සුමේධ පණ්ඩිතයෝ

star_outline

මුළු ලොවටම එකම නායකයාණන් වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රෙය යන බුදුරජාණන් වහන්සේලා නමැති සූර්යයන් පස් දෙනෙකුගෙන් බැබළුණු හෙයින් ‘භද්‍ර කල්පය’ යැයි නම් ලත් මේ කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ‘සාරමණ්ඩ’ නම් කල්පයක් විය. ඒ කල්පයෙහි සතරවන අන්තඃකල්පයෙහි, සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියලු රත්නයන්ට උත්පත්ති ස්ථාන වූ ගංගා, ගිරි (කඳු), තටාක (විල්), ආරණ්‍ය ආදියෙන් අලංකාර වූ ජම්බුද්වීපයෙහි, දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය මෙන් සදා රම්‍ය වූ, ක්ෂණික මරණ නැති හෙයින් ‘අමර’ යැයි කියන ලද දෙවියන් වැනි වූ නරනාර්‍රී සමූහයාගෙන් ගැවසී ගත් හෙයින් ‘අමරවතී’ නුවර යයි නම් ලත් එක්තරා නුවරක් විය.

එහි සුමේධ නම් බ්‍රාහ්මණෝත්තම කෙනෙක් වාසය කළහ. ඔහු වනාහි සත්වන කුල පරම්පරාව දක්වා කුලය පිළිබඳ වචනයකින්වත් දෝෂාරෝපණය කළ නොහැකි වූ, මව් පිය දෙපසින්ම පිරිසිදු වූ, දුටුවන්ගේ සිත් තුළ ප්‍රිය උපදවන්නා වූ, අනංගයා පරදවන රූප ශෝභාවෙන් යුක්ත වූ අයෙක් විය. ඔහු ගොවිතැන් හෝ වෙළඳාම් ආදී වෙනත් කිසිදු ක්‍රියාවක නිරත නොවී, බ්‍රාහ්මණයන් විසින් උගත යුතු සෘග්, යජුර්, සාම යන ත්‍රිවේදය ද, අථර්ව වේදය ද, නිඝණ්ඩු, ව්‍යාකරණ, ජ්‍යොතිෂ ශාස්ත්‍රය ආදී වේදාංග හය ද, තවද ලෝකයෙහි පවතින යම් තාක් ශාස්ත්‍ර ඇද්ද ඒ සියල්ලෙහිම කෙළවරට පැමිණියා වූ බ්‍රාහ්මණෝත්තම කෙනෙක් විය. ඔහුගේ මව්පිය දෙදෙනා ඔහු ළදරු කාලයේ දී ම කාලක්‍රියා කළාහුය.

ඔහුගේ වස්තුව ආරක්ෂා කිරීමෙහි යෙදී සිටි රාසි වඩ්ඪක නම් අමාත්‍ය තෙමේ අය-වැය පොත ගෙන, රන් රිදී මුතු මැණික් ආදියෙන් පිරුණු වස්තු ගබඩාවල දොර හරවා, “ස්වාමීන් වහන්ස, මේ ධන රාශියෙන් මෙපමණක් ඔබ වහන්සේගේ මව සන්තක ධනය ය. මෙපමණක් පියා සන්තක ධනය ය. මෙපමණක් ඔබ වහන්සේගේ මුතුන් මිත්තන් සන්තක ධනය ය. ඔබ වහන්සේගේ සත් මුතුන් පරම්පරාවේ සිට පැවත එන්නා වූ මේ ධන රාශිය පරිහරණය කළ මැනව” යි කීහ.

මහා පරිත්‍යාගය

එකල්හි සුමේධ පණ්ඩිත තෙමේ මෙසේ සිතූ සේක: “මාගේ මව්පිය ආදීහු මේ ධනය රැස්කොට තබා පරලොව යන්නාහු එකම කහවණුවක් තරම් දෙයක්වත් රැගෙන නොගියාහු ය. මා විසින් වනාහි මේ ධන සම්පත් දන් දීම් වශයෙන් මා සමග රැගෙන යන්නට වටින්නේ ය” යි සිතා රජතුමාට ඒ බව දන්වා, “ධන ධාන්‍යයෙන් ප්‍රයෝජන ඇති කෙනෙක් සුමේධ බ්‍රාහ්මණයන්ගේ ගෙදොරට එත්වා” යි මුළු නුවර බෙර හසුරුවා, යාචකයන්ගේ සිත් ලෙස දින හතක් මුළුල්ලෙහි රුවන් පිරූ ගබඩාවල දොර හැර, නොවසා දන් දුන් සේක.

ඉක්බිති මාගේ ස්වාමි දරු වූ ඒ සුමේධ බෝධිසත්වයෝ දිව්‍ය විමානයක් මෙන් උතුම් වූ මතුමහල් තලයෙහි රහසිගතව පලක් බැඳ වැඩ හිඳ මෙසේ සිතූහ. කෙසේ ද යත්; “එම්බා සුමේධ පණ්ඩිතයෙනි, නැවත නැවත භවයෙහි පිළිසිඳ ගැනීම නම් මහත් දුකකි. එසේම උපනුපන් ස්ථානයෙහි ශරීරයාගේ විනාශ වීම ද දුකකි. මම ද ඉපදීම ස්වභාව කොට ඇත්තෙමි. ජරාවට පත්වීම ස්වභාව කොට ඇත්තෙමි. රෝගී වීම ස්වභාව කොට ඇත්තෙමි. මෙසේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඇති සසරෙහි දුක් විඳින මා විසින්, ජාති නැත්තා වූ, ජරා නැත්තා වූ, ව්‍යාධි නැත්තා වූ, මරණ නැත්තා වූ, ඒකාන්ත සැප ඇති, රාගාදීන් තැවීමක් නැති හෙයින් සිසිල් වූ අමෘත මහා නිර්වාණය සොයන්නට වටින්නේය. භවයෙන් මිදීම ඇති නිර්වාණ මාර්ගයක් ද ඒකාන්තයෙන්ම තිබිය යුතුය” යි සිතූ සේක.

එයින් මත්තෙහි ද සිතන සේක්, “යම් සේ මේ ලෝකයෙහි කයත් සිතත් පීඩා කරන්නා වූ දුක නැති කරන ‘සැපත’ නම් දෙයක් ඇත්තේද, එලෙසම භවය ඇති කල්හි ඒ භවය විනාශ කිරීමට සුදුසු වූ ‘විභවයක්’ (නිවනක්) ද තිබිය යුතුය. යම් සේ මේ ලෝකයෙහි නොඉවසිය හැකි උෂ්ණයක් ඇති කල්හි එය නැසිය හැකි ජලය, සුළඟ ආදී සිසිල් දෙයක් ඇත්තේ ද, එලෙසම රාගාදී ක්ලේශ ගිනි නිවා දමන නිර්වාණයක් ද තිබිය යුතුය. යම් සේ ලෝකයෙහි පවිටු වූ, ලාමක වූ පාප ධර්මයක් ඇති කල්හි, එය නැසිය යුතු වූ කල්‍යාණ වූ, නිවැරදි වූ කුසල ධර්මයක් ද තිබිය යුතුය. එලෙසම ඒ ඒ තැන උපදවන පවිටු වූ ජාතිය (ඉපදීම) ඇති කල්හි, ඒ ජාතිය නැති කරන්නා වූ නිර්වාණයකුත් ඇත්තේමය” යි නිවන් ඇති බව නිශ්චය කොට සිතූ සේක.

එහෙයින් මෙසේ කියන ලදී:

යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ, සුඛං නාමපි විජ්ජති;

එවං භවෙ විජ්ජමානෙ, විභවොපි ඉච්ඡිතබ්බකො.

තවද බුදුන් පසේබුදුන් හැර සෙස්සන් විසින් නොසෙවිය හැකි නිවන් ඇති බව මෙසේ නොයෙක් උපමාවෙන් විනිශ්චය කොට සොයා, තමා කාමයෙන් නික්ම ගොස් ඒ නිර්වාණය සෙවිය යුතු බව නොයෙක් උපමාවෙන් නැවතත් සිතූ සේක. ඒ කෙසේ ද යත්;

“එම්බා සුමේධ පණ්ඩිතයෙනි, යම් සේ පුරුෂයෙක් මහත් වූ අසූචි වළක ගිලී කිළුටු වූ ශරීර ඇතිව සිටී ද, ඒ පුරුෂයා පස් පියුමෙන් ගැවසී ගත්, සිහිල් දියෙන් පිරී තිබෙන විලක් දැක, ඒ විලට බසින මග නොසොයා, ‘ශරීරයෙහි තැවරී තිබෙන අසූචි මල සෝදා පිරිසිදු වෙමි’ යි සිතා විලට බසින්නට උත්සාහ නොකරයි නම්, එය ඒ අඥාන පුරුෂයාගේ දෝෂයක් මිස විලෙහි දෝෂයක් නොවන්නේ ය. එසේම කෙලෙස් නමැති මල පිරිසිදු කිරීමට සමත් වූ නිවන් නමැති විලට බැස කෙලෙස් මල පිරිසිදු කිරීමට උත්සාහ නොකරයි නම්, එම්බා සුමේධ පණ්ඩිතයෙනි, එය තොපගේම දෝෂයක් මිස නිර්වාණ නමැති විලෙහි දෝෂයක් නොවන්නේ ය.

යම් සේ සොරුන් විසින් වට කරන ලද පුරුෂයෙක්, ගැලවී යන්නට සුදුසු මාර්ගයක් තිබිය දී, ඉදින් ඒ මග නො යේ නම් එය මාර්ගයෙහි දෝෂයක් නොවේ. එය ඒ පුරුෂයාගේම දෝෂයක් වන්නේ ය. එලෙසම කෙලෙස් නමැති සොරුන් විසින් පිරිවරා ගත්, හෙවත් වට කොට සිසාරා ගන්නා ලද පුරුෂයෙක් ඇත්තේ ද, ඒ පුරුෂයාට කෙලෙස් සතුරන්ගෙන් මිදුණු නිර්වාණ මාර්ගය තිබිය දී, ඒ මග නො යේ නම් ඒ පුරුෂයාගේම දෝෂයක් මිස නිර්වාණ මාර්ගයෙහි දෝෂයක් නොවන්නේ ය.

යම් සේ රෝගයකින් පීඩිත වූ පුරුෂයෙක්, සියලු රෝග සුව කිරීමෙහි දක්ෂ වූ වෛද්‍යවරයෙකු ළඟ සිටිය දී, ඒ වෛද්‍යවරයා වෙත ගොස් රෝගයට නිසි ප්‍රතිකාර නොකරවා ගනී නම්, ඔහුගේ දෝෂයක් මිස වෛද්‍යවරයාගේ දෝෂයක් නොවන්නේ ය. එලෙසම කෙලෙස් නමැති ව්‍යාධියෙන් පීඩිත වූ සත්ව තෙමේ රෝග සුව කිරීමට සමත් වූ නිවන් නමැති ආචාරීන් වහන්සේව සේවනය නොකරයි නම්, ඒ පුද්ගලයාගේ දෝෂයක් මිස නිවන් නමැති ආචාරීන්ගේ දෝෂයක් නොවන්නේ ය.”

එහෙයින් මෙසේ කියන ලදී:

යථා ගූථගතො පුරිසො, තළාකං දිස්වාන පූරිතං;

න ගවෙසති තං තළාකං, න දොසො තළාකස්ස සො.

“තවද වැසිකිළියක පහ කරන ලද මල මුත්‍ර කෙරෙහි කිසි ආශාවක් නොකොට, නින්දා කොට යන ස්ත්‍රී පුරුෂයෝ, එය රෙදි කොනක දවටාගෙන හෝ ඉණෙහි ගසාගෙන හෝ නොයති ද, එලෙසම මා විසිනුත් මේ කුණු ශරීරය කෙරෙහි ආශාවක් හෝ මැදහත් බවක් හෝ නොකොට එය අතහැර දමා නිවන් පුර යා යුතුය.

තවද යම් සේ නාවිකයෝ දිරා ගිය, සිදුරු වී ජලය කාන්දු වන ජරාවට පත් නැව් හැර දමා යත් ද, එසේම මා විසිනුත් නව දොරකින් කුණු වෑහෙන මේ ශරීරය හැර නිවන් පුර යා යුතුය.

තවද යම් සේ පුරුෂයෙක් නොයෙක් රත්නයන් රැගෙන සොරුන් සමග යන විට, තමාගේ රත්නයන් සොරුන් නිසා නැසී යයි දෝ යන බියෙන්, ඔවුන් හා නොගොස් උවදුරු රහිත මාර්ගයකින් යයි ද, එසේම මා විසිනුත් සොරුන් වැනි මේ ශරීරය හැර යා යුතුය. ඉදින් තෘෂ්ණාව කළෙම් නම් කුසල් නමැති රුවන් නැසෙන්නේ ය. එබැවින් මා විසිනුත් කුසල් නමැති රුවන් නැසීමට ඇති බිය නිසා මේ ශරීරය හැර නිවන් නමැති නගරයට යා යුතුමය” යි සිතූ සේක.

එහෙයින් මෙසේ කියන ලදී:

යථාපි කුණපං පුරිසො, කණ්ඨෙ බද්ධං ජිගුච්ඡිය;

මොචයිත්වාන ගච්ඡෙය්‍ය, සුඛී සෙරී සයංවසී.

තාපස ප්‍රවෘජ්‍යාව

මේ ආදී අනේක උපමාවෙන් ගිහිගෙන් නික්මෙන්නට සුදුසු අර්ථය සිතින් සලකා බලා, තමන්ගේ ප්‍රමාණය ඉක්මවා තිබූ ධන රාශිය පෙර කී ක්‍රමයෙන් යාචකාදීන්ට දන් දී, වස්තුකාම ක්ලේශයන් හැර අමර නම් නුවරින් නික්ම හුදකලාව හිමාලයේ ධම්මික නම් පර්වතය ඇසුරු කොට, පඤ්ච දෝෂවලින් තොර වූ පන්සලක් හා සක්මන් මළුවක් මවා (විශ්වකර්මයා ලවා නිර්මාණය කරවා), කාමච්ඡන්දාදී පංච නීවරණ ධර්මයන්ගෙන් වෙන් වූ පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවනු පිණිස, ඒ ආශ්‍රම ප්‍රදේශයෙහි නව දෝෂයකින් යුක්ත වූ සාටක යුගලය (ගිහි වස්ත්‍ර) හැර දමා, දොළොස් ගුණයකින් යුත් වාක චීවරය (වල්කල වස්ත්‍ර) හැඳ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූ සේක. මෙසේ පැවිදි වූ තැනැත්තේ අෂ්ට දෝෂයකින් යුත් ඒ පන්සල (ගෘහය) හැර දමා, දස ගුණයකින් යුක්ත වූ වෘක්ෂ මූලයට එළඹ, ධාන්‍යයෙන් කළා වූ සියලු භෝජනයන් හැර, වැටුණු පලතුරු භෝජනය කොට, හිඳීම සහ සක්මන් කිරීම යන ඉරියව්වලින් වීර්යය කිරීමෙහි යෙදී සත් දවසක් ඇතුළත දී ම පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභී වූ සේක.

එයින් මෙසේ කියන ලදී:

එවාහං චින්තයිත්වාන, නෙකකොටිසතං ධනං;

නාථානාථානං දත්වාන, හිමවන්තමුපාගමිං.

දීපංකර බුදුරදුන්ගේ පහළ වීම

එසමයෙහි අවිද්‍යා නමැති අන්ධකාරය නසන්නා වූ, සද්ධර්ම නමැති ප්‍රදීපාලෝකය කරන්නා වූ, සර්ව ලෝකයා හට ශාන්ති කර වූ දීපංකර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඊට පෙර කාලයෙහි බොහෝ කල්ප කෝටි සිය දහස් ගණනක් මුළුල්ලෙහි දානාදී සමත්‍රිංශත් පාරමී ධර්මයන් පුරා, රම්‍යවතී නම් රාජධානියෙහි සුදේව නරපතින් නිසා සුමේධා නම් බිසවුන්ගේ කුසෙහි පිළිසිඳ ගෙන, වළාකුළු පටලයකින් නික්මුණු පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් මෙන් මව් කුසින් බිහි වී, දස දිග බලා උතුරු දිසාවට මුහුණ ලා සිංහනාද කොට, ක්‍රමයෙන් වැඩී හංසය, කොංචය, මයුරය යන නම් ඇති තුන් මාලිගාවල ලක්ෂ ගණන් නාටක ස්ත්‍රීන් සමග රාජ්‍ය ශ්‍රී සම්පත් අනුභව කරමින් සිටි සේක. ලක්ෂයක් අවුරුදු ආයුෂ ඇති ඒ කාලයෙහි දස දහසක් අවුරුදු මුළුල්ලෙහි ගිහි ගෙයි වැස, පදුමා නම් දේවියගේ කුසින් වෘෂභස්කන්ධ නම් පුත් රුවනක් උපන් කල්හි, ජරා, ජීර්ණ, ව්‍යාධි, මෘත යන දේව දූතයන් තුන්දෙනා දැක, සසර කලකිරී, නැවත පැවිදි රූපය දැක ‘මේ ලෙස කරමි’ යි සිතා අලංකාරවත් වූ ඇත් කඳ පිට නැගී, එසේම සූවාසු දහසක් ඇත් කඳ පිට නැගි රජ දරුවන් පිරිවරාගෙන, මහත් වූ රාජකීය පිරිස සමග මහාභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූ සේක.

උන්වහන්සේ අනුව පැවිදි වූ කෝටියක් පමණ භික්ෂූන් විසින් පිරිවරා ගන්නා ලදුව දස මසක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියා කොට, එක්තරා පුර කාන්තාවක් විසින් පිළිගන්වන ලද දිව්‍ය ඕජස් දැමූ කිරිපිඬු වළඳා, සල් වනයෙහි දිවා විහරණය කොට, සුනන්දා නම් ආජීවකයා දුන් කුස තණ මිටි පිළිගෙන, පුලිල නම් බෝධි වෘක්ෂ මූලයෙහි දී සම්‍යක් සම්බෝධි ඥානය ලබා ගත් සේක. බෝධි වෘක්ෂය සමීපයෙහි ම පිළිවෙළින් සති හතක් ගෙවා, සුනන්දාරාමයෙහි දී ධර්ම චක්‍රය පවත්වා, සුමංගල හා තිස්ස යන නමින් ප්‍රසිද්ධ අග්‍ර ශ්‍රාවක දෙදෙනා වහන්සේ සමග හැම කල්හිම ආශ්‍රවයන් ක්ෂය කළ සාර ලක්ෂයක් පමණ රහතන් වහන්සේලා විසින් පිරිවරා ගන්නා ලදුව, සාගත නම් මහා තෙර කෙනෙකු විසින් උපස්ථාන ලබමින්, නන්දා හා සුනන්දා යන අග්‍ර ශ්‍රාවිකා දෙදෙනා ලබා ගත් සසුන ඇතිව, පිළිවෙළින් සැරිසරණ සේක් රම්‍ය (සුදර්ශන) නම් නුවරට පැමිණ, ක්ලේශ ගින්නෙන් තැවුණා වූ ජනයන් ධර්ම කථා නමැති අමෘත රස ධාරාවෙන් සිසිල් බවට පමුණුවමින් සුදර්ශන මහා විහාරයෙහි වැඩ වදාරන සේක.

මෙසේ “සර්වඥයන් වහන්සේ සුදර්ශන මහා විහාරයෙහි වැඩ වසන සේකැ” යි ඇසූ රඹගම් (රම්‍ය) නුවර වැසි ශ්‍රද්ධාවන්ත ජනයෝ සුවඳ, දුම්, මල්, පහන් අතින් ගෙන බුදුන් කරා එළඹ, පසඟ පිහිටුවා වැඳ, සුවඳ මල් ආදියෙන් පුදා බණ අසා, “ගැත්තවුන් කෙරෙහි අනුකම්පාවෙන් හෙට දවසට භික්ෂාව ඉවසා වදාරන සේක්වා” යි ආරාධනා කොට නුවරට ගොස්, දෙවැනි දවසේ මහ දන් සලසා, නුවර අලංකාර කොට, නැවත බුදුන් වඩිනා මාර්ගය සරසන්නාහු ජලයෙන් කැඩුණු තැන්වල පස් පුරවා සමතලා කරමින්, රිදී පටක් සේ වැලි අතුරා, ලද පස් මල් ඉසිමින්, නානා විධ විචිත්‍ර වස්ත්‍රයෙන් ධජ පතාක නංවමින්, කෙසෙල් තොරණ, පුන් කලස් පේළි ආදිය සදමින් සිටියහ.

මාර්ගය සැරසීම සහ නියත විවරණය

ඒ සමයෙහි සුමේධ තාපසයන් වහන්සේ උන්වහන්සේගේ ආශ්‍රමයෙන් පිටත්ව, මාර්ගය සරසමින් සිටි ඒ මනුෂ්‍යයන්ට ඉහළින් අහසින් යන සේක්, සතුටු වූ සිත් ඇති ඒ මිනිසුන් දැක “කාරණා කිමෙක් දෝ” යි විමසනු පිණිස අහසින් බැස එකත්පසෙක සිට, “එම්බා උපාසකවරුනි, මේ මාර්ගය තොපි කවුරුන් සඳහා අලංකාර කොට සරසවු ද?” යි ඒ මනුෂ්‍යයන්ගෙන් විචාළ සේක. එය ඇසූ ජනයෝ කියන්නාහු, “ස්වාමී වූ සුමේධ පණ්ඩිතයන් වහන්ස! ඔබ තවම නොදන්නා සේක් ද? දීපංකර නම් දසබලධාරී වූ සර්වඥයන් වහන්සේ සර්වඥතා ඥානයට පැමිණ, පවත්වන ලද උතුම් වූ ධර්ම චක්‍රය ඇතිව, ලෝකාභිවෘද්ධිය පිණිස ගම් නියම්ගම් ආදියෙහි සැරිසරණ සේක් අපගේ නුවර සුදර්ශන මහා විහාරයෙහි වැඩ වසන සේක. අපි ඒ සර්වඥයන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට දන් දෙනු පිණිස ආරාධනා කොට උන්වහන්සේලා වඩිනා මාර්ගය සරසන්නෙමු” යි කීහ.

ඒ ඇසූ සුමේධ තාපසයන් වහන්සේ සිතන සේක්; “කල්ප ලක්ෂයකින් වුවද ‘බුදු කෙනෙක්’ යන ශබ්ද මාත්‍රයක් ඇසීම දුර්ලභ ය. එබඳු සර්වඥ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේකැ යි ඇසීමි. නොබෝ වේලාවකින් දක්නට ලැබේ යැයි ප්‍රීතියෙන් පිනා ගිය සිත් ඇතිව, මේ මාර්ගයෙන් එක් කොටසක් මා විසිනුත් සැරසිය යුතුය” යි සිතා, “එසේ වී නම් උපාසකවරුනි, මටත් මින් කොටසක් දෙනු මැනව” යි ඉල්ලූ සේක. උපාසකවරුත් සුමේධ තාපසයන් වහන්සේ සෘද්ධි ඇති සේකැයි දැන, තමන් විසින් වහා සරසා ගත නොහැකි වූ සිහිල් දියෙන් පිරුණු ගැඹුරු මඩ වළක් දී “මෙය ඔබ වහන්සේ සැරසුව මැනවැ” යි කීවාහුය.

එකල්හි සුමේධ තාපසයන් වහන්සේ බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා සිතන සේක්, “මෙම ස්ථානය සෘද්ධියෙන් සරසන්නට මම සමර්ථ වෙමි. එනම් අමරපුරට අධිපති වූ ශක්‍ර දිව්‍ය රාජයාගේ පරසතු රුක සොලවා මල් ගෙනවිත් සරසන්නට සමර්ථ වෙමි. නාග ලෝකයට අධිපති වූ නාග රාජයාගේ සිත් සතුටු කරවන කඩුපුල් මල් ගෙනවිත් සරසන්නට සමර්ථ වෙමි. ස්වර්ණ මේරු පර්වත රාජයාගේ යට කොටසින් සත් රුවන් ගෙනවිත් මේ ගැඹුරු මඩ වළ පුරවන්නට සමර්ථ වෙමි. තවද අහස බලා රුවන් වැසි වස්වා මේ මඩ වළ පුරවන්නට ද සමර්ථ වෙමි. එහෙත් මෙසේ සෘද්ධි බලයෙන් සැරසීම වනාහි මගේ සිත සතුටු වන්නා වූ ක්‍රියාවක් නොවේ. අද මා විසින් ඒ තිලෝගුරු සර්වඥයන් වහන්සේ උදෙසා කයෙන් මහන්සි වී කරන වතාවත් (කාය වෙය්‍යාවෘත්‍ය) කළ යුතුයි” සිතා, එබඳු මහානුභාව සම්පන්න තාපසයන් වහන්සේ බුදුන් කෙරෙහි මහත් ගෞරවයෙන් මෘදු මොළොක් අතින් පස් ගෙනවිත් ඒ මඩ වළ පුරවමින් සිටියදී, එය නිම වන්නටත් කලින් ම තුන් ලොවට පහනක් වැනි වූ, දස බලධාරී වූ ඒ දීපංකර නම් සර්වඥයන් වහන්සේ මහානුභාව සම්පන්න වූ, ෂඩ් අභිඥාධර වූ, ආශ්‍රවයන් ක්ෂය කළා වූ, සංඝයාට අලංකාරයක් වූ සාර ලක්ෂයක් පමණ භික්ෂූන් විසින් පිරිවරා ගන්නා ලදුව, අසදෘශ වූ බුද්ධ ලීලාවෙන් වැඩම කළ සේක.

එකල්හි සුමේධ තාපසයන් වහන්සේ ඇස් දල්වා බලා, අලංකාර කරන ලද මාර්ගයෙන් වඩින්නා වූ දසබලධාරී වූ සර්වඥයන් වහන්සේගේ මනාව පිහිටි දෙපා ආදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සැරසුණු, අසූවක් අනුව්‍යඤ්ජනයෙන් බැබළෙන, රියන් ප්‍රභා මණ්ඩලයෙන් හාත්පස ආවරණය වූ, මැණික් පැහැති අහස් තලයෙහි දස දිග දිවෙන ලක්ෂ ගණන් විදුලි රේඛා මෙන් එකිනෙක වෙලී ගිය නිල්, කහ, රතු, සුදු, මදටිය, ප්‍රභාස්වර යන ෂඩ් වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදුවන්නා වූ ආත්ම භාවයෙන් බැබළුණු ඒ ලෝක ස්වාමී වූ සර්වඥයන් වහන්සේ දැක, “අද මා විසින් දස බලධාරී වූ මේ උතුමාණන් වහන්සේට ජීවිත පරිත්‍යාග කරන්නට වටින්නේය” යි සිතූහ.

“භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේගේ දෙසිය සොළසක් මංගල ලක්ෂණයෙන් විසිතුරු වූ ශ්‍රී පාද යුග්මය මේ මඩ මත නොතබා, මැණික් පුවරුවකින් කළ පාලමක් පාගා වඩින්නාක් මෙන් සාර ලක්ෂයක් පමණ රහතන් වහන්සේලා සමග මාගේ පිට පාගාගෙන වඩිනා සේක්වා! එසේ වැඩීම මට දීර්ඝ කාලයකට සිතට සැප පිණිස වන්නේය” යි සිතා දළමඬුලු (කෙඳි සහිත පලස්) හා අඳුන් දිවි සම්, වැහැරි සිවුරු යන මේවා කාලවර්ණ වූ මඩ මතුපිට අතුරා, මැණික් පුවරු පාලමක් මෙන් මඩ මත මුනින් වැතිරී ගත් සේක.

Story Illustration සුමේධ තාපසයාණන් මඩ මත ඒදණ්ඩක් සේ වැතිර සිටින අයුරු

මෙසේ මඩ මතුපිට වැතිර සිටියා වූ සුමේධ තාපසයන් වහන්සේ නිල් මහනෙල් පෙති බඳු වූ දෑස් දල්වා තුන් ලොවට එකම සූර්යයා වූ දීපංකර සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ අසමසම වූ, සිතා නිම කළ නොහැකි වූ, උපමා රහිත වූ බුද්ධ ශ්‍රී විලාසය බලන සේක් සතුටු වී මෙසේ සිතූ සේක.

කෙසේ ද යත්; “ඉදින් මට අවශ්‍ය නම් මේ බුදුන් කෙරෙහි පැවිදිව ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, මාත්සර්ය ආදී සියලු ක්ලේශයන් නසා අග්‍ර දක්ෂිණෙය බවට (රහත් බවට) පැමිණ, සාර ලක්ෂයක් රහතන් වහන්සේලාට නවක භික්ෂුවක් වී බුදුන් පිරිවරා රම්‍ය නම් නුවරට වඩින්නට මම සමර්ථ වෙමි. එහෙත් එසේ කිරීම, ඉතා මිහිරි රස ඇති භෝජනයක් ලැබ, බොහෝ කාලයක් බඩගින්නෙන් පීඩිත සත්ව සමූහයා බලා සිටිය දී අඳුරු ගබඩාවකට වැදී තනිව අනුභව කිරීමක් වැනිය. බඩගින්නෙන් හා පිපාසයෙන් පෙළෙන ළදරුවන් බලා සිටිය දී අමෘත රස අනුභව කරන මවක් වැනිය. ගිනි ගෙන දැවෙමින් දරුවන් හඬ හඬා සිටිය දී තනිව ගැලවී දුවන මව්පියන් වැනිය. එසේ හෙයින් හුදකලාව අප්‍රසිද්ධව නිවන් පුර යාමෙන් ප්‍රයෝජන නැත. මම ද දීපංකර දසබලධාරී සර්වඥයන් වහන්සේ මෙන් සම්මා සම්බෝධියට පැමිණ, සද්ධර්ම නමැති නැවෙහි නංවා සංසාර නමැති සාගරයෙන් සත්ව වර්ගයා එතෙර කොට, නිවන් නමැති අමා රසයෙන් සන්තර්පණය කොට, පසුව පරිනිර්වාණය කරන්නෙමි. එය මට සුදුසු ය” යි සිතා අෂ්ට ධර්ම සමෝධානයෙන් යුක්තව බුද්ධත්වයට අධිෂ්ඨාන කොට වැතිර සිටි සේක.

එකල්හි ලෝකයාට ශාන්තිය උදාකරන්නා වූ දීපංකර නම් සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වැඩම කොට සුමේධ තාපසයන් වහන්සේගේ හිස පැත්තේ සිට, සවස ඝන වළාකුළක පැහැයෙන් බැබළෙන රුවන් කන්දක් සේ ෂඩ් වර්ණ ඝන රැස් මාලාවෙන් දිලිහි දිලිහී වැඩ සිට, රන් ප්‍රාසාදයක ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කළ සිංහ පඤ්ජරයක් (කවුළුවක්) විවෘත කරන්නෙකු මෙන්, පඤ්ච වර්ණ ප්‍රසාදයෙන් යුත් දෑස් විවර කොට, මඩ පිට වැතිර සිටි සුමේධ තාපසයන් දෙස බලා වදාරා, “මේ උග්‍ර තපස් ඇති තාපස තෙමේ බුද්ධත්වයට අධිෂ්ඨාන කොට වැතිර සිටින්නේය. මොහුට ඒ ප්‍රාර්ථනාව ඉටු වේ දෝ නොවේ දෝ” යි ප්‍රමාණය ඉක්මවා ගිය කල්ප කෝටි සිය දහස් ගණනක් ඈත අනාගතය දක්නා ඥානය මෙහෙයවා බලන සේක්, “මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වූ කල්හි මොහු ගෞතම නම් බුදු වන්නේය” යි දැක පිරිස මැද වැඩ සිට, කැටුව වඩිනා සාර ලක්ෂයක් භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක.

“මහණෙනි, පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභී හෙයින් උග්‍ර වූ තේජස් ඇති මේ සුමේධ තාපසයන් දෙස බලව. මෙතෙමේ සාමාන්‍ය සත්වයෙක් නොවේ. මේ කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි උත්තරී මනුෂ්‍ය ධර්මයෙන් අනුත්තර වූ මාර්ගයෙන් ගොස් ලොවුතුරා බුදු වී, පඤ්ච මහා ගංගාවල ජලයෙනුත් නිවිය නොහැකි ත්‍රිවිධ ගිනි නිවා, සත්වයන්ට අමා මහ නිවන් බෙදා දෙන කෙනෙකි. එසේ හෙයින් මෙබඳු උදාර අදහස් ඇති සත්වෝත්තමයෝ ලෝකයෙහි දුර්ලභ වෙති. මුළු ලොව සනාථ කරන්නෝත් මෙබඳු එක්කෙනෙක්මය.”

“තමන් මතු සර්වඥතා ඥානයට පැමිණෙන කාලයෙහි නොයෙක් වර ගර්ජනා කොට විඩාවට පත් වන්නා වූ මහ පොළොව අදම වැළඳගෙන සතුටු කරන්නා වූ මේ මඩ මත වැතිර සිටින මහා පුරුෂයාණෝ, සියලු වස්තුවෙන් පිරුණු කපිලවස්තු නම් නුවරක ඉපිද, සතළිස් දහසක් දෙවඟනන් බඳු වරඟනන් විසින් පිරිවරා ගන්නා ලදුව ගෘහ වාසයෙහි වැස, විසි නවවන වියේ දී ගෘහයෙන් නික්ම (මහාභිනිෂ්ක්‍රමණය කොට), ඥානය මේරීම සඳහා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට, අජපාල නම් නුග රුක මුල දී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා නම් ගං ඉවුරේ දී වළඳා, දෙවියන් විසින් අලංකාර කොට පිළියෙළ කරන ලද මාර්ගයෙන් බෝ මැඩට එළඹ, පැදකුණු කොට, උතුම් වූ ඇසතු නම් බෝධි වෘක්ෂ මූලයෙහි බුදු වන්නේය” යි යනාදී වශයෙන් ඒ බුදු වන කාලයෙහි සියලු ප්‍රවෘත්තිය සිව්වනක් පිරිස මැද ප්‍රකාශ කොට වදාරා, අනාගතයේ රාජ්‍ය ශ්‍රීයට පත්වන රජ කුමරෙකුට තෑගි දී පිරිස මැද සතුටු කරවන නර දේව රජෙකු සේ ප්‍රශංසා කොට, නියත විවරණ දී, දෑසමන් මල් අට මිටකින් පුදා ප්‍රදක්ෂිණා කොට වැඩම කළ සේක. ඒ රහතන් වහන්සේලා ද සුවඳ මල් ආදියෙන් පුදා ප්‍රදක්ෂිණා කොට වැඩම කළ සේක.

තවද දස දහසක් සක්වළ දෙවියන් හා එතැනට රැස් වූ මනුෂ්‍යයෝ ද සුවඳ, දුම්, මල්, වස්ත්‍රාභරණ ආදියෙන් පුදා බෝසතුන් වැඳ ප්‍රදක්ෂිණා කොට, “ස්වාමීනි, යම් සේ පුරුෂයෙක් කෙලින් ඇති තොටුපළෙන් ගඟෙන් එතෙර වන්නට උත්සාහ කොට වැරදුණහොත් පහළ තොටුපළකින් එතෙර වේ ද, එලෙසම මේ දීපංකර නම් බුදුරජාණන් වහන්සේගේ සසුනෙන් අප පිරිහුණහොත්, ඔබ වහන්සේ බුදු වන කාලයෙහි ඔබ කරා පැමිණ නිවන් අමා දකිමු” යි ප්‍රාර්ථනා කොට දීපංකර බුදුන් සමග ගියහ.

කල්හි මාගේ ස්වාමි දරු වූ සුමේධ තාපසයන් වහන්සේ වැතිර සිටි තැනින් නැගී, “පාරමී ධර්මයන් සොයමි” යි දෙවි මිනිසුන් පිදූ මල් ගොඩ මත පලක් බැඳ වැඩ උන් සේක. මෙසේ බෝධිසත්වයන් වහන්සේ වැඩ උන් කල්හි සකල දස දහසක් ලෝක ධාතුවෙහි දිව්‍ය බ්‍රහ්මාදීහු රැස්ව බෝධිසත්වයන් වහන්සේට මෙසේ ස්තුති කොට කීහ.

පාරමී ධර්ම මෙනෙහි කිරීම

“ඒ කෙසේද?” යත්;

“සුමේධ තාපසයන් වහන්ස, පාරමිතාවන් සොයනු පිණිස පර්යංකය බැඳ වැඩ සිටි පෙර බෝධිසත්වවරුන්ට පහළ වූ යම් පූර්ව නිමිති කෙතෙක් ඇද්ද? ඒ සියල්ලම අද දක්නට ලැබේ.”

“ඔහු කවුරුන්ද?” යත්;

“පෙර බෝසතුන් පාරමිතා සෙවීමෙහි යෙදෙන විට පැවති අධික වූ උෂ්ණය සංසිඳෙයි. දැඩි ශීතල පහව යයි. ඒ සියල්ල අදත් විද්‍යාමාන විය. එහෙයින් ඒකාන්තයෙන්ම බුදු වන සේක්මය. දස දහසක් ලෝක ධාතුව නිශ්ශබ්ද වෙයි. නිරාකූල වෙයි. අද ද සියලු ලෝක ධාතුව නිශ්ශබ්ද විය. නිරාකූල විය. එසේ හෙයිනුත් ඒකාන්තයෙන්ම බුදුවන සේක්මය. සත්ත්වයන්ට අප්‍රිය වූ මහත් සුළඟ නොහමයි. ගංගා, ඇළ, කඳුරැලි ආදිය ගලා නොයයි. ඒ සියල්ලම අදත් විද්‍යාමාන විය. එසේ හෙයිනුත් ඒකාන්තයෙන්ම බුදුවන සේක්මය. ගොඩබිමෙහි ද දියෙහි ද හටගෙන පිපෙන්නා වූ සියලු පුෂ්ප ජාතීහු පිපෙති. අදත් එසේම විය. එසේ හෙයිනුත් ඒකාන්තයෙන්ම බුදුවන සේක්මය.”

“සියලු ලතා වෘක්ෂයෝ ඵලයෙන් බර වෙති. අදත් එසේම විය. ඒ කාරණයෙනුත් ඒකාන්තයෙන් බුදුවන සේක්මය. තවද අහසෙහි වූ ද පොළොවෙහි වූ ද සියලු රත්නයෝ විශේෂයෙන් බැබලෙන්නාහු වෙති. මිනිස් ලොව වූද දිව්‍ය ලොව වූද උභය තූර්යයෝ කිසිවෙකු විසින් වාදනය නොකරන ලදුව වාදනය වූවාහු වෙති. අදත් එසේම විය. ඒ කාරණයෙනුත් ඒකාන්තයෙන් බුදුවන සේක්මය.”

“ආකාශයෙහි විවිධ විචිත්‍ර වූ පුෂ්පයෝ අහසින් වැටී ගොඩ ගැසෙති. අදත් එසේම විය. ඒ කාරණයෙනුත් ඒකාන්තයෙන් බුදුවන සේක්මය. දස දහසක් සක්වළ සියලු නිරයන්හි ගිනි නිවී ගියේ වෙයි. අදත් එසේම විය. ඒ කාරණයෙනුත් ඒකාන්තයෙන් බුදුවන සේක්මය.”

මේ ආදී වශයෙන් දෙවියන් විසින් කරන ලද අනන්ත ස්තුතිය ද, දීපංකර සර්වඥයන් වහන්සේ විසින් වදාළ වචනය ද අසා සතුටු වූ සුමේධ තාපසයන් වහන්සේ මෙසේ සිතූ සේක.

“සර්වඥවරයෝ නම් හිස් වචන නැත්තෝය. සර්වඥවරයන්ගේ වචනයෙහි වෙනස් වීමක් නැත්තේය. යම් සේ ආකාශයෙහි දැමූ කැටය භූමියෙහි ම වැටේද, එලෙසින්ම උපන් සත්ත්වයාගේ මරණය නියත මය. එසේම සර්වඥවරයන්ගේ වචනයත් නියත වන්නේය. එසේ හෙයින් මම ඒකාන්තයෙන්ම බුදුවෙමි’යි නියත කොට සිතූ සේක.”

“මෙසේ ‘ඒකාන්තයෙන් බුදුවෙමි’යි කරන ලද අදිටන් ඇති සුමේධ බෝධිසත්ත්ව තෙම, බුදු බවට පත්වීමට අවශ්‍ය ධර්මයන් සොයන සේක් උඩ, යට, නැගෙනහිර, දකුණ, බටහිර, උතුර ආදී දස දිශාවෙන් කවර දිශාවක වනාහි බුද්ධකාරක ධර්මයෝ වෙසෙද්දෝ හෝ’යි අනෙක ප්‍රකාරයෙන් බලන සේක්, කිසි දිශාවකත් නොදැක තමන් වහන්සේගේ සිත තුළම බලා, සියලු බෝධිසත්ත්වයන් විසින් ඇසුරු කරන ලද, මැනවින් සේවනය කරන ලද, කරුණාව හා උපාය ප්‍රඥාවෙන් දැනගන්නා ලද, තමන් සතු දේ අනුන්ට දීමේ චේතනාව නම් වූ පළමුවෙනි දාන පාරමිතාව දැක මෙසේ සිතූහ.”

“සුමේධ පණ්ඩිතයෙනි, මෙතැන් පටන් දාන පාරමිතාව පුරන්නා වූ ඔබ විසින්, යටිකුරු කොට තබන ලද දිය කළයෙහි ජලය මඳකුත් ඉතිරි නොවී යම් සේ වෑස්සී යයිද? එපරිද්දෙන්ම ඔබ සතු ධනයක් හෝ ඔබේ අඹු දරුවන් හෝ අතපය ආදී අවයවයන් හෝ රාජ්‍ය සම්පත්තියක් හෝ ඇද්ද? ඒ සියල්ලෙහි මඳකුත් ලෝභයක් නො කොට යාචකයන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි දන් දෙමි යන දාන පාරමිතාව පුරා, කරන ලද පින් ඇතිව බෝධි වෘක්ෂ මූලයෙහි හිඳ බුද්ධත්වයට පැමිණෙව.”

මෙසේ ප්‍රථම දාන පාරමිතාව, යටිකුරු කළ දිය කළයක් උපමා කොට ගෙන මාර සේනා ලක්ෂ ගණනක් විසින් වුවද වැළැක්විය නොහැකි පරිද්දෙන් අධිෂ්ඨාන කළ සේක.

Story Illustration දාන පාරමිතාව: යටිකුරු කළ දිය කළය මෙන් සියල්ල දන් දීමට අදිටන් කර ගැනීම

ඉක්බිත්තෙන් ‘මෙපමණ බුද්ධකාරක ධර්ම කෙනෙකුන්ගෙන් බුද්ධත්වයට පැමිණිය යුතු නොවේ’යි සිතා, තවදුරටත් බුද්ධකාරක ධර්මයන් බලන සේක්, “යම් සේ චමරි මෘගයා (සෙමර මුවා) තම ජීවිතය ගැන නොබලා තමාගේ වලිගයම රක්ෂා කෙරේද? එපරිද්දෙන්ම තොපිත් මෙතැන් පටන් ජීවිතය අපේක්ෂා නොකොට ශීලයම රක්ෂා කර බුද්ධත්වයට පැමිණේව”යි මෙසේ දෙවෙනි ශීල පාරමිතාව ද;

“යම් සේ බන්ධනාගාරයෙහි වසන්නා වූ පුරුෂ තෙමේ බොහෝ කාලයක් එහි විසුවද, එහි ඇල්ම නොකොට, කලකිරී, එහි නොවසා මිදීමක්ම කැමැති වේද? එපරිද්දෙන්ම තොපිත් සියලු බවයම බන්ධනාගාරයක් සේ සිතා නික්මීම (නෛෂ්ක්‍රම්‍යය) අරමුණු කොට බුද්ධත්වයට පැමිණෙව”යි මෙසේ තුන්වැනිව තපසට නික්මීම සංඛ්‍යාත වූ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ද;

“හීන, මධ්‍යම, උත්කෘෂ්ට සංඛ්‍යාත ත්‍රිවිධ කුලයන් තෝරා බේරා නොගෙන ගෙපිළිවෙළින් පිඬුසිඟන භික්ෂු කෙනෙකුන් සේ තොපිත් ධන කුල ආදියෙන් ප්‍රඥාවන්තයන් නොතෝරා, කුසල් අකුසල් විචාරීම් වශයෙන් පුරන්නා වූ සතර වැනි ප්‍රඥා පාරමිතාව ද;”

“සිටගෙන සිටීම, හිඳීම, සක්මන් කිරීම, නිදාගැනීම යන සිව් ඉරියව්වෙහි පසු නොබස්නා වීර්යය ඇති සිංහ රාජයකු මෙන් තොපිත් සියලු බවයෙහිම සියලු ඉරියව්වෙහි සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙහි පසු නොබැස පුරන්නා වූ පස්වැනි වීර්ය්‍ය පාරමිතාව ද;”

“පිරිසිදු දේ හා අපිරිසිදු දේ යන දෙකම දැමීමේදී සමව පවතින මහ පොළොව සේ, අනෙකවිධ සත්ත්වයන් විසින් කරන ලද ගරු බුහුමන් හා නින්දාවන්හි වෙනසක් නොවී ඉවසීම ස්වභාව කොට පවත්නා සවැනි ක්ෂාන්ති පාරමිතාව ද;”

“හිම, ගිම් ආදී සියලු සෘතුවෙහිම තමන් යන මඟ හැර අන් මඟක නොයන්නා වූ ඕෂධී තාරකාව මෙන්, ඡන්දය ආදී සතර අගතියට පැමිණ කියන බොරුවෙන් දුරුව සත්‍යයෙහි පිහිටීම ස්වභාව කොට ඇති සත්වැනි සත්‍ය පාරමිතාව ද;”

“සියලු දිශා භාගයෙන් හමන ලද වාතයෙන් මැනවින් පිහිටි පර්වතය නොසෙල්වී තිබෙන තැනම සිටීද? එපරිද්දෙන්ම තොප විසිනුදු කරන ලද ආත්මාධිෂ්ඨානයෙහි (සිතින් ගත් තීරණයෙහි) නිශ්චලව සිටීම ස්වභාව කොට ඇති අධිෂ්ඨාන පාරමිතාව ද;”

“සිසිල් දිය, යහපත් මිනිසුන් හා පවිටු මිනිසුන් යන දෙපිරිසටම එකාකාර සිසිල් ගුණය දක්වන්නාක් මෙන්, තොපිදු හිතවත් හා අහිතවත් සත්ත්වයන් කෙරෙහි සම සිතින් පැවැත්වීම සංඛ්‍යාත නව වැනි මෛත්‍රී පාරමිතාව ද;”

“පිරිසිදු දේ ද අපිරිසිදු දේ ද බැහැර කරනු ලබන්නා වූ පෘථිවිය යම් සේ මධ්‍යස්ථ ආකාරයෙන් පවතීද? එපරිද්දෙන්ම තොපිදු සැප දුක් දෙකෙහි මධ්‍යස්ථ ආකාරයෙන් පවත්නා ස්වභාව කොට ඇති දසවැනි උපේක්ෂා පාරමිතාව ද;”

“යන මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කොට දස දහසක් ලෝක ධාතුව කම්පා කරවා මිනිසුන් හා දෙවියන් සහිත ලෝකයා හට එකම ගුරු ස්ථානය වූ සර්වඥතා ඥානයට පැමිණෙව”යි සිතා මෙකියන ලද දස පාරමී ධර්මයන් අධිෂ්ඨාන කළ සේක. මෙසේ දස පාරමී ධර්මයන් මෙනෙහි කොට, “මේ ලෝකයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ විසින් පිරිය යුතු බුද්ධ කාරක ධර්මයෝ මෙපමණක්මය, මේ හැර අන් කිසි බුද්ධකාරක ධර්ම කෙනෙක් නැත. මේ ධර්මයෝ උඩ ආදී දස දිශාවෙහිත් නැත්තාහ. මාගේ හෘදයෙහිම පිහිටියහ”යි දැක සියලු පාරමිතාවන්ම දැඩි කොට අධිෂ්ඨාන කොට නැවත නැවතත් මෙනෙහි කරන සේක්, දාන පාරමිතාවෙහි පටන් උපේක්ෂා පාරමිතාව දක්වා ද, උපේක්ෂා පාරමිතාවෙහි පටන් දාන පාරමිතාව දක්වා ද, අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පස් ආකාරයකට මෙනෙහි කළ සේක.

මෙහි ප්‍රථම කොට දැක් වූ දාන පාරමිතාව වනාහි දාන පාරමිතාව ය, දාන උපපාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය’යි කියා තුන් ආකාරයක් වන්නේය. අනිකුත් සීලාදී පාරමිතාවෝ ද තුන් තුන් ආකාරයට බෙදූ කල්හි තිහක් වන්නේය.

බාහිර වස්තු පිනට දීම ‘දාන පාරමිතාව’ ය. ශරීර අවයවයන් පරිත්‍යාග කිරීම ‘දාන උප පාරමිතාව’ ය. ජීවිත පරිත්‍යාගය ‘දාන පරමාර්ථ පාරමිතාව’ ය. බාහිර වස්තූන් නිසා ශීලය කැඩීමකට නොපැමිණීම ‘ශීල පාරමිතාව’ ය. ශරීර අවයවයන් නිසා ශීලය කැඩීමකට නොපැමිණ ශීලය රක්ෂා කිරීම ‘ශීල උප පාරමිතාව’ ය. ජීවිතය නිසා ශීලය කැඩීමකට නොපැමිණීම ‘ශීල පරමාර්ථ පාරමිතාව’ ය. අනිකුත් නෛෂ්ක්‍රම්‍යාදී පාරමිතාවෝත් මෙසේම බෙදෙන්නාහ.

මේ කියන ලද තිස් හයක් වූ පාරමී ධර්මයන් මෙනෙහි කරන සුමේධ තාපසයන් වහන්සේගේ ධර්ම තේජසින් හාර ලක්ෂයක් යොදුන් ඝනකම වූ මේ පෘථිවිය කුඹල් සකක් මෙන් කැරකී ගියාය. මෙපරිද්දෙන් පොළොව කම්පා වන්නට පටන් ගත් කල්හි රම්මවතී නුවර වැසියෝ සිහි එලවා සිටින්නට අසමර්ථව, කල්පාන්තයේ හමන සුළඟින් මුලින් ඉදිරී වැටෙන වෘක්ෂයන් මෙන් මූර්ජිත මූර්ජිතව සිටි සිටි තැන ඇද වැටුනාහුය.

ඒ දැක මහජනයෝ භය වී තැතිගැන්මට පැමිණ දීපංකර සර්වඥයන් වහන්සේ වෙත පැමිණ, “භාග්‍යවත් වූ සර්වඥයන් වහන්ස, මේ දෙවතා වෘතාන්තයක්දැ’යි අපි නොදනිමු. සියලු ජනයෝ විපතට පත් වූවාහුය. මේ කුමක්ද? ලොවට භයක් හෝ සැපයක් හෝ වේද? සිදුවූ දෙය වදාරා අපගේ සැකය දුරු කර වදාළ මැනවැ”යි කියා ඉල්ලා සිටියාහුය.

එකල්හි, “උපාසකවරුනි, තොපි බිය නොවව්. මේ පෘථිවි කම්පාව නිසා තොපට වන භයක් නැත. සුමේධ බෝධිසත්ත්වයන්ගේ පාරමිතා මෙනෙහි කරන ධර්ම තේජසින් පෘථිවිය කම්පා විය”යි වදාළ සේක.

ඒ ඇසූ මහජනයෝ බෝධිසත්ත්වයන් කරා එළඹ සුවඳ මල් ආදියෙන් පුදා වැඳ පැදකුණු කොට ගිය කල්හි, බෝධිසත්ත්වයන් වහන්සේ ද දැඩි වීර්යය අධිෂ්ඨාන කොට අහසට නැඟී හිමවත් ප්‍රදේශයට වැඩ ධ්‍යාන සුවයෙන් කල් යවා ආයුෂ අවසානයේ බඹලොව උපන් සේක.

Story Illustration සුමේධ තවුසාගේ පාරමී මෙනෙහි කිරීමෙන් මහ පොළොව කම්පා වීම