය. ඒ හාස්කම දුටු ඥාතීහු බෝධිසත්ත්වයන් කෙරෙහි තිබූ සැක දුරු කළෝය.
සිද්ධාර්ථ කුමාරයා ඥාතීන් මධ්‍යයේ දුනු ශිල්ප දැක්වීම.
ඉන්පසුව එක් දිනක් උයන් කෙළියට යනු කැමති වූ මහා බෝසතාණෝ රථාචාර්යවරයා අමතා, “රථය සූදානම් කරව” යි කීහ. ඔහු ද “එසේය, මැනව” යි එය පිළිගෙන, ඉතා අගනා වූ උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා, කුමුදු මල් පෙති වන් පැහැති මංගල අශ්වයන් සතර දෙනෙකු යොදා බෝධිසත්ත්වයන්ට දැන්වූ කල්හි, දෙව් විමනක් වැනි වූ ඒ රථයට නැගී බෝධිසත්ත්වයන් උයන දෙසට පිටත් වූ සේක. එවිට දෙවියෝ, “සිද්ධාර්ථ කුමාරයන් බුදුවන කාලය ආසන්න විය, පූර්ව නිමිති දක්වන්නෙමු” යි සිතා, එක් දිව්‍ය පුත්‍රයකු ජරාවට පත්ව දිරා ගිය මහල්ලෙකුගේ වෙස් ගන්වා පෙන්නුම් කළහ.
ඒ රූපය බෝධිසත්ත්වයන් සහ රථාචාර්යවරයා දුටු කල්හි, “මිත්‍ර රථාචාර්යයෙනි, මේ කුමක්ද? මේ පුරුෂයා අන්‍යයන්ගේ මෙන් නොව, වෙනස් වූ හිසකෙස් ඇත්තේය” යනාදී වශයෙන් දීඝ නිකායෙහි මහාපදාන සූත්‍රයෙහි මහා විපස්සි කුමාරයා විචාළ ක්‍රමයෙන් විමසා, “ඉපදීම ඇත්තාට ජරාව පෙනෙන්නේය” යනාදී වශයෙන් සලකා, කලකිරුණා වූ සිත් ඇතිව, යෞවන මදය දුරු කොට උයන් කෙළියට නොගොස් එතැනින්ම ආපසු හැරී නුවරට පැමිණියහ.
නැවතත් එක් දවසක් උයන් කෙළියට යන්නාහු, පස්කම් සැපයෙහි ඇලීම නැති කිරීමට හේතු වූ, ව්‍යාධියෙන් (ලෙඩවීමෙන්) පීඩිත වූ පුරුෂයෙක් පෙර සේම දැක, ආරෝග්‍ය මදය (නිරෝගීකම නිසා ඇතිවන උඩඟුකම) දුරු කොට උයනට නොගොස් ආපසු නුවරට පැමිණියහ.
නැවතත් එක් දවසක් උයන් කෙළියට යන්නාහු, එසේම දෙවියන් විසින් මවා පෙන්වන ලද මළ මිනියක් දැක ජීවිත මදය අතහැර, වීදුරු පර්වතයක දක්නා ලද සිදුරක් මෙන් ද, සූර්ය විමානයෙහි දක්නා ලද අඳුරක් මෙන් ද, දිව්‍ය බ්‍රහ්ම විමානයක දක්නා ලද මල මූත්‍රයක් මෙන් ද, තමන්ගේ රාජකීය ශ්‍රී සමෘද්ධියෙහි කලකිරුණාහ.
නැවතත් එක් දවසක් උයන් කෙළියට යන්නාහු, පෙර සේම දෙවියන් විසින් දක්වන ලද පැවිදි සැපයෙන් සුවපත් වූ ශ්‍රමණ රූපය දැක, පැවිදි වීමෙහි කැමැත්ත උපදවා, උයන් කෙළි කෙළිනු පිණිස උයනට ගොස්, එහි දවල් කාලයෙහි උයන් කෙළි කෙළිමින් දවසේ වැඩි කොටසක් ගත කොට, සූර්යයා අස්තංගත වූ (බැස ගිය) කල්හි මංගල ශිලාව මත වැඩ සිටි සේක.
සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති අතරින් පැවිදි රුව දැකීම.
තමන් වහන්සේ සියලු ආභරණවලින් සැරසෙනු කැමති වූ සේක. ඉක්බිත්තෙන් පිරිවර ජනයෝ අනේක වර්ණ වූ නොයෙක් ආකාරයේ වස්ත්‍ර හා නොයෙක් ආකාරයේ ආභරණ ද, මල් ගන්ධ විලවුන් ද ගෙන අවට සිටියහ. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් අසුන රත් විය. එවිට සක්දෙව් රජ තෙමේ, “මා මෙතැනින් ඉවත් කරවන්නට කවරෙක් කැමති වන්නේ දැ” යි සොයා බලන්නේ, බෝධිසත්ත්වයන්ගේ අලංකාර කරන කාලය පැමිණි බව දුටුවේය. එහෙයින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අමතා, “එම්බා විශ්වකර්මය, සිද්ධාර්ථ කුමාර තෙමේ අද මැදියම් රෑ මහාභිනිෂ්ක්‍රමණය කරන්නේය, මෙය මොහුගේ අවසාන සැරසීම වන්නේය. ඔබ උයනට ගොස් ඒ මහා පුරුෂයා දිව්‍ය අලංකාරයෙන් සරසව” යි කීවේය.
ඒ අසා විස්කම් දෙව්පුත්, “මැනවැ” යි පිළිගෙන, එකෙණෙහිම දිව්‍ය බලයෙන් පැමිණ බෝධිසත්ත්වයන් සැරසීමට සිටි මංගල කපුවාගේ වෙස් ගෙන, ඔහු අත තිබූ සළු ගෙන හිස වෙලා, මැණික් ඔටුනු පළඳවා සක්දෙව් රජු ලෙසින් සරසා පිළියෙල කළේය. බෝධිසත්ත්වයෝ විශ්වකර්මයාගේ අතේ ස්පර්ශයෙන්, “මේ මනුෂ්‍යයෙක් නොවෙයි, මේ එක් දිව්‍ය පුත්‍රයෙකැ” යි දැනගත් සේක. මෙසේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් සරසන ලදුව, ගරුඬයන්ගේ වේගය වැනි ගමන් ඇති, ධවල (සුදු) වූ සෛන්ධව අශ්වයන් සතර දෙනෙකු යොදන ලද, උතුම් වූ රන් රිදී මැණික්වලින් සාදන ලද්දා වූ, එල්වන ලද නොයෙක් මල් දම් ඇති රථයකට පැන නැගී, අනේකවිධ වූ ශ්‍රී සෞන්දර්යයෙන් යුතුව සවස කාලයේ කිඹුල්වත් පුරයට වඩනා බෝධිසත්ත්වයන් දුටු ‘කිසාගෝතමී’ නම් වූ රාජ කන්‍යාව විසින් කියන ලද “නිබ්බුත පදය” (නිවුණු පදය) අසා, තමන් වහන්සේගේ ගෙල පැළඳි ලක්ෂයක් වටිනා මුතුහර ගලවා, ඒ කිසාගෝතමී නම් වූ බිසවුන්ට යවා, රාජ මාළිගාව සමීපයට පැමිණ, මතු මහල් තලයට පැන නැගී යහන් මස්තකයෙහි සැතපුණු සේක.
එකෙණෙහි දෙවඟනන් බඳු රූප ශෝභා ඇති උතුම් කාන්තාවන් විසින්, මිහිරි හඬ ඇති පංචාංගික තූර්ය භාණ්ඩ ගෙන, මහා පුරුෂයා පිරිවරා පංචාංගික තූර්ය නාද පවත්වන්නට පටන් ගත්හ.
එකල මකරධ්වජ යයි කියන ලද අනංගයාගේ ජය ඝෝෂාවක් බඳු වූ, මිහිරි වූ ගීතිකා නාදය සමග පැවැත්තා වූ නැටුම් හා ගැයුම් බලන අසන මහා බෝධිසත්ත්ව තෙමේ, එහි ඇල්මක් නැති බැවින් මදක් නිදා පිබිද, දල්වන ලද ඇස් දෙකෙන් නොයෙක් ආකාරයේ විකාර දසුන් දුටු සේක. ඒ කෙසේද යත්; ඒ නාටක ස්ත්‍රීන් ගත් ගත් තූර්ය භාණ්ඩ ඒ ඒ තැන දමා නින්දට පැමිණියාහු, ඇතැම් කෙනෙක් දත් මිටි කති. ඇතැම් කෙනෙක් කට ඇරගෙන නිදති. ඇතැම් කෙනෙක් ඇඳ සිටි වස්ත්‍ර ඉවත්ව ගිය භයානක ඉරියව් දැක, කාමච්ඡන්දය (කම් සැපට ඇති ආශාව) දුරු වූ හෙයින්, ඒ රාජ මාළිගාව අමු සොහොනක් මෙන් ශ්‍රී රහිත ස්ථානයක් කොට සිතා, නැවතත් ඉතා බලවත් ලෙස කාමයෙහි කළකිරුණු සේක.
ඒ එසේමය. අශුභ වශයෙන් එම දසුන ගෙන සියලු තුන් ලොවම කල්පාන්තයේ ගිනි ගත්තාක් මෙන් සිතා, “සංසාරගත සත්ත්වයාට ඉතා උපද්‍රවයක් විය. ඉතා පිරිහීමක් විය” යි උදාන වාක්‍ය පවසා, ‘කන්ථක’ නම් අශ්ව රාජයා ගෙන්වා ගෙන, ‘ඡන්න’ නම් ඇමතිවරයාට අශ්වයාගේ වලිගය අල්ලා ගැනීමට සලස්වා, අසු පිටට පැන නැගී, දෙවියන් විසින් විවෘත කර දුන් දොරින් මධ්‍යම රාත්‍රියෙහි මහාභිනිෂ්ක්‍රමණය සඳහා නික්මෙන්නට පටන් ගත් සේක.
එකෙණෙහි මාර දිව්‍ය රාජ තෙම, “බෝධිසත්ත්වයන් යා නොදී නවත්වමි” යි සිතා අහසෙහි සිටියේ, “මිත්‍ර සිද්ධාර්ථ කුමාරයෙනි, නොයන්න. මෙයින් සවැනි දිනයෙහි ඔබට චක්‍ර රත්නය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයෙහි රාජ්‍යය කරව, මහාභිනිෂ්ක්‍රමණය නොකරව (නොයන්න)” යි කීවේය.
ඒ අසා බෝධිසත්ත්වයෝ, “තෝ කවරෙක් දැ” යි විචාළහ. ඒ අසා මාරයා, “මම වසවත් දෙව් රජ ය” යි කීය. බෝධිසත්ත්වයෝ, “මාරය, මමත් (ඒ බව) දනිමි. සතර මහා ද්වීපයෙහි රාජ්‍යයෙන් මට වැඩක් නැත. දස දහසක් ලෝක ධාතුව කම්පා කරවා බුද්ධත්වයට පැමිණෙමි” යි වදාළ සේක.
ඒ අසා මාර තෙම, “එසේ වී නම් මෙතැන් පටන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයන් අතුරෙන් යමක් සිතූ විට ඊට කාරණ දනිමි” යි කියා සෙවණැල්ලක් මෙන් සිදුරු බල බලා පස්සෙන් ගියේය. ඉක්බිත්තෙන් අන් කිසිවෙකුට සමාන නොවන උතුම් වූ අපගේ ශ්‍රී මහා බෝධිසත්ත්වයෝ, සතියෙන් ලැබෙන සක්විති රජ සැපත අලුයම දැමූ කෙළ පිඩක් (කෙළ පහරක්) මෙන් සිතා, මහත් වූ සත්කාරයෙන් නුවරින් නික්මුණු සේක. මෙසේ ඇසළ මස මැදි පොහෝදා උතුරුසල නැකතින් මධ්‍යම රාත්‍රියෙහි මහාභිනිෂ්ක්‍රමණය කරන සේක්; නුවර බලනු කැමැති වූ හෙයින් එකෙණෙහි පෘථිවිය කුඹල් සකක් මෙන් කැරකැවුණු කල නුවර බලා, “ඒ ස්ථානය කන්ථක නිවර්තන චෛත්‍යය වන්නේය” යි සලකුණු දක්වා, ඉදිරියෙන් සහ පස්සෙන් ද, දකුණු පසින් සහ වම් පසින් ද හැට හැට දහසක් මැණික් දඬු වැට පහන් ගෙන නික්මුණු දෙවියන් විසින් ද, සක්වළ ගල දක්වා උරෙන් උර ගැටී මැණික් දඬු වැට පහන් ගෙන සිටි සෙසු දෙවියන් විසින් ද පිරිවරන ලදුව, දස දහසක් සක්වළ දෙවියන් විසින් කරන ලද අපමණ පූජා ලබමින් තිබූ පසළොස් පැය ඇතුළත තිස් යොදුන් මාර්ගය ගෙවා, අලුයම් වේලෙහි ‘අනෝමා’ නම් ගං ඉවුරට පැමිණි සේක.
සිද්ධාර්ථ කුමාරයා කන්ථක අසු පිටින් මහාභිනිෂ්ක්‍රමණය කිරීම.