6. මහිලාමුඛ ජාතකය (26)

star_outline

“පුරාණචොරාන වචො නිසම්මා” යන මේ ජාතක දේශනය බුදුරදුන් වේළුවනයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත තෙරුන් අරබයා වදාළහ. දේවදත්ත තෙම අජාසත්ත කුමරු පහදවාගෙන ලාභ සත්කාර උපදවා ගත්තේය. අජාසත්ත කුමරු දේවදත්තයන් වෙනුවෙන් ගයාශීර්ෂයෙහි විහාරයක් කරවා, නොයෙක් රස මුසු තුන් අවුරුද්දක් පැරණි සුවඳ ඇල් සහලින් පිසූ බත් සැලි පන්සියයක් දිනපතා යැවීය. මේ ලාභ සත්කාර නිසා දේවදත්තයන්ගේ පිරිවර ද මහත් විය. ඔහු පිරිවර සමග එම විහාරයෙහි වෙසෙයි. එකල රජගහ නුවර වැසි යහළුවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතුරින් එක් අයකු බුදුරදුන් වෙත පැවිදි වූ අතර අනෙක් යහළුවා දේවදත්තයන් ළඟ පැවිදි විය. මේ දෙදෙනා ඔවුනොවුන් තැන් තැන්වල දී හමුවෙති; විහාරයට ගොස් ද හමුවෙති.

දිනක් දේවදත්තයන් ඇසුරු කරන භික්‍ෂුව අනෙක් භික්ෂුවට මෙසේ කීවේය.

“ඇවැත්නි, ඔබ දිනපතා දහඩිය වගුරුවමින් පිඬු සිඟා වඩින්නේ කුමට ද? දේවදත්තයන් ගයාශීර්ෂ විහාරයෙහි හිඳිමින් ම නොයෙක් රසයෙන් යුත් මිහිරි බොජුන් වළඳයි. මෙවැනි වෙනත් පහසු උපායක් නැත. ඔබ දුක් විඳින්නේ කුමට ද? අලුයම ගයාශීර්ෂයට අවුත් අතුරුපස සහිත කැඳ බී, දහඅට වැදෑරුම් කැවිලි කා, නොයෙක් රසයෙන් යුත් මිහිරි බොජුන් වළඳන්නට ඔබට නො වටී ද?”

මෙසේ නිතර නිතර කියනු ලැබූ විට, යාමට කැමති වී එතැන් පටන් ඔහු ගයාශීර්ෂයට ගොස්, ආහාර අනුභව කොට වේළුවනයට එයි. ඔහුට මේ කරුණ සැමදා සඟවා තබන්නට නො හැකි විය. “ගයාශීර්ෂයට ගොස් දේවදත්තයන්ට පිරිනැමූ බොජුන් වළඳතැ”යි නොබෝ දිනකින් ම ප්‍රකට විය. ඔහුගේ යහළු භික්‍ෂූහු,

“ඇවැත්නි, ඔබ දේවදත්තයන්ට පිරිනැමූ බොජුන් වළඳන්නේ සැබෑ දැ?”යි ඇසූහ.
“ඔබට කීවෝ කවුරු ද?”
“අසවල් අසවල් අය යැ”යි කීහ.
“ඇවැත්නි, එය සත්‍යයකි. මම ගයාශීර්ෂයට ගොස් වළඳමි. එහෙත් දේවදත්තයන් මට ආහාර නො දෙයි. වෙනත් මිනිස්සු මට ආහාර දෙති.”

“ඇවැත්නි, දේවදත්තයන් බුදුරදුන්ට විරුද්ධ වූවෙකි. එසේ ම දුසිල්වත්ය. අජාසත් කුමරු පහදවාගෙන අධර්මයෙන් තමන්ට ලාභ සත්කාර උපදවා ගත්තේය. ඔබ මෙවැනි නිවන් මඟට යොමු කරන සසුනෙහි පැවිදි ව, දේවදත්තයන්ගේ අධර්මයෙන් ලැබුණ බොජුන් වළඳන්නෙහි ද? එව, බුදුරදුන් වෙත ඔබ පමුණුවන්නෙමු”යි කියමින් ඒ භික්‍ෂුව කැඳවාගෙන දම් සභාවට ගියහ.

බුදුරජාණන් වහන්සේ ඒ දැක,

“කිම මහණෙනි, මේ භික්‍ෂුව අකමැත්තෙන් ම මෙහි රැගෙන ආවේ ද?” යි විචාළ සේක.
“එසේය ස්වාමීනි, මේ භික්‍ෂුව ඔබවහන්සේ ළඟ පැවිදි ව දේවදත්තයන් අධර්මයෙන් උපදවා ගත් බොජුන් වළඳයි.”
“මහණ, ඔබ දේවදත්තයන් අධර්මයෙන් උපදවාගත් බොජුන් වළඳන්නේ සැබෑ ද?”
“ස්වාමීනි, දේවදත්තයන් මට ආහාර නො දෙයි. මිනිස්සු මට දෙති. ඒ ආහාර මම වළඳමි.”
“මහණ, මේ කරුණේදී නිදහසට කරුණු කියමින් වසන් කිරීමට උත්සාහ නොකරන්න. දේවදත්ත අනාචාරීය, දුසිල්වත්ය. මහණ, ඔබ මෙහි පැවිදි ව මාගේ සසුන ඇසුරු කරමින් ම දේවදත්තයන්ගේ ආහාර ගැනීම සුදුසු ද? කවදත් අනුගාමිකයකු වූ ඔබ දුටු දුටුවන් ඇසුරු කරන්නෙහියැ”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණෝ ඒ රජුගේ ඇමැතියෙක් වූහ. එකල රජුගේ මගුල් ඇතා මහිලාමුඛ නම් විය. ඌ සිල්වත්ය, ආචාර සම්පන්නය, කිසිවෙකුට හිංසා නො කරයි. එක් දවසක් ඇත්හල ළඟ රාත්‍රී මැදියම්හි සොරු අවුත් මගුල් ඇතාට නුදුරෙන් හිඳ සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළහ.

“මෙසේ උමං සෑරිය යුතුය. බිත්ති සන්‍ධි බිඳීම මෙසේ කළ යුතුය. උමග සහ ගෘහ සන්‍ධි කැඩූ තැන් මහා මාර්ගයක් මෙන් ද, තොටුපළක් මෙන් ද කිසිදු අවහිරයකින් තොරව තිබිය යුතුය. භාණ්ඩ පැහැර ගත යුතුය. පැහැර ගන්නා විට බාධා කරන්නන් මරා ම දැමිය යුතුය. එවිට විරුද්ධ ව එන්නන් නැගී නො සිටිනු ඇත. සොරුන් වනාහි ආචාර සම්පන්න නො විය යුත්තෝය. නපුරු, සැර පරුෂ, දරුණු අය විය යුතුය.”

මෙසේ ඔවුනොවුන් කථාකොට, කරුණු උගන්වාගෙන ගියහ. මෙලෙස බොහෝ දිනක් මේ සොරු එතනට අවුත් කුමන්ත්‍රණ කළහ. මගුල් ඇතා ඔවුන්ගේ වදන් අසා, “මොවුන් මට උගන්වතැ”යි යන හැඟීමෙන්, “දැන් මා ද ඔවුන් මෙන් ම නපුරු, දරුණු, සාහසිකයකු විය යුතුයැ”යි සිතා එබන්දෙක් ම විය. පසුදා අලුයම ඇතු ළඟට ආ ඇත්ගොව්වා සොඬින් ගෙන බිම ගසා මරා දැමීය. මෙසේ තමන් ළඟට පැමිණි තවත් එකකු ද, තවත් එකකු ද වශයෙන් හැම දෙනාම මරා දමයි.

“මහිලාමුඛ උමතු වූයේය. දුටු දුටුවන් මරා දමතැ”යි රජුට සැලකළහ. රජතුමා බෝසතුන් යැවීය. “පණ්ඩිතයෙනි, ගොස් කුමක් නිසා ඇතු දරුණු වූයේ දැයි දැනගනු මැනව.”

බෝසත්හු ගොස් ඇතුගේ සිරුරෙහි රෝගයක් නැතැයි දැන, “කුමක් නිසා ඔහු දරුණු වූයේ දැ”යි විමසන්නාහු, “ඒකාන්තයෙන් යමකුගේ වදන් අසා ‘මොවුන් මට උගන්වතැ’යි යන හැඟීමෙන් දරුණු වූවා විය යුතුයැ”යි නිගමනය කොට ඇත්ගොව්වන්ගෙන් විචාළේය.

“රාත්‍රී කාලයෙහි ඇත්හළ ළඟ සිට කවුරුන් හෝ කුමක් හෝ කථා කළෝ ද?”
“එසේය ස්වාමීනි, සොරුන් අවුත් කථා කළහ.”

බෝසතුන් රජු වෙත ගොස්, “දේවයනි, ඇතුගේ ශරීරයෙහි කිසි වෙනසක් නැත. සොරුන්ගේ වචන ඇසීමෙන් දරුණු වී ඇත” යි කීහ.
“දැන් කුමක් කළ යුතු ද?”
“සිල්වත් මහණ බමුණන් ඇත්හළෙහි වඩා හිඳුවා ශීලාචාර කථා කරවන්නට වටී.”
“දරුව, එසේ කරවන්න.”

බෝසත්හු ගොස් සිල්වත් මහණ බමුණන් ඇත්හළෙහි වඩා හිඳුවා, “ස්වාමීනි, ශීල කථා කරනු මැනවැ”යි කීහ. ඔවුහු ඇතුට නුදුරෙහි හිඳ,

“කිසිවෙක් අනුන් නො රිදවිය යුත්තේය. නො මැරිය යුත්තේය. සිල්වත් හා ආචාර සම්පන්න විය යුතුය. ඉවසීම, මෛත්‍රිය, දයාව ඇත්තකු විය යුතුය” ආදී වශයෙන් සිල් කථා කළහ.

ඇතා ඒ අසා, “මොවුහු මා හික්මවති”යි සිතා, “මෙතැන් පටන් සිල්වත් විය යුතුයැ”යි අධිෂ්ඨාන කොට සිල්වතකු විය. රජතුමා බෝසතුන්ගෙන්, “කිම දරුව, ඇතා සිල්වත් වූයේ දැ?”යි විචාළේය. බෝසත්හු, “එසේය දේවයිනි, මෙබඳු දරුණු ඇතා පණ්ඩිතයන් නිසා පෙර සිටි තත්ත්වයෙහි ම පිහිටියේයැ”යි කියා මේ ගාථාව කීහ:

Story Illustration [මහිලාමුඛ හස්තියා සිල්වත් බමුණන්ගේ බණ අසමින් සන්සුන් වන අයුරු සහ බෝධිසත්ත්ව අමාත්‍යයා එය බලා සිටින අයුරු]

“මහිලාමුඛ ඇත් තෙම පළමුව සොරුන්ගේ වදන් අසා, අනුන්ට පහර දීමෙහි යෙදුණේය. පසුව මනාව හික්මුණු සිල්වතුන්ගේ දහම් කථා ඇසීමෙන්, ඒ උතුම් ඇත් රජ තෙමේ පෙර තිබූ සියලු ගුණයන්හි පිහිටියේය.”

එහි පුරාණ චොරාන යනු ‘පෙර සොරුන්ගේ’ යන්නයි. නිසම්ම යනු ‘අසා’, එනම් පළමුව සොරුන්ගේ වචන අසා යන අර්ථයයි. මහිලාමුඛො යනු ඇතින්නකගේ වැනි මුහුණක් ඇත්තා ය. නැතහොත් යම් සේ ස්ත්‍රීහු ඉදිරියෙහි සිට බලන විට හොබනේ වෙත් ද, පසුපසින් බලන විට එසේ නො වෙත් ද, මේ ඇතා ද ඉදිරියෙහි සිට බලන විට සුන්දරය. එම නිසා මේ ඇතාට ‘මහිලාමුඛ’ යැයි නමක් තැබූහ. පොථයමන්වචාරී යනු පහර දෙමින්, මරමින් හැසිරුණේය යන්නයි. සුසඤ්ඤතානං යනු මනා සේ හික්මුණු සිල්වතුන්ගේ ය. ගජුත්තමො යනු උසස් ඇතා හෙවත් මංගල හස්තියාය. සබ්බ ගුණෙසු අට්ඨා යනු පෙර තිබුණු සියලු ගුණයන්හි පිහිටියේය යන්නයි.

රජතුමා “තිරිසනාගේ පවා සිතැඟි දනියි” කියා බෝසතුන්ට මහත් සම්පත් දුන්නේය. හෙතෙම දිවි ඇති තාක් සිට බෝසතුන් සමඟ කම් වූ පරිදි මිය ගියේය.

බුදුරජාණන් වහන්සේ, “මහණ, ඔබ පෙර ද දුටු දුටුවන් ඇසුරු කළෙහිය. සොරුන්ගේ වචන අසා සොරුන් ඇසුරු කළෙහිය. ධාර්මිකයන්ගේ වචන අසා ධාර්මිකයන් ඇසුරු කළෙහිය”යි වදාරා, මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමවූ සේක.

“එකල්හි මහිලාමුඛ ඇතා වූයේ මේ විපක්‍ෂය සේවනය කළ භික්‍ෂුවය. රජතුමා වූයේ ආනන්ද ස්ථවිරයන්ය. ඇමැතියා වූයේ මම ම ය.”

මහිලාමුඛ ජාතක වර්ණනාව නිමියේය (6).