හරිපුංජ දේශයේ ප්‍රවෘත්ති

star_outline

බුදුන් පිරිනිවීමෙන් එක්දහස් දෙසිය හතරවෙනි වර්‍ෂයෙහි චූලශකරාජ වර්‍ෂයෙන් දෙවිස්ස පැමිණි කල්හි මැදින් පසළොස්වක්දා වාසුදේව තාපසතෙමේ හරිපුඤ්ජය නුවර මැවී. එයින් දෙවෙනි වර්‍ෂයෙහි චම්ම දේවිය ලවපුරයෙන් අවුත් හරිපුඤ්ජය නුවර රාජ්‍යය කළාය. ඉන්පසු චූලශකරාජ වර්‍ෂයෙන් සාරසිය නවයේදී ආදිත්‍ය රජ හරිපුඤ්ජයෙහි රජවිය. ඉන්පසු චූලශකරාජ වර්‍ෂයේ සාරසිය විසිපස් වැන්නේදී හරිපුඤ්ජය නුවර ධාතු පහළ වී යයි පරම්පරාගත කථාවේ කියවෙයි. එයද හරිපුඤ්ජය ඉතිහාස කථාව හා ගැළපේ, එහෙයින් එය පිළිගත යුතුය. ඒ සිද්ධිය ප්‍රකාශ කිරීම පිණිස මේ හරිපුඤ්ජය නගරයාගේ උත්පත්තිය මුල සිට කිය යුතුය.

පෙර වනාහි වාසුදේව, සුක්කදන්ත, අනුසිස්ස, බුද්ධජටිල, සුබ්‍රහ්ම යන මිත්‍රයෝ පස්දෙනෙක් බුදු සස්නෙහි පැවිදිව පිටකත්‍රය ඉගෙන විනය පිළිපැදීම බැරෑරුම් බව සලකා ගිහිවී තාපස පැවිද්දෙන් පැවිදි වූහ. සුක්කදන්තතෙමේ ගිහිවී ලව පුරයෙහි විසී. වාසුදේවාදී ඉතිරි සිවුදෙන අභිඥා බල ලබා ගෙන සියම් රටෙහි විසූහ. එයින් වාසුදේවතෙමේ රෝහිණී ගං ඉවුරෙහි වූ ඉක්ෂු පර්‍වතයෙහි ද බුද්ධජටිල තෙමේ සාර ගං ඉවුරේ ජුහ පර්‍වතයෙහි ද අනුසිස්ස තෙමේ හළිද්දිවල්ලි නුවර ද සුබ්‍රහ්ම තවුසා වංකනදීතෙර ශුභ පර්‍වතයෙහි ද විසී. එයින් වාසුදේව තෙමේ එක්දිනක් ඉක්ෂු පර්‍වතයෙන් බැස ඇත් පා ඇති දෙදෙනෙක්ද කඟවේන පා ඇති දෙදෙනෙක් ගවර පා ඇති දෙදෙනෙක්දැයි ළමයින් සය දෙනෙකුන් ලබා පෝෂණය කරවිය. ඔවුහු ක්‍රමයෙන් වැඩී අන්‍යොන්‍ය සංවාස ඇත්තෝව[1] වාසුදේවගේ උපස්ථායකයෝ වූහ. එක් මුවදෙනක් වාසුදේව මුත්‍ර කරන ස්ථානයට අවුත් ශුක්ල මිශ්‍ර වූ මුත්‍ර පානය කොට ගැබ් ගෙන මිනිස් දරුවන් දෙදෙනෙකුන් වැදීය. වාසුදේවතෙමේ කරුණා උපදවා ඇඟිල්ලෙන් නික්මුණු කිරෙන් ඔවුන් පෝෂණය කෙළේය. ඒ දෙදෙන ක්‍රමයෙන් වැඩී අඹුසැමියෝ වූහ. එයින් පුරුෂයාගේ නම කුනරිසීය. ස්ත්‍රියගේ නම මිගුප්පත්තිය. වාසුදේව තෙමේ මිගසංගර නම් නුවරක් මවා එහි කුනරිසි රජ කරවිය. අන්‍ය වූ කලින් කී සදෙන ද එහි වාසය කරවිය. කුනරිසි රජ වාසුදේවයන්ගේ අවවාදයෙහි පිහිටා මිගසංගර නුවර සත්සැත්තෑ වර්‍ෂයක් රාජ්‍යය කරවිය. කුනරිසිට කුනරීරාජ, කුනරිලෝල, කුනරිසිගනාස යන පුත්‍රයෝ තිදෙනෙක් වූහ. වාසුදේව තෙමේ ඒ පුතුන් තිදෙනට වෙන්වූ නගරයන් සාදවා දුණි. එයින් කුනරිසිගනාස තෙමේ පියාගේ ඇවෑමෙන් මිගසංගරයෙහි රාජ්‍යය කරවා නැවත තවුසා විසින් ගොඩනංවන ලද රන්න පුරයෙහි රාජ්‍යය කරවිය. හෙතෙම රන්න පුරය ලී කැබැල්ලක් මෙන් කොට මවට උපස්ථාන කිරීම ද සිඳ දමා අධර්‍මයෙන් විනාශ කෙළේය.

එකල වාසුදේවතෙමේ ආරක්‍ෂා සහිත තැනක් සොයන්නේ අප බුදුරදුන් වැඩහුන් තැනක් දැක මෙය අතිශයෙන් නිර්භය ස්ථානයක් යයි නිශ්චය කොට බිංග නදී තීරයෙහි වූ එහි එක් නුවරක් කරවිය. එය කරවා “අපගේ මිත්‍ර වූ සුක්කදන්තයාට වඩා ශීලාදීගුණ යුක්තයෙක් නැත; ඔහුට මේ නුවර සුදුසුය”යි සිතා හස්නක් ලියා නුදුරු තැන පිහිටි උණ පහුරක බැඳ එය බිංග නදී අනුසාරයෙන් ලවර පුරයට යැවීය. ශුක්ල දන්තයා ඒ ලිපිය කියවා උණපහුරක නැගී බිංග නදිය දිගේ උඩුගං බලා ගොස් එතැනට පැමිණියේය. ශුක්ලදන්ත තෙමේ (තවුසා අමතා) “ස්වාමීනි, ලවපුරයේ චක්කවත්ති රජුගේ පාරම්පරියෙකු මෙහි ගෙනාවොත් අභිවෘද්ධියක් වන්නේය”යි කීය. එවිට ඒ දෙදෙන එක්ව පන්සියයක් මිනිසුන් සමග ගවය නමැති දූතයකු ඒ රජු වෙත යැවූහ. ගවය තෙමේ එහි ගොස් ලවර පුරාධිපති වූ චක්කවත්ති රජුට වැඳ වාසුදේව තවුසා කී සියල්ල දැනුම් දුණි. ගවය තෙමේ එහි අවුරුද්දක් වැස එය ගෙවී ගිය පසු ඒ රජුගෙන් විචාළේය. රාමඤ්ඤ රට ප්‍රාදේශික රජකුගේ අගමෙහෙසිය වූ චක්කවත්ති රජුගේ දූ වූ චම්ම දේවිය ගැබ්ගෙන තෙමස් ඇත්තී විය.[2] චක්කවත්ති රජ ඒ චම්මදේවී නමැති තමාගේ දුව මෙහි රජකම් කිරීම සඳහා එවීය. ඕතොමෝ සියල්ලෙන් පන්සියය බැගින් ඇති පිරිවරද ත්‍රිපිටකධර පන්සියයක් තෙරවරුන්ද සමග නැව් නැගී බිංග නදියේ යාත්‍රා කිරීමෙන් සත්මසකින් මෙනුවරට පැමිණියාය.

වාසුදේව තෙමේද සුක්කදන්තතෙමේද ඒ චම්ම දේවිය රන් ගොඩක් උඩ සිටුවා අභිෂේක කළහ. ඒ නිසා මෙනුවරට “හරිපුඤ්ජය” යන නම අද දක්වා පරම්පරාගතව එයි. ඒ චම්ම දේවිය මෙහි ඇවිත් සත් දිනකින් නවම් මස පසළොස්වක් දා පුතුන්

දෙදෙනෙකුන් වැදී. එයින් දෙටු පුත්‍රයා මහායසය; බාලයා ඉන්‍දරවය. ඉන්‍දවරට “උන්තතයස” යන නමක්ද ඇත. ඔවුන් සත්හැවිරිදි කල්හි මහායස කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළහ. චම්ම දේවිය බුදු සස්නෙහි නොයෙක් කුශල කර්‍මයන් රැස්කොට නගරගුත්තික දෙවිවරුන්ට පින්දී සත්කාර කළාය. ඇගේ පුණ්‍යානුභාවයෙන් දෙවිවරු තේජස් ඇති ඇතකු මඟුල් ඇතා සඳහා ගෙනාවාහුය. එකල අසූදහසක් භවපිරිවර ඇති බිලංක නමැති මිලේච්ඡ රජෙක් හරිපුඤ්ජය ගැනීමට ආය. මහායස තෙමේ ඇතාගේ කුඹෙහිද ඉන්‍දවර කුමරා මැදද හස්තිපාලයා පසු අස්නෙහිද හිඳගෙන නොයෙක් භටයන් විසින් පිරිවරන ලද්දේ බටහිර දොරටුවෙන් යුද පිණිස නික්මුණි. එකල ඒ මිලේච්ඡ රජ සුදු ඇතාගේ දළ අග බැබළෙන රතු පැහැය දැක මරණ බියෙන් බියපත් වූයේ යුදබිම සිටින්ට නොහැකිව පලා ගියේය. හැම යෝධයෝම බැලූ බැලූ අත දිවූහ. එතැන් පටන් හරිපුඤ්ජය නුවර අර්බුද රහිත ක්‍ෂෙම ස්ථානයක් විය.

හරිපුංජය නුවර ආරම්භය නිමියේයි

චම්ම දේවියගේ පුත් ඉන්‍දවර තෙමේ වෙනම රජයක් කරනු කැමතිව තමාගේ කැමැත්ත මවට කීය. ඕතොමෝ ඒ කාරණය වාසුදේව තවුසාට කියවිය. වාසුදේව තෙමේ මෙසේ කී: “හරිපුඤ්ජය නුවරට නැගෙනහිර දෙසැ සාර ගංඉවුරෙහි ජුහ පර්‍වතයෙහි බුද්ධජටිල නමැති තවුසෙක් වසයි. ඉන් එහා ලුද්ද පර්‍වතයෙහි ඛෙලාංග නමැති වැද්දෙක් වසයි. ඉන්එහා වංක ගංඉවුරෙහි ශුභ පර්‍වතයෙහි සුබ්‍රහ්ම නමැති තවුසා වසයි. ඉදින් ඉන්‍දවර කුමරා රාජ්‍යයක් කරනු කැමති නම් එහි ගොස් බුද්ධ ජටිලයා වැඳ ඉන් එහා ගොස් ඛෙලාංග වැද්දා මග පෙන්වන්නා කරගෙන ඉන් එහාට ගොස් සුබ්‍රහ්ම තවුසා වැඳ ඒ නුවර ඉල්වව”යි (කීය.) එයසා ඉන්‍දවර තෙමේ තමාගේ මවට වැඳ සිය පිරිවර ගෙන වාසුදේව තවුසා කී පරිද්දෙන් ගොස් සුබ්‍රහ්ම තවුසා වැඳ ඒ නුවර ඉල්විය. එවිට සුබ්‍රහ්ම තෙමේ ඒ වැද්දා සමග සුරක්‍ෂිත නුවරක් ගොඩ නංවා ඉන්‍දවරට දුණි. එය කරණකොටගෙන මේ නුවරට ඛෙලාංග යන නම ඇතිවිය. ඉන්පසුකලක ඉන්‍දවර තෙමේ තමාගේ මෑණියන් වඳිනු කැමතිව ඇය එහි කැඳවාගෙන ඒම සඳහා ඇමතියෙකු යැවීය. හෙතෙම හරිපුඤ්ජයට ගොස් චම්ම දේවියට සියලු ප්‍රවෘත්ති කීය. ඕතොමෝ තුටුපහටුව ඉන්‍දවර දකිනු කැමතිව මහපිරිවරින් හරිපුඤ්ජයෙන් නික්ම ක්‍රමයෙන් ඛෙලාංග නුවරට පැමිණියා එහි ඉන්‍දවර කුමරා මහත් ඓශ්වර්‍යයෙන් යුක්තකොට අභිෂේක කරවිය. ඉන්‍දවර රජ මවට මහත් සත්කාර කොට සතුටු විය. ඕතොමෝ හයමසක් ඛෙලාංග නුවර වැස සුබ්‍රහ්ම තවුසා විචාරා හරිපුඤ්ජයට හැරී ආය. එහි අවුත් දෙමසකින් නොයෙක් කුසල් රැස්කොටගෙන මරණප්‍රාප්ත විය.

91. රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ මහායස මහරජ හරිපුඤ්ජය නුවර අසූ වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. යම් වර්‍ෂයක වාසුදේව තවුසා හරිපුඤ්ජය ගොඩනැංවීද එයින් දෙවෙනි වර්‍ෂයෙහි චම්ම දේවිය එහි අභිෂේක කරන ලදී. ඕතොමෝ සත් වර්‍ෂයක් හරිපුඤ්ජයෙහි රාජ්‍යය කරවිය.

චම්ම දේවියගේ උත්පත්ති කාලය නිමි.

මහායස රජුගේ ඇවෑමෙන් ඔහු පුත් කුමඤ්ඤ රජ සතළිස් අවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් රුදන්ත රජ විසිහත් වසක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් සොණ්ණමඤ්ජුසක (=රන් පෙට්ටි) රජ තිස් වර්‍ෂයක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් සංසාර රජ දසහවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් පදුම රජ තුන් වර්‍ෂයක් හා දසමසක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් කුලදේව රජ සත් වර්‍ෂයක් රජය කෙළේය. එකල නොයෙක් බලවාහන ඇති මහාරාජ නමැත්තෙක් සප්පාලක නුවරින් අවුත් යුද කිරීමෙන් හරිපුඤ්ජය නුවර ගෙන එක් වර්‍ෂයක් රජය කෙළේය. ඉක්බිති ලක්‍ඛුන්‍ද්‍රිය නමැති මිලක්‍ඛ රජු හරිපුඤ්ජය අල්වාගෙන තුන් වර්‍ෂයක් හා තෙමසක් රාජ්‍යය කෙළේය. නැවත කුලදේව තෙමේ භටයන් රැස්කොට ලක්‍ඛුන්‍ද්‍රිය රජු මරා එක් වර්‍ෂයක් හා තුන් මසක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් නෝක රජ සත්මසක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් දල රජ දෙමස් අඩමසක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ගුත්ත රජ දශ වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් සේල රජ තුන් අවුරුද්දක් රජය කරවිය. ඉක්බිති ධ්‍රැවරජ හයමසක්ද බ්‍රහ්මතාරඤ්ඤ රජ දෙවර්‍ෂයක් හා තුන් මසක්ද මුකස රජ දෙවර්‍ෂයක් හා සාරමසක්ද ත්‍රාබක රජ දෙවර්‍ෂයක් හා දසමසක්ද රාජ්‍යය කරවූහ. ශූර වූ ත්‍රාබක රජ යුද පිණිස සැරසුනේ ලවපුරය ගැනීම සඳහා බිංග නදියේ පහළට ගියේය. එකල ලව පුරයෙහි විසූ උච්ඡිත්තචක්කවත්ති රජ එය’සා යුද පිණිස සැරසී ලව පුරයෙන් නික්මුණි. මේ දෙදෙන යුද්ධයට සැරසී සිටි කල්හි සිරිධම්ම නුවර ජීවක නම්[3] රජ බොහෝ භට සේනා ඇත්තේ බොහෝ නැව්වලින් අවුත් ලවපුරය අල්ලා ගත්තේය. එකල්හි ඉතිරි රජවරු දෙදෙන වහ වහා හරිපුඤ්ජයට ගියහ. එයින් උච්ඡිත්තචක්කවත්ති රජ පළමුකොට හරිපුඤ්ජයට ආවේය. ත්‍රාබක රජ පැරදී නැවත ලවපුරය ගැනීම සඳහා ගියේය. උච්ඡිත්තචක්කවත්ති රජු රාජ්‍යය කරවන කල්හි කම්බෝජ රජෙක් හරිපුඤ්ජය ගැනීමට ආවේය. ඔහුගේ ඒම අසා උච්ඡිත්තචක්කවත්ති තෙමේ සන්නද්ධව නික්මී විජයප්‍රාප්ත විය. කම්බෝජ රජ පැරදී සේනාව සමග පලා ගියේය. ඒ උච්ඡිත්තචක්කවත්ති රජ තුන් වර්‍ෂයක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් කම්බල නමැති රජෙක් විසි වර්‍ෂයක් හා සත්මසක් රාජ්‍යය කෙළේය. ඔහු රාජ්‍යය කරවන කල්හි හය වර්‍ෂයක් මුළුල්ලේ අහිවාතක (=මහාමාරි) රෝගය හටගත්තේය. නුවර වැසියෝ ජීවත්වීමට නොහැකිව (රාමඤ්ඤ රට) සුධම්ම පුරයට ගියහ. ඉක්බිති අරිමද්දනයේ රජු විසින් පීඩිත වූ සුධම්ම නුවර සිටි හරිපුඤ්ජය වැසියෝ සියලු දෙන කංසාවතී නුවරට ගියහ. අහිවාතක රෝගය සංසිඳුණු පසු ඒ සියල්ලෝ හරිපුඤ්ජයට හැරී ආහ. එබැවින් පූර්‍වයේදී හරිපුඤ්ජය වැසියෝ අවුරුදු පතා රාමඤ්ඤ රටට කප්පම් ගෙන ගියහ. ඉක්බිති චක්කවත්ති රජ අතිගුය නුවරින් අවුත් හරිපුඤ්ජය රැගෙන නව වර්‍ෂයක් රාජ්‍යය කරවිය.

ඉක්බිති වාසුදේව තෙමේ එක් වර්‍ෂයක් හා දෙමසක් රාජ්‍යය කරවිය. ඉක්බිති ඤෙය්‍යල රජ දශ වර්‍ෂයකි. ඉක්බිති සප්පාල නුවරින් මහාරාජතෙමේ මෙහි අවුත් ඤෙය්‍යල රජු පලවා හැර නැවත එක් වර්‍ෂයක් රජය කරවිය. ඉක්බිති සේල රජ නැවත තුන් අවුරුද්දක් රජය කරවිය. ඉක්බිති කඤ්චන රජ සය වර්‍ෂයකි. ඉක්බිති ජිලංක රජ දශ වර්‍ෂයකි. ඉක්බිති බන්ධුල රජ විසි වර්‍ෂයකි. ඉක්බිති ඉන්දවර අවුරුදු තිසකි. ඉක්බිති දිත්ත රජ රාජ්‍යානුශාසනා කෙළේය. හෙතෙම ශූර භටයන් පිරිවරා ගෙන ලවපුරයට ගොස් චෛත්‍ය ගොඩනැංවීමේ ධර්‍ම යුද්ධයක් කොට පරාජිත වූයේ හැරී ගියේය. ලව රජුගේ පුත්‍රයා යුද පිණිස සැරසී හරිපුඤ්ජයට අවුත් දිත්ත රජු සමග වැව් සෑරීමේ ධර්‍ම යුද්ධයක් (-තරඟයක්) කොට පැරදුනේ පලා ගියේය. ලව භටයන් සැරූ ඒ විල අද “මෝඩවිල” යයි ප්‍රකටයි; නුවණමද භටයන් විසින් කණින ලද බැවිනි. හරිපුඤ්ජයික භටයන් කැණූ විල “දේවවිල” නමින් ප්‍රකටයි; නුවණැති භටයන් විසින් සාරන ලද බැවිනි. මෙසේ ලව භටයන් පලාගිය පසු දෙවෙනි ලව රජ නැවත හරිපුඤ්ජය ගැනීම පිණිස පුත්‍රී නමැති මහඇමතියකු යැවීය. හෙතෙම ශූර භටයන් විසින් පිරිවරන ලදුව අවුත් දේවතානුභාවයෙන් මංමුළා වී ඔබිනොබ දිව්වේය. එකල දිත්ත රජ ඔහුගේ ඒම අසා සිවුරඟ සෙනග හා නික්මියේය. ඔහු නික්මි බව අසා කාම්බෝජයෝ බියපත්ව නොයෙක් දිශාවන්හි පලා ගියහ. මහාකරුණා ඇති දිත්ත රජ ඔහුට අභය දී ඔවුන් ලවා මහාබල චෛත්‍යය කරවා භට පිරිස සහිත පුත්‍රී ඇමතියාට දිවුරුම් දිය පොවා ඔවුන්ට ලව පුරයට යන්ට අවසර දුණි. භට පිරිස සහිත පුත්‍රී ඇමතියා දිත්ත රජුට වැඳ ලවපුරයට හැරී ගියේය. නැවත සිරිගුත්ත නමැති ශූර ඇමතියෙක් ලව රජු විසින් එවන ලද්දේ සේනාව සමග අවුත් දේවනුභාවයෙන් මංමුළා වූයේ නොයෙක් දිශාවන්හි ඇවිද්දේය. ඔවුන්ගේ ඒම අසා හරිපුඤ්ජයික ශූර භටයෝ පිටත්ව ඔවුන් ලුහු බැන්දාහ. කාම්බෝජයෝ අතිශයෙන් බියපත්ව විසිරී පලා ගියහ. එතැන් පටන් හරිපුඤ්ජය නුවර උවදුරු නැති නිර්භය ස්ථානයක් විය. ඒ දිත්ත රජ හරිපුඤ්ජය නුවර තිස් වර්‍ෂයක් රාජ්‍යය කරවිය. චම්ම දේවිය පටන් දිත්ත රජු දක්වා රජවරු තිස් එක් දෙනෙක් වූහ. අවුරුදු තුන්සිය අසූහතක් ඉක්ම ගියහ.

දිත්ත රජුගේ ඇවෑමෙන් ඒ වර්‍ෂයේදීම හෙවත් හාරසිය නවවෙනි ශක වර්‍ෂයේදී ආදිච්ච රජ හරිපුඤ්ජයෙහි අභිෂේක ලද්දේය. ඒ රජ පෙර රජුන්ට වඩා උසස් වූයේ පිනැත්තේ නුවර මැද එක් ප්‍රාසාදයක් කරවා සත්දිනක් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දී සත් දින ඇවෑමෙන් ප්‍රාසාදය විකුණා ශාසනයට කැප බඩු දුන්නේය. ඉක්බිති එක්දිනක් වැසිකිළියට ගිය රජුගේ හිස මත්තෙහි කාක්කෙක් වර්චස් හෙළීය. රජු එය කුමක්දැයි බලා “වහ වහා කවුඩන් අල්වව්”යි කියන විට ඔහුගේ කටෙහිද වර්චස් පිඩක් බහා ගියේය. රජ නොසතුටට පත්ව “කවුඩන් සොයව්” යයි මිනිසුන්ට අණ කෙළේය. රජ අණ ලැබූ මිනිස්සු කාක්කන් සොයන්නාහු එක් කවුඩකු දැක අල්වා රජු වෙත ගෙන ආහ. කිපුණු ඒ රජ “මේ කවුඩා මැරිය යුතුදැයි” ඇමතියන් විචාළේය. “දේවයන් වහන්ස, නොමරනු මැනවි; නිමිති දන්නන් විචාළ මැනවැ”යි කීහ. රජු විසින් විචාරන ලද නෛමිත්තකයෝ “දේවයන් වහන්ස, ඔබට යහපතක් වන්නේය”යි කීහ. රජ ඒ කවුඩා කූඩුවක දමා ආරක්‍ෂා කරවා රාත්‍රි කාලයේදී මෙවැනි සිහිනයක් දිටී:- එක් දේවතාවෙක් අවුත් රජු හා මෙසේ කථා කෙළේය. “මහරජ, ඒ කාරණය දැනගනු කැමති නම් ඉපදී සත් දිනක් ගත වූ ළදරුවෙකු කවුඩා සමීපයෙහි හොවා පෝෂණය කළ මැනවි; එවිට ඒ කාරණය දැනගත හැකිවන්නේ”යි. රජතෙම සිහිනය අනුව ක්‍රියා කෙළේය. කවුඩා සමීපයෙහි හත් වර්‍ෂයක් පෝෂණය කරනු ලැබූ ළමයා කවුඩු බස ද මිනිස් බස ද දන්නෙක් විය. දරුවාහේ මව ඔහු රජුට බාරදුණි. රජතෙම ඒ ළමයා ලවා කවුඩාගෙන් ඒ කාරණය ඇස්විය. කවුඩා මෙසේ කීය: “දරුව, මාගේ සීයා වූ සුදු කවුඩු රජ මහලුය. හෙතෙම මේ ස්ථානය සර්‍වඥ ධාතු ඇති තැනකැයි ද එය ආරක්‍ෂා කරවයිද මට කියා දැන් හිමාලයෙහි වාසය කරයි. ඉදින් රජ විස්තර වශයෙන් එය දැනගනු කැමති නම් මම මාගේ සීයා කැඳවාගෙන එන්නෙමි”යි. ළමයා ඒ සියල්ල රජුට කීය. රජ කාක්කාගේ සීයා කැඳවා ගෙනෙන්ට නියම කෙළේය. කවුඩා හිමවතට ගොස් කවුඩු රජුට ඒ ප්‍රවෘත්ති කීය. කවුඩු රජ තරුණ කවුඩන් දෙදෙනෙකුන් ඩැහැගත් ලීයක හිඳගෙන අහසින් අවුත් සත් දිනකින් හරිපුඤ්ජයට පැමිණියේය. ආදිත්‍ය රජ කවුඩු රජු රජ මිදුලෙහි හිඳුවා කවුඩු ආහාර අනුභව කරවා කවුඩු බස දත් ඒ ළමයා ලවා ඒ කාරණය විචාර විය. කවුඩු රජ මෙසේ කීය: එක්කලක අපගේ බුදුරජ බරණැස් නුවර වසන්නේ උදෑසනක තනිවම පාත්‍රසිවුරු රැගෙන අහසින් අවුත් එක් කැලෑබද ගමක බැස පිඬු පිණිස හැසුරුණි. ඒගම මිනිස්සු පැහැදී උන්වහන්සේට ආහාර දුන්හ. බුදුරජ ඔවුන්ට යෝග්‍ය ධර්‍මයක් දෙසා ඒ මිනිසුන් තිසරණයෙහිත් පඤ්ච ශීලයෙහිත් පිහිටුවා එතැනින් අහසින් අවුත් මේ ගල් තලාවෙහි පාත්‍රය තබා බත්කිස කෙළේය. බත්කිස අවසන්හි මෙසේ ප්‍රකාශයක් කෙළේය:- “බුදුන් පිරිනිවි කල්හි අනාගතයෙහි මේ ස්ථානය මහා නගරයක් වන්නේය. එහි ආදිත්‍ය නමැති රජෙක් රාජ්‍යය කරවන්නේය. එකල්හි මෙහි සර්‍වඥධාතු පහළ වන්නාහ”යි. කවුඩු රජුගේ කථාව එලෙසින්ම ඒ ළමයා රජුට කීය. ඒ කීම ඇසූ රජ තුටුපහටු වූයේ වැසිකිළිය ඉවත් කරවා එතැන සමතලාකොට සුවඳදුම් ගස්වා පිරිසිදු තැනක් කරවිය. මුළු නුවර බෙර හසුරුවා තෙමේ හිස් සෝදා නහා රාජාභරණ පැළඳගෙන නොයෙක් පූජා වස්තූන් රැගෙන එහි ගියේය. හෙතෙම මුළු නුවර වැසි භික්‍ෂු සංඝයා ලවා ඒ ස්ථානයට පූජා පවත්වවා ඇඳිලි බැඳ නමස්කාර කරමින් මෙසේ ආරාධනා කෙළේය:

92. “අපගේ බුදුරජ නොයෙක් කල්පයන්හි කුසල් රැස්කොට ලෝකානුකම්පාවෙන් නොයෙක් දුක් විඳ අති දීර්‍ඝ කාලයක් උත්සාහකොට බුද්ධත්‍වය ලැබුවේය. (93.) කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ අප සියලු දෙනගේ සැක දුරු කිරීම සඳහා ආශ්වර්‍යවත් ප්‍රාතිහාර්‍යයක් දක්වන සේක්වා; එසේකොට අප සියල්ලන් දුකින් මුදත්වා. (94.) කවුඩු රජු විසින් යමක් කියන ලද නම් ඒ සියල්ල සත්‍ය නම්, බුදුවරුන්ගේ කීම සත්‍යනම් අපේ ඇසටද ප්‍රාතිහාර්‍යයක් දක්වනු මැනවි.”

ඔහු එසේ ආරාධනා කරන කල්හි ධර්‍මාශෝක රජු විසින් කරවන ලද ධාතු සහිත රන් කරඬුවක් දේවතානුභාවයෙන් තුන් රියනක් පමණ උසට නැග සවණක් රැස් විහිදුවමින් සිටියේය. රජ ද සියලු නුවර වැසියෝ ද ධාතූන්ගේ ප්‍රාතිහාර්‍යය දැක විස්මයට පැමිණි සිතැත්තාහු සාධුකාර දෙමින් නොයෙක් පහන්-සුවඳදුම්-මල් ආදියෙන් ද ආභරණවලින්ද පුදමින් ස්තූති කරමින් සිටියාහ. එකල ආදිත්‍ය රජ දා කරඬුව අන්තැනකට ගෙන යනු කැමතිව එතැන සැරවිය. එකෙණෙහිම දේවානුභාවයෙන් දාකරඬුව පොළොවේ ගිලී නොපෙනී ගියේය. නැවත රජ අතිශයෙන් පූජාවන් කොට ආරාධනා කෙළේය. නොයෙක් අයුරින් ආරාධනා කළ විට කරඬුව සහිත ඒ ධාතුව නැවත තුන් රියනක් පමණ පොළොවෙන් නැගී සවණක් රැස් විහිදුවිය. රජතෙම අශෝක රජු කරවූ ඒ කරඬුව නානාරත්න විචිත්‍ර වූ අන් කරඬුවක බහා ගල් තලාවක් මත්තෙහි තබා එහි කණු සතරක් හා දොරටු සතරක් ඇති දොළොස් රියන් උසැති ප්‍රාසාද ස්තූපයක් කරවිය. ධර්‍මාශෝක රජ යම් වර්‍ෂයක මුළු දඹදිව ධාතු පැතිරවීම කෙළේද, එයින් එක්දහස් තුන්සිය අසූතුන් වර්‍ෂයක් ඉක්මි කල්හි ආදිත්‍ය රජු අභිෂේකයට පැමිණ සොළොස්වෙනි වර්‍ෂයේදී හරිපුඤ්ජය නුවර ධාතු පහළවීම සිදුවිය. එය වනාහි බුදුන් පිරිනිවීමෙන් එක්දහස් හයසිය සත්වෙනි වර්‍ෂය විය. ආදිත්‍ය රජුගේ දේවිය “සුවණ්ණචේතිය” නමැති ස්තූපයක් කරවිය.

95. හරිපුඤ්ජය නුවර ආදිත්‍ය රජතෙම අසූ වර්‍ෂයක් රාජ්‍යය සම්පත් විඳ නිරන්තරයෙන් දානාදි පින් රැස්කොට ස්කන්‍ධ භේදයෙන් අනිත්‍යභාවයට පැමිණියේය.

හරිපුඤ්ජයෙහි ධාතු පහළ වූ කාලය නිමි.

  1. ඔවුන් වැඩුණු පසු එකිනෙකා අඹු සැමියන් වශයෙන් විසීම මෙයින් කියවේ.

  2. ඒ රාමඤ්ඤ රජු යුද්ධයකදී මළ බැවින් දේවිය මෙහි පැමිණි සිටි බව දතයුතු.

  3. සිරිධම්මපුරය මලේ අර්ධද්වීපයෙහිය. මේ රජ ජාවක (=ජා) රජෙකැයි සිතමි. ජාවක යන්න මෙහි ජීවක යයි ලියවී තිබේ.