4. චුල්ලසෙට්ඨි ජාතකය (4)

star_outline

“අප්පකෙනපි මෙධාවී” යන මේ ධර්ම දේශනය බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඇසුරු කොට ජීවකයන්ගේ අඹ වනයෙහි වැඩ වසන සේක්, චුල්ලපන්ථක තෙරුන් අරබයා වදාළ සේක.

එහිදී චුල්ලපන්ථක තෙරුන්ගේ උත්පත්ති කථාව කිව යුතුය. රජගහනුවර ධන සිටු කුලයෙහි දියණිය තම සේවකයා සමඟ මිත්‍ර වී, “අන් අය මෙය දැන ගනීවි” යැයි බියපත් ව මෙසේ කීවාය: “අපට මෙහි විසීමට නොහැකිය. මගේ මව්පියෝ මේ වරද දැනගත්තොත් අපව කැබලි කරාවි. විදේශයකට ගොස් ජීවත් වෙමු.” මෙසේ කියා අතින් ගෙන යා හැකි ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් පිටව, “කිසිවකු නොදන්නා තැනකට ගොස් වසන්නෙමු” යි දෙදෙනා ම ගියාහුය.

එක් තැනක ඔවුන් එකට වසන විට ඇයගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඇය ගැබ මෝරා ගිය කල්හි හිමියා සමඟ රහසින් කථා කොට, “මගේ දරු ගැබ මෝරා ගියේය. නෑදෑ හිතවතුන් නැති තැනක දරු ප්‍රසූතිය අප දෙදෙනාට ම දුකක් මය. එම නිසා කුල ගෙදරට යමු” යි කීවාය. ඔහු ද “මම ගියොත් මට ජීවිතයක් නැත” යි සිතා “අද යමු, හෙට යමු” යි කියමින් දවස් ඉක්මවීය. ඇය මෙසේ සිතුවාය: “මේ නුවණ මඳ තැනැත්තා තම වරදේ මහත් බව නිසා යන්නට උනන්දු නොවේ. මව්පියෝ වනාහි ඒකාන්තයෙන් ම දරුවන්ට හිතවත් ය. මොහු ගියත් නොගියත් මා යා යුතුය.” හිමියා ගෙයින් බැහැර වූ කල්හි ගෘහ භාණ්ඩ පිළිවෙළට තබා, තමා සිය ගෙදරට ගිය බව අසල්වැසියන්ට දන්වා මඟට පිළිපන්නාය.

ඉක්බිති ඒ පුරුෂයා ගෙට ආ කල ඇය නොදැක අසල්වැසියන්ගෙන් විමසා, “කුල ගෙදරට ගියා” යැයි අසා වේගයෙන් ලුහුබැඳ ගොස් අතරමග දී ඇයව මුණගැසුණි. එහි දී ම ඇයට දරු ප්‍රසූතිය සිදු විය. ඔහු, “සොඳුර මේ කුමක්ද?” යි ඇසීය. “හිමියනි, පුතෙක් උපන්නා.” “දැන් කුමක් කරමු ද?” “අපි යම් අරමුණකින් සිය ගෙදරට යන්නෙමු ද, එම කරුණ අතරමග දී ම සිදු විය. දැන් එහි යාමෙන් කවර ප්‍රයෝජනයක් ද? ආපසු යමු” යි දෙදෙනා ම එක් සිත් ව ආපසු ආවාහුය. එම දරුවා මඟෙහි උපන් බැවින් ‘පන්ථක’ යි නම් කළහ. ඇයට නොබෝ කලකින් තවත් ගැබක් පිහිටියේය. සියල්ල පෙර පරිදි ම විස්තර කළ යුතුය. ඒ දරුවා ද අතරමඟ උපන් බැවින් ‘චුල්ලපන්ථක’ යි නම් කළහ. ඒ දරුවන් දෙදෙනා ද රැගෙන ඔවුහු තම වාසස්ථානයට ම පැමිණියහ.

මෙසේ ඔවුන් එහි වසන කල්හි මහාපන්ථක දරුවා අන් දරුවන් “සුළු පියා, මහ පියා, මුත්තා, මිත්තණිය” ආදීන් ගැන කියනු අසා මවගෙන් විමසීය: “මෑණියනි, අන් දරුවෝ ‘සුළු පියා, මහ පියා’ ආදී වශයෙන් ද, ‘මුත්තා, මිත්තණිය’ ආදී වශයෙන් ද කියති. අපට නෑයෝ නැද්ද?” “එසේය දරුව, ඔබලාට මෙහි නෑයන් නැත. රජගහනුවර ධන සිටුවරයා නම් ඔබලාගේ මුත්තාය. එහි ඔබලාට බොහෝ නෑයන් ඇත.” “මෑණියනි, කුමක් නිසා එහි නොයමු ද?” ඇය තමා නොයන කරුණ පුතුට නොකියා, දරුවන් නැවත නැවතත් ඇවිටිලි කරද්දී සැමියා අමතා, “මේ දරුවෝ බෙහෙවින් වෙහෙසට පත් වෙති. මව්පියෝ අප දැක අපේ මස් කත් ද? එන්න, දරුවන්ට මුත්තාගේ ගෙය පෙන්වන්නෙමු” යි කීවාය. එවිට සැමියා, “මට ඔවුන් ඉදිරියට යන්නට නොහැකිය. ඔබව එතැනට පමුණුවන්නෙමි” යි කීය. “මැනවි හිමියනි, කවර අයුරකින් හෝ දරුවන්ට මුත්තණුවන්ගේ ගෙය පෙන්වීම සුදුසුය.” දෙදෙනා දරුවන් රැගෙන පිළිවෙළින් රජගහනුවරට පැමිණ නුවර දොරටුව අසල ශාලාවක නවාතැන් ගෙන, දරුවන්ගේ මව දරු දෙදෙනා සමඟ තමා පැමිණි බව මව්පියන්ට දැන්වූවාය.

ඔවුහු ඒ පණිවිඩය අසා, “සසර සැරිසරන්නවුන්ට පුතා, දුව නොවන කෙනෙක් නැත. ඔවුහු අපට මහත් අපරාධයක් කළාහු වෙති. අපේ ඇස් පෙනෙන මානයේ ඔවුන්ට සිටිය නොහැකිය. මෙපමණ ධනය ගෙන ඒ දෙදෙනා පහසු තැනකට ගොස් ජීවත් වෙත්වා. දරු දෙදෙනා මෙහි එවත්වා” යි කීහ. සිටු දුව මවුපියන් විසින් එවන ලද ධනය ගෙන, දරු දෙදෙනා පැමිණි දූතයන් අතට දී පිටත් කළාය. දරුවෝ මුත්තණුවන්ගේ ගෙදර වැඩෙති. දරු දෙදෙනාගෙන් චුල්ලපන්ථක ඉතා ළදරුය. මහාපන්ථක මුත්තණුවන් සමඟ බුදුරදුන්ගෙන් දහම් ඇසීම සඳහා යයි. බුදුරදුන් හමුවෙහි නිතර බණ අසන ඔහුගේ සිත පැවිද්දට නැමුණි. මුත්තණුවන් අමතා ඔහු, “මුත්තණුවනි, ඔබ අනුමත කරන්නේ නම් මම පැවිදි වන්නෙමි” යි කීය. “දරුව, කුමක් කියහිද? මුළු ලෝකයාගේ ම පැවිද්දට වඩා මට ඔබගේ පැවිද්ද අගනේය. දරුව, හැකිනම් පැවිදි වන්නැ” යි පැවිද්ද අනුමත කොට බුදුරදුන් වෙත ගියේය. “මහ සිටුතුමනි, ඔබට දරුවෙක් ලැබුණේද?” “එසේය ස්වාමීනි, මේ දරුවා මගේ මුනුපුරෙකි. ඔහු ඔබ වහන්සේ ළඟ පැවිදි වෙමියි කියයි” යි කීය. බුදුරදහු එක්තරා පිණ්ඩපාතික භික්‍ෂුවකට දරුවා පැවිදි කරන්නැ යි අණ කළහ. ඒ භික්‍ෂුව ඔහුට තචපඤ්චක (කෙස්, ලොම්, නිය, දත්, සම්) කමටහන කියා දී පැවිදි කළේය. ඒ මහාපන්ථක තෙරණුවෝ බුද්ධ වචනය බොහෝ සේ උගෙන පිරිපුන් වයස් ඇති ව උපසම්පදාව ලැබ, නුවණින් මෙනෙහි කිරීමෙන් කටයුතු කරන්නාහු රහත් බවට පත් වූහ.

අනතුරුව ධ්‍යාන සුවයෙන් හා මාර්ග ඵල සුවයෙන් කල් ගෙවන උන් වහන්සේ මෙසේ සිතූහ: “චුල්ලපන්ථකට ද මේ සැපය දිය හැකි ද?” මුත්තණුවන් වෙත ගොස්, “මහ සිටුතුමනි, ඔබ කැමති නම් මම චුල්ලපන්ථක ව පැවිදි කරන්නෙමි” යි කීහ. “ස්වාමීනි, පැවිදි කරනු මැනවි.” තෙරණුවෝ චුල්ලපන්ථක කුමරුවන් පැවිදි කරවා දස සිල්හි පිහිටවූහ. චුල්ලපන්ථක සාමණේරයෝ පැවිදි වූ වහාම මන්දප්‍රාඥ (නුවණ මඳ) අයෙක් වූහ.

“අළුයම පිපුණු, සුවඳවත් වූ, සුවඳ වහනය වන්නා වූ, ‘කෝකනද’ නම් රත් පියුම යම් සේ ද, එසේ ම අහසෙහි සූර්යයා මෙන් තේජසින් බබළන අඞ්ගීරස නම් බුදුරජුන් බලව.”

මේ එකම ගාථාව සිව් මසක් තුළ ද වනපොත් කිරීමට ඔහුට නොහැකි වූයේය. හෙතෙම කාශ්‍යප සම්බුදු සමයේ පැවිදි ව නැණවත් ව සිට, එක්තරා මඳ නුවණැති භික්‍ෂුවක් පාඩම් ඉගෙන ගන්නා විට උසුළු විසුළු කරමින් සිනාසුණේය. එම භික්‍ෂුව ඒ අවඥාව නිසා ලජ්ජාවට පත්ව වනපොත් කිරීම ද අතහැරියේය. ඒ පාප කර්මයෙන් මොහු මේ ආත්මයේ පැවිදි වී ද නුවණ මඳ විය. පළමු පදය වනපොත් කර ඊළඟ පදය වනපොත් කරන විට මුල පදය අමතක වෙයි. ඔහු මේ එකම ගාථාව වනපොත් කිරීමට වෙහෙසෙද්දී සිව් මසක් ගත විය.

එවිට මහාපන්ථක තෙරහු ඔහු අමතා, “චුල්ලපන්ථක, ඔබ මේ සසුනට නුසුදුසු ය. සිව් මසකින් එක ගාථාවක් ඉගෙනීමට නොහැකි වූ ඔබ කෙසේ නම් පැවිදි කිස (පරමාර්ථය) සඵල කරගන්නෙහි ද? මෙතැනින් ඉවත් වන්න” යි වෙහෙරින් බැහැර කළහ. චුල්ලපන්ථක බුදු සසුනෙහි ඇල්ම නිසා ගිහි බව නොපතයි. එකල මහාපන්ථක තෙරණුවෝ ‘භත්තුද්දෙසක’ (සඟබත් බෙදා දීම පාලනය කරන තැනැත්තා) වෙති. ජීවකයන් බොහෝ සුවඳ මල් ආදිය රැගෙන තමාගේ අඹ වනයට ගොස් බුදුරදුන් පුදා බණ අසා හුනස්නෙන් නැගිට බුදුරදුන් වැඳ මහාපන්ථක තෙරණුවන් වෙත එළඹ, “ස්වාමීනි, බුදුරදුන් හමුවෙහි වෙසෙන සඟ පිරිස කොතෙක් දැ?” යි විචාළහ. “පන්සියයක් පමණ වෙති.” “ස්වාමීනි, හෙට දින බුදුරදුන් ප්‍රධාන පන්සියයක් භික්‍ෂූන් වහන්සේ රැගෙන අප නිවෙසෙහි දානය පිළිගනු මැනව.” “උපාසකය, නුවණ මද චුල්ලපන්ථක මේ සසුනෙහි වැඩෙන ගුණදම් නැත්තෙකි. ඔහු හැර සෙස්සන්ට ආරාධනය පිළිගනිමි” යි තෙරණුවෝ කීහ. චුල්ලපන්ථක මේ කථාව අසා මෙසේ සිතීය: “තෙරණුවෝ මෙපමණ භික්‍ෂූන් උදෙසා ආරාධනය පිළිගෙන මා බැහැර කළහ. නිසැකවම මගේ සොහොයුරුතුමන්ගේ සිත මා කෙරෙහි බිඳී ඇත. දැන් ඉතින් මට මේ සසුනෙන් කවර නම් ඵලයක් ද? ගිහි වී දානාදී පින් කරමින් ජීවත් වන්නෙමි.”

ඔහු පසුදා අළුයම “ගිහි වන්නෙමි” යි පිටත් විය. බුදුරජාණන් වහන්සේ එදින ඉතා අලුයම් කාලයෙහි ලොව බලන්නාහු මේ කරුණ දැක, කලින් ම වැඩම කොට චුල්ලපන්ථකගේ ගමන් මඟෙහි දොරටුකඩ සක්මන් කරමින් වැඩ සිටියහ. චුල්ලපන්ථක පන්සලෙන් පිටව යන්නේ බුදුරදුන් දැක එළඹ වැඳ සිටියේය. බුදුරජාණන් වහන්සේ ඔහු අමතා, “චුල්ලපන්ථකය, මේ වේලාවෙහි කොහි යන්නේ ද?” යි විමසූහ. “ස්වාමීනි, මගේ සොහොයුරු තෙරණුවෝ මා බැහැර කළහ. එම නිසා මම සිවුරු හැරීම සඳහා යමි.” “චුල්ලපන්ථකය, ඔබගේ පැවිද්ද මා සතු වූවකි. සොහොයුරා විසින් බැහැර කරන ලද ඔබ මා වෙත නොපැමිණියේ මන්ද? එන්න, ඔබට ගිහි බවෙන් ඵලක් නැත. මා ළඟ සිටින්න.” චුල්ලපන්ථක රැගෙන වැඩම කළ බුදුරදහු ගඳකිළිය ඉදිරියෙහි ඔහු හිඳුවා, “චුල්ලපන්ථක, පෙරදිගට මුහුණ ලා හිඳ මේ රෙදි කැබැල්ල “රජොහරණං රජොහරණං” (දූවිලි පිස දමමි) යනුවෙන් පිරිමදිමින් මෙහිම සිටින්නැ” යි ඍද්ධි බලයෙන් මැවූ පිරිසිදු රෙදි කැබැල්ලක් දී, කාලය දැන්වූ කල්හි භික්‍ෂු සංඝයා පිරිවරා ජීවකගේ නිවසට වැඩමවා පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක.

චුල්ලපන්ථක ද ඉර දෙස බලමින් ඒ රෙදි කැබැල්ල “රජොහරණං රජොහරණං” යි පිරිමදිමින් හුන්නේය. ඔහු එය පිරිමදින්න පිරිමදින්න එය කිළිටි විය. ඔහු මෙසේ සිතුවේය: “මේ රෙදි කඩ ඉතාම පිරිසිදු ය. නමුත් මේ සිරුරේ පහස නිසා පෙර තිබූ පිරිසිදු බව හැර මෙසේ කිළිටි විය. සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යය ය” යි ඇති වීම නැති වීම මෙනෙහි කරමින් විදසුන් වැඩීය. බුදුරජාණන් වහන්සේ ද චුල්ලපන්ථකගේ සිත විදසුනට නැඟුණු බව දැන, “චුල්ලපන්ථකය, මේ රෙදි කැබැල්ල පමණක් කිළිටි වී, දූවිලි තැවරුණේ යැයි හැඟීමක් ඇති කර නොගන්න. ඔබගේ ඇතුළත රාගාදී දූවිලි ඇත. ඒවා ද බැහැර කරන්න” යි ආලෝකයක් විහිදුවා, ඔහු ඉදිරියෙහි වැඩ සිටින්නාක් මෙන් පෙනී සිට මේ ගාථාවන් වදාළහ.

“රාගය ‘රජස්’ (දූවිලි) යැයි කියනු ලැබේ; නමුත් (සාමාන්‍ය) දූවිලි ‘රජස්’ නොවේ. ‘රජස්’ යනු රාගයට ම නමකි. භික්‍ෂූහු මේ (කෙලෙස්) දූවිලි අත්හැර කෙලෙස් රහිත බුදුරදුන්ගේ සසුනෙහි වාසය කරති.”

“ද්වේෂය ‘රජස්’ (දූවිලි) යැයි කියනු ලැබේ; නමුත් (සාමාන්‍ය) දූවිලි ‘රජස්’ නොවේ. ‘රජස්’ යනු ද්වේෂයට ම නමකි. භික්‍ෂූහු මේ (කෙලෙස්) දූවිලි අත්හැර කෙලෙස් රහිත බුදුරදුන්ගේ සසුනෙහි වාසය කරති.”

“මෝහය ‘රජස්’ (දූවිලි) යැයි කියනු ලැබේ; නමුත් (සාමාන්‍ය) දූවිලි ‘රජස්’ නොවේ. ‘රජස්’ යනු මෝහයට ම නමකි. භික්‍ෂූහු මේ (කෙලෙස්) දූවිලි අත්හැර කෙලෙස් රහිත බුදුරදුන්ගේ සසුනෙහි වාසය කරති.”

ගාථා අවසානයේ චුල්ලපන්ථක තෙරණුවෝ සිව් පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියහ. පිළිසිඹියා සමඟ ම මුළු තුන් පිටකය ම අවබෝධ විය. එතුමෝ වනාහි පෙර භවයක රජෙක් වී නුවර වටා යද්දී නළලින් දහඩිය වැගිරෙන විට පිරිසිදු සළුවකින් නළල පිස දැමූහ. එවිට සළුව කිළිටි විය. ඔහු “මේ ශරීරය නිසා මෙබඳු පිරිසිදු සළුව ප්‍රකෘති ස්වභාවය හැර කිළිටි වූයේය. සංස්කාර ධර්මයෝ අනිත්‍යය” යි අනිත්‍ය සංඥාව ලැබීය. එම හේතුවෙන් ඔහුට දූවිලි හරනා රෙදි කඩ ම (රහත් වීමට) නිමිත්ත විය.

කොමාරභච්ච (කුමරකු විසින් හදා වඩා ගත්) ජීවක ද දක්‍ෂිණෝදකය (බතට පෙර පිරිනමන ජලය) පිරිනැමීය. බුදුරදහු, “ජීවකය, වෙහෙරෙහි භික්‍ෂූන් නැත්තේ නොවේ ද?” යි අසමින් අතින් පාත්‍රය වැසූහ. එවිට මහාපන්ථක තෙරණුවෝ, “ස්වාමීනි, වෙහෙරෙහි භික්‍ෂූන් නැතැ” යි කීහ. බුදුරදහු, “ජීවකය, ඇතැ” යි වදාළහ. ජීවක පුරුෂයකු අමතා, “එසේ නම් දරුව, ගොස් වෙහෙරෙහි භික්‍ෂූන් ඇති නැති බව දැනගෙන එව” යි යැවීය. එකෙණෙහි චුල්ලපන්ථක තෙරණුවෝ “මගේ සොහොයුරාණෝ වෙහෙරෙහි භික්‍ෂූන් නැතැ යි කියති. විහාරයෙහි භික්‍ෂූන් ඇති බව එතුමන්ට පෙන්වන්නෙමි” යි සිතා මුළු අඹ වනය ම භික්‍ෂූන්ගෙන් පිරවීය. සමහර භික්‍ෂූහු සිවුරු මසති. සමහරු සිවුරු පඬු පොවති. සමහරු පාඩම් කරති. මෙසේ එකිනෙකාට වෙනස් ක්‍රියා කරන භික්‍ෂූන් දහසක් මැවීය. ඒ පුරුෂයා ද වෙහෙරෙහි බොහෝ භික්‍ෂූන් දැක ආපසු අවුත්, “ආර්යයනි, මුළු අඹ වනය ම භික්‍ෂූන්ගෙන් පිරී ඇතැ” යි ජීවකට සැළ කළේය. එවිට චුල්ලපන්ථක තෙරණුවෝ ද එහි ම සිටියහ.

චුල්ලපන්ථක තෙම තමා දහස් වරක් කොට මවා, දානයට වේලාව දන්වන තුරු මනරම් අඹ වනයෙහි වැඩ සිටියේය.

බුදුරජාණන් වහන්සේ ඒ පුරුෂයාට, “වෙහෙරට ගොස් ‘බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථකයන් කැඳවති’ යි කියව” යි වදාළහ. පුරුෂයා ද ගොස් එසේ කී කල්හි, “මම චුල්ලපන්ථක වෙමි! මම චුල්ලපන්ථක වෙමි!” යි මුව දහසකින් හඬ නැගුණි. පුරුෂයා ද ආපසු ගොස්, “ස්වාමීනි, සියල්ලෝ ම ‘චුල්ලපන්ථක’ නම් ඇත්තෝ වෙති” යි කීය. “එසේ නම් ඔබ ගොස් යමෙක් ‘මම චුල්ලපන්ථක වෙමි’ යි පළමු කොට කියයි ද ඔහු අතින් අල්ලා ගන්න. එවිට සෙස්සෝ අතුරුදහන් වෙති.” පුරුෂයා ද එසේ කළේය. එවිට ම දහසක් පමණ භික්‍ෂූහු අතුරුදන් වූහ. තෙරණුවෝ ද ඒ පුරුෂයා සමඟ වැඩියහ. බුදුරදහු බත් කිස (දාන කෘත්‍යය) අවසානයේ ජීවකයන් අමතා, “ජීවකය, චුල්ලපන්ථකගේ පාත්‍රය ගන්න. ඔහු ඔබට පුණ්‍යානුමෝදනාව කරනු ඇතැ” යි වදාළහ. ජීවක ද එසේ කළේය. තෙරණුවෝ ද හඬ දෙන යොවුන් සිංහයකු ලෙස තුන් පිටකය ම කළඹමින් පුණ්‍යානුමෝදනාව කළහ.

බුදුරජාණන් වහන්සේ හුනස්නෙන් නැගිට භික්‍ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩම කොට, භික්‍ෂූන් වත් දැක්වූ කල්හි ගඳකිළිය ඉදිරියෙහි වැඩ සිට භික්‍ෂු සංඝයාට අවවාද දී, කමටහන් කියා දී, භික්‍ෂූන් පිටත් කර යවා මිහිරි සුවඳින් යුත් ගඳකිළියට පිවිස දකුණු පසින් සිංහ සෙය්‍යාවට පිවිසි සේක. ඉක්බිති සවස් කාලයෙහි දම් සභාවෙහි භික්‍ෂූහු තැන තැනින් එක් රැස් ව, රත් පැහැ තිරයකින් වට කරන්නාක් මෙන් වැඩ හිඳ බුදුරදුන්ගේ ගුණ කීමට පටන් ගත්හ: “ඇවැත්නි, මහාපන්ථක තෙරණුවෝ චුල්ලපන්ථකගේ අදහස් නොදැන, ‘සාර මසකින් එක් ගාථාවක් පාඩම් කිරීමට නොහැකි මොහු බාලයෙකැ’ යි සලකා විහාරයෙන් බැහැර කළහ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසමසම ධර්ම රාජ්‍ය භාවය නිසා එක් බත් වේලක් අතරතුර පිළිසිඹියා සහිත රහත් බව ලබා දුන්හ. පිළිසිඹියා සමඟ ම තුන් පිටකය ම අවබෝධ විය. අහෝ, බුදුවරුන්ගේ බලය නම් මහත් ය!”

ඉක්බිති බුදුරජාණන් වහන්සේ දම් සභාවෙහි පැවැති මේ කථා පුවත දැන, “අද මා එහි යා යුතු මැ” යි සිතා බුද්ධ සෙය්‍යාවෙන් නැගිට, මනා කොට පඬු පෙවූ දෙපට සිවුර හැඳ, විදුලියක් වන් පටිය බැඳ, රත් කම්බිලියක් බඳු සුගත් මහා සිවුර පොරවා, ගඳකිළියෙන් නික්ම, මත් වූ රාජකීය හස්තියකු දමනය කිරීම සඳහා සිංහයකු නික්මෙන්නාක් මෙන් අනුපමේය බුදු සිරියෙන් දම් සභාවට වැඩම කළහ. අලංකාර ලෙස පනවන ලද බුදු අසුන මත ෂඩ් වර්ණ බුදු රැස් විහිදුවමින්, සාගර කුස ආලෝකවත් කරමින් යුගඳුරු පව්ව මත ළහිරු මෙන් අසුන් මැද වැඩ සිටියහ. බුදුරදුන් වැඩිය බව දැන ගත් සැණින් භික්‍ෂු සංඝයා කථාව නවතා නිහඬ වූහ.

බුදුරජාණන් වහන්සේ මෘදු වූ මෛත්‍රී චිත්තයෙන් පිරිස දෙස බලා වදාරා, “මේ පිරිස ඉතා හොබනේ ය. එක් අයකුගේ හෝ අත් පා සෙලවීමක් හෝ කැස්සක් හෝ කිවිසුමක් හෝ නැත. සියල්ලෝ ම බුද්ධ ගෞරවයෙන් යුතුව බුද්ධ තේජසින් යටපත් වී, මා ආයු කල්පයක් පුරා වුව ද නිශ්ශබ්ද ව සිටියත් පළමු ව කථා නොකරන්නෝ ය. කථා ඇරඹීම මා විසින් ම කළ යුතුය. පළමුවෙන් මම ම කථා කරමි” යි සිතා, මිහිරි බ්‍රහ්ම ස්වරයෙන් මහා සංඝයා අමතා, “මහණෙනි, මෙහි දැන් කවර නම් කථාවක් කරමින් සිටියහු ද? කවර නම් අතුරු කථාවක් අතරමග නතර කළහු ද?” යි විමසූහ. “ස්වාමීනි, අපි මෙහි දී තිරශ්චීන (හිස්) කථාවක් නොකළෙමු. ඔබ වහන්සේගේ ම ගුණ වර්ණනා කරමින් සිටියෙමු. ‘ඇවැත්නි, මහාපන්ථක තෙරණුවෝ චුල්ලපන්ථකගේ අදහස නොදැන විහාරයෙන් බැහැර කළහ. බුදුරජාණන් වහන්සේ මොහොතකින් ඔහු රහත් කළහ. අහෝ බුදුවරුන්ගේ බලය මහත් ය’ කියා ය.” බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ගේ කථාව අසා, “මහණෙනි, මේ චුල්ලපන්ථක මා නිසා දැන් ධර්මයෙහි මහත් බවට පැමිණියේ ය. පෙර ද මා නිසා ධනයෙහි මහත් බවට පැමිණියේ යැ” යි වදාළහ. මහා සංඝයා ඒ අර්ථය හෙළි කරන ලෙස ඉල්ලා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භවාන්තරයෙන් වැසුණු ඒ කරුණ ප්‍රකට කළහ.

අතීතයේ කාසි රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්ත්වයෝ සිටු කුලයක ඉපිද සුදුසු වියට පත්ව සිටු තනතුර ලැබ ‘චුල්ලසෙට්ඨි’ නම් වූහ. එතුමාණෝ නැණවත් ය; ව්‍යක්ත ය; සියලු නිමිති දන්නෝ ය. ඔහු දිනක් රාජකාරිය සඳහා යන්නේ අතරමග වීථියෙහි මළ මීයකු දැක, එකෙණෙහි නැකැත් ගළපා මෙසේ කීය: “නුවණැති කුල පුත්‍රයකුට මේ මළ මීයා ගෙන ගොස් අඹු දරුවන් පෝෂණය කිරීමට හෝ යම්කිසි කර්මාන්තයක යෙදවීමට හෝ හැකිය.” එක්තරා දුගී කුල පුත්‍රයෙක් සිටුවරයාගේ ඒ කථාව අසා, “මේ සිටුවරයා නොදැන කියන්නෙක් නොවේ” යැයි සිතා, මළ මීයා ගෙන ගොස් එක් කඩයක බළලකු සඳහා විකුණා කාකණිකයක් (ඉතා කුඩා මුදලක්) ලැබීය. ඒ සුළු මුදලින් හකුරු ද පැන් කළයක් ද ගත්තේය. අනතුරුව වනයෙන් එන මල්කරුවන් දැක, හකුරු කැබලි ස්වල්පය බැගින් දී හැන්දෙන් පැන් ද දුන්නේය. මල්කරුවෝ ද ඔහුට එක එක මල් මිටිය බැගින් දුන්හ. ඒ මල් විකුණා ලැබුණු මුදලින් දෙවන දවසෙහි ද හකුරු සහ පැන් කළයක් ගෙන මල් උයනට ම ගියේය. එදින මල්කරුවෝ ඔහුට මල් පඳුරු භාගයක් පමණ දී ගියහ. මෙයාකාරයෙන් මොහු නොබෝ කලකින් ම කහවණු අටක් උපයා ගත්තේය.

Story Illustration [චුල්ල සිටාණන් මළ මීයා පෙන්වූ අවස්ථාව]

නැවත සුළං සහිත වැසි දිනයක රජ උයනෙහි බොහෝ වියළි දර හා කොළ අතු කඩා වැටී තිබිණි. උයන්පල්ලා මේවා ඉවත් කිරීමට උපායක් නොදිටී. ඔහු එතැනට අවුත්, “මේ දර සහ කොළ මට දෙන්නේ නම්, මම ඒවා සියල්ල ඉවත් කර දෙන්නෙමි” යි උයන්පල්ලාට කීය. ඔහු “ගනු මැනවැ” යි සියල්ල භාර දුන්නේය. චුල්ලන්තේවාසිකයා (ඒ තරුණයා) දරුවන් සෙල්ලම් කරන තැනට ගොස් ඔවුන්ට හකුරු දී, සුළු මොහොතකින් ඒ දර හා කොළ ඉවත් කරවා උයන් දොරටුව අසල ගොඩ ගැස්සීය. එකල රජ මැදුරට මැටි බඳුන් පිලිස්සීම සඳහා කුඹල්කරු දර සොයමින් යන්නේ උයන් දොර ඇති ඒ දර දැක ඒවා ඔහුගෙන් මිලට ගත්තේය. එදින චුල්ලන්තේවාසිකයා දර විකිණීමෙන් කහවණු දහසයක් ද, සැළී ආදී බඳුන් පහක් ද ලැබුවේය.

මෙසේ කහවණු විසි හතරක් ලැබුණු පසු “මට උපායක් ඇතැ” යි සිතූ ඔහු නගර දොරටුව අබියස පැන් සැළියක් තබා පන්සියයක් පමණ තණ කපන්නවුන්ට පැන්වලින් සංග්‍රහ කළේය. ඔවුහු, “මිතුර, ඔබ අපට මහත් උපකාරීය, අපි ඔබට කුමක් කරමු ද?” යි ඇසූහ. “මට යම්කිසි අවශ්‍යතාවයක් ඇති වූ විට උදව් කරන්නැ” යි කියා, ඔබමොබ හැසිරෙමින් ගොඩබිම් වෙළෙන්දන් හා නාවික වෙළෙන්දන් සමඟ මිතුරුකම් පැවැත්වීය. ගොඩබිම් වෙළෙන්දෙක් දිනක්, “හෙට පන්සියයක් අසුන් ගෙන අස් වෙළෙන්දෙක් මේ නගරයට පැමිණෙනු ඇතැ” යි ඔහුට කීවේය. මේ බව ඇසූ ඔහු තණ කපන්නන් වෙත ගොස්, “අද මට එක් අයෙක් එක් තණ මිටිය බැගින් දෙන්න. මා මගේ තණකොළ විකුණන තුරු ඔබලාගේ තණ නොවිකුණන්න” යි කියා ඔවුන් කැමති කරවා ගත්තේය. ඔවුහු තණ මිටි පන්සියයක් ගෙනැවිත් මොහුගේ ගෙදර දැමූහ. අස් වෙළෙන්දා මුළු නුවර ම සොයා අසුන්ට කෑමට තණකොළ නොලැබ, චුල්ලන්තේවාසිකට දහසක් දී ඒ තණකොළ මිලට ගත්තේය.

දින කීපයකට පසු මුහුදු වෙළෙන්දා, “මිතුර, විශාල වෙළෙඳ නැවක් නැව් තොටට පැමිණියේ යැ” යි කීවේය. “මට උපායක් ඇතැ” යි සිතාගත් ඔහු කහවණු අටක් වියදම් කොට පිරිවර ජනයා සමඟ තාවකාලික රථයක් ලබාගෙන මහත් තේජසින් නැව් තොටට ගොස්, ඇඟිලි මුදුවක් නැවට අත්තිකාරම් වශයෙන් දී, නුදුරු තැනක තිරයකින් වට කරවා හිඳගෙන, “පිටතින් වෙළෙන්දන් ආ විට වට රවුම් තුනකට එපිටින් සිට මා හට දන්වන්න” යැයි සේවකයන්ට අණ කළේය. මේ අතර නැවක් පැමිණි බව අසා බරණැස් නුවරින් සියයක් පමණ වෙළෙන්දෝ භාණ්ඩ ගැනීමේ අදහසින් පැමිණියහ. “ඔබලාට භාණ්ඩ නොලැබේ. අසවල් තැන සිටින මහ වෙළෙන්දා විසින් අත්තිකාරම් දී ඇතැ” යි අසා ඔවුහු ඔහු වෙත ගියහ. පිරිවර ජනයා කලින් යොදාගත් පරිදි තුන්වැනි වට රවුමේ දී ඔවුන් ආ බව දැන්වූහ. ඒ සියයක් වෙළෙන්දෝ නැවෙහි කොටස්කරුවන් වීම සඳහා එකිනෙකා දහස බැගින් (ඔහුට) දී, නැවත තවත් දහස බැගින් දී කොටස් බේරාගෙන සියලු භාණ්ඩ තම තමන් සතු කර ගත්හ.

චුල්ලන්තේවාසිකයා (කහවණු) දෙලක්‍ෂයක් රැගෙන බරණැසට අවුත්, “මා විසින් කෘතවේදී විය යුතු ය” යි සිතා ලක්‍ෂයක් ගෙන චුල්ල සිටාණන් වෙත ගියේය. සිටුවරයා, “දරුව, ඔබ කුමක් කොට මේ ධනය ලබන ලද්දේ ද?” යි ඇසීය. “ඔබතුමා විසින් කියන ලද උපායෙහි පිහිටා සිව් මසක් ඇතුළත ලබන ලද්දේ ය” යි කියා මළ මීයාගේ පටන් සියලු විස්තරය කීය. චුල්ලක සිටුවරයා ඔහුගේ වදන් අසා, “මෙවැනි දරුවකු අන් සතු කිරීම නොවටී” යැයි සිතා, සුදුසු වියට පත්ව සිටි තම දියණිය ආවාහ කොට දී ඔහුගේ සියලු වස්තුවට හිමිකරු කළේය. චුල්ලන්තේවාසිකයා සිටුවරයාගේ ඇවෑමෙන් ඒ නගරයෙහි සිටු තනතුර ලැබීය. බෝධිසත්ත්වයෝ ද කම් වූ පරිදි මිය පරලොව ගියහ.

සම්බුදු රජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව වදාරා, අභිසම්බුද්ධ වූ (බුද්ධත්වයට පත් වූ) සේක් ම මේ ගාථාව වදාළහ:

“වෙළඳාමෙහි දක්‍ෂ නුවණැත්තා සුළු මුදලකින් වුව ද, මද ගින්නකට පිඹ මහා ගින්නක් කරන්නාක් මෙන්, තමන් උසස් තැනට නංවා ගනී.”

එහි “අප්පකෙනපි” යනු ස්වල්පයකින් හෝ මද දෙයකින් යන්නයි. “මෙධාවී” යනු නුවණැත්තා ය. “පාභතෙන” යනු බඩු මිල (ප්‍රාග්ධනය) යන්නයි. “විචක්ඛණො” යනු වෙළඳාමෙහි දක්‍ෂයා ය. “සමුට්ඨාපෙති අත්තානං” යනු මහ ධනය ද යසස ද උපදවා එහි තමා පිහිටුවා ගනී යන්නය. කෙසේ ද? “අණුං අග්ගිංව සන්ධමං”: යම් සේ නුවණැති පුරුෂයෙක් මද ගින්නකට ක්‍රමයෙන් ගොම, දර ආදිය දමා කටින් පිඹීමෙන් දියුණු කර මහත් ගිනි කඳක් බවට පත් කරයි ද, එසේම නුවණැත්තා ද සුළු ප්‍රාග්ධනයක් ලබා, නොයෙක් උපායන් යොදමින් ධනය ද කීර්තිය ද වඩවයි. එසේ වඩවා ඒ ධන-කීර්ති මහත්වයේ තමා පිහිටුවයි; ප්‍රසිද්ධ අයෙක් බවට පත් වෙයි.

මෙසේ බුදුරදහු, “මහණෙනි, චුල්ලපන්ථක මා නිසා දැන් ධර්මයන්හි මහත් බවට පැමිණියේ ය. පෙර ධනයෙහි මහත් බවට පැමිණියේ යැ” යි මේ දහම් දෙසුම ගෙනහැර දක්වා, කථා දෙකෙහි අනුසන්ධි ගළපා ජාතකය සමාප්ත කළහ: “එකල චුල්ලන්තේවාසිකයා වූයේ මේ චුල්ලපන්ථක ය. චුල්ලක සිටුතුමා වූයේ මම ම ය.”

චුල්ලසෙට්ඨි ජාතක වර්ණනාව (සිව්වනයි).