35. ව්‍යාධි ධම්මා

star_outline

පන්තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ව්‍යාධීන් හටගන්නා ස්වභාව ඇත්තෝ ය.

ව්‍යාධීහු නම් රෝග හා ආබාධයෝ ය. රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ ශරීරයෙහි දෙපතුල පටන් හිස මුදුන දක්වා ඇතුළ පිට දෙක්හි ම හටගන්නා බොහෝ රෝගාබාධ ඇත්තේ ය. වාතය-සෙම හිසට ගැසීමෙන් හා තැළීම්වලින් හටගන්නා හිසරදය නමැති ආබාධයක් ඇත්තේ ය. නාසය මොළය කුණු කරන නිතර සොටු ගලන පීනස නමැති රෝගයක් ඇත්තේ ය. දැවිල්ල, කබ ගැලීම, කඳුළු ගැලීම, දෘෂ්ටිමණ්ඩලය වසා පටල හට ගැනීම, පිළිකා හට ගැනීම, ඉදිමීම, පැසවීම යන ඇසෙහි හටගන්නා බොහෝ රෝගාබාධ ඇත්තේ ය. පැසවීම, පොළ හටගැනීම, කැසීම යන කනෙහි හට ගන්නා රෝගයෝ ඇතහ. සෙම හිරවීම, මස්දලු නැඟීම, ඉදිමීම, පැසවීම, වණ වීම යන නාසයේ හටගන්නා රෝග ඇත්තේ ය. දිරීම, කැක්කුම, හිරිය, දත්මුල් පැසවීම, දත්මුල්වලින් ගෙඩි හට ගැනීම, පිළිකා හට ගැනීම, දිව වණවීම, තොල් වණවීම, තොල් පැළීම යන මුඛ රෝග ඇත්තේ ය. මුහුණේ හටගන්නා කුරුලෑ නමැති ගෙඩි වර්ගයක් හා පැසී දියර ගලන බිබිලි වර්ගයක් ද ඇත්තේ ය. කැස්ස, සෙම හිරවීම, ආශ්වාස ප්‍ර‍ශ්වාස දුෂ්කර වීම, පෙණහලුවල වතුර පිරීම, ඒවා ඉදිමී ඒවායේ තුවාල හට ගැනීම යනාදී පපුවේ හටගන්නා රෝගාබාධයෝ ඇත්තාහ. සෙම් ගෙඩි, පිළිකා, කණ්ඨමාල ආදි බෙල්ලේ හට ගන්නා රෝග ඇත්තේ ය. වමනය, ඔක්කාරය, කැක්කුම, ආහාර නො දිරවීම, ආහාර අප්‍රිය වීම, කෑ සැටියේ බඩයාම ආදි උදරයේ හටගන්නා බොහෝ රෝගාබාධ ඇත්තේ ය. මලමුත්‍ර‍මාර්ග අවුරා බොහෝ වේදනා ඇති කරන රෝග ද ඇත්තේ ය. ඉවසිය නො හෙන කැසිල්ල හා දැවිල්ල ඇති කරන අනේකාකාර කුෂ්ඨරෝග සමෙහි ඇති වේ. සමෙහි තැන තැන සුදු වී යන කබර නමැති රෝගයක් ඇත්තේ ය. කන්පෙති කුණු වී වැටෙන, නාසය කුණු වී වැටෙන, ඇඟිලි පුරුක් ගැලවී වැටෙන, තැනින් තැන වණ හටගන්නා ලාදුරු නමැති භයානක රෝගයක් ඇත්තේ ය. ශරීරයෙන් භාගයක පණ නැති වන පක්ෂාඝාත නමැති රෝගයක් ඇත්තේ ය. උණ ගැනී ඇඟ සැම තැනම බිබිලි හටගන්නා රෝග හා කම්මුල් ඉදිමෙන රෝග ඇත්තේ ය. තුනටියෙහි හා සන්ධිස්ථානවල හටගන්නා වේදනා ඇත්තේ ය. මෙතෙකින් කියන ලද්දේ රූපකයෙහි හටගන්නා රෝගාබාධවලින් සමහරකි. මෙහි නො කියවුණු බොහෝ රෝගාබාධ ඇත්තේ ය. මේ රෝග සියල්ල එක ශරීරයක එකවර ම හටගන්නේ නො වේ. එහෙත් කිනම් ශරීරයක වුවද මේ රෝගාබාධ හට ගැනීමට ඉඩ ඇත්තේ ය. එබැවින් මේ රෝග අන්‍යයන්ගේ ශරීරවල හට ගත්තාට මාගේ ශරීරය නිරෝගී ය, මාගේ ශරීරයේ රෝග නො හටගන්නේය යි සිතතොත් එය මුළාවෙකි. නකුලපිතෘ නමැති ගෘහපතියාට තථාගතයන් වහන්සේ විසින් කරන ලද අනුශාසනයක් මෙසේ ය.

“ආතුරෝහායං ගහපති කායෝ අණ්ඩභූතෝ පරියෝනද්ධෝ යෝ හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර‍ බාල්‍යා? තස්මාතිහ ගහපති ඒවං සික්ඛිතබ්බං ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතීති”.

එහි තේරුම මෙසේ ය. “ගෘහපතිය, කෙළ සෙම් සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුරය, දුබල බැවින් සැපුණ හොත් වැටුණ හොත් බිඳී යන බිත්තරයක් වැනි ය. සියුම් සමකින් වැසී ඇති එකෙක. ගෘහපතිය, යමෙක් මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකුදු තමා නිරෝගීය යි ප්‍ර‍තිඥා කෙරේ නම් එය අනුවණකම හැර කුමක්ද? ගෘහපතිය, ආතුර කයක් ඇති ඔබ අනාතුර සිතක් ඇතියකු වන පරිදි පිළිපැදිය යුතු ය.”

පඤ්චස්කන්ධය අනේක ව්‍යාධීන් හටගන්නා ස්වභාවය ඇතියක් බව තේරුම් ගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පඤ්චස්කන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ ව්‍යාධිධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අව්‍යාධිං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ව්‍යාධීන් හට ගන්නා ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්‍ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ව්‍යාධි විරහිත නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.