36. මරණ ධම්මා

සතිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇත්තෝ ය.

උපන් සංස්කාරයන්ගේ එකෙණෙහි ම සිදුවන බිඳීමත් මරණයෙකි. එයට ක්‍ෂණික මරණය යි කියනු ලැබේ. මෙහි මරණය යි කියනුයේ එක් එක් භවයකට අයත් ජීවිතය කෙළවර වීමය. එය සම්මුති මරණ නම් වේ. ස්කන්ධයෝ සම්මුති මරණයෙන් ද මැරෙන ස්වභාවය ඇතියෝ ය. මනුෂ්‍ය ලෝකයේ ස්කන්ධයන් තබා ඉතා ප්‍ර‍ණීත ඉතා උසස් ස්කන්ධයන් ලෙස සලකනන දිව්‍යබ්‍ර‍හම ලෝකවල ස්කන්ධයෝ ද මැරෙන ස්වභාවය ඉක්මවා සිටින්නාහු නො වෙති. ස්කන්ධයන් නො මැරෙන ස්වභාවයට පැමිණිය හැකි බලයක් හෝ නො නැසෙන ස්කන්ධයන් ඇති කළ හැකි බලයක් හෝ මිනිසුන්ට තබා දිව්‍ය බ්‍ර‍හ්මයන්ට ද නැත. ඒ ඒ භව වලට අයිති ස්කන්ධයෝ කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ම පහළ වන්නවුන් මිස පුද්ගලයන් විසින් නිපදවනු ලබන්නෝ නො වෙති. ස්කන්ධයන් නිපදවිය හැකි බලය ප්‍ර‍ත්‍යයන්ට මිස පුද්ගලයන්ට නැත්තේ ය. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ඒ ඒ භව වල ස්කන්ධ පහළ වූ කල්හි මේ මමය මේ මාගේ ආත්මයය මාගේ කයය මාගේ ඇසය කනය අතය පයය යනාදි සංඥාවෝ ඒ ස්කන්ධයන් අතරින් ම පහළ වෙති. එහෙත් ඒ ස්කන්ධයන් ඇති කළ කෙනෙක් නැත. මමය කියා සිතුණාට ඒ ස්කන්ධ මම නොවේ. මාගේය කියා සිතුණාට ඒ ස්කන්ධ මාගේ නොවේ. ඒවායේ අයිතිකාරයෙක් නැත. එබැවින් හේතු ප්‍ර‍ත්‍යයෙන් හට ගෙන දිරා යන බිඳී යන මැරී යන ස්කන්ධයන් කාහටවත් නො දිරන නො බිඳෙන නො මැරෙන ලෙස ශක්තිමත් නො කළ හැකි ය. එබැවින් ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇතියෝ ය. කර්මාදි හේතූන්ගෙන් ඇති වූ ස්කන්ධයෝ ඉතා දුබලයෝ ය. ඒවාට අනිකක උපකාරයක් නො මැතිව පරම්පරා වශයෙන් පැවතිය හැකි ශක්තියක් නැත.

ආයුනාමේතං අබලං දුබ්බලං, තථාහි සත්තානං ජීවිතං අස්සාසපස්සාසූපනිබද්ධඤ්චේව ඉරියාපථූපනිබද්ධඤ්ච සීතුණ්හූප-නිබද්ධඤ්ච මහාභූතුපනිබද්ධඤ්ච ආහාරූපනිබද්ධඤ්ච”

(විසුද්ධි මග්ග)

යනුවෙන් “ජීවිතය යන මෙය අබලය. දුබලය. සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් පිළිබඳ වූයේ ද සතර ඉරියව් පිළිබඳ වූයේද ශීතෝෂ්ණයන් පිළිබඳ වූයේ ද මහා භූතයන් පිළිබඳ වූයේ ද ආහාරය පිළිබඳ වූයේ ද වේ ය”යි දක්වන ලදී.

සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් සමව පැවැත්මෙන් ම පවත්නේ ය. නො එසේ නම් සිඳෙන්නේ ය. ඉරියව් සතර සමසේ පැවැත්වීමෙන් ම පවත්නේ ය. එසේ නො වුවහොත් ජීවිතය නැසෙන්නේ ය. ශීතෝෂ්ණ දෙක සුදුසු ප්‍ර‍මාණයෙන් පවතිත හොත් ජීවිතය පවතී. ඉන් එකක් අධික වී අනික නැති වී ගියහොත් ජීවිතය නො පැවතිය හැකි වෙයි. මහා භූත ධාතූන් සුදුසු පරිදි පවතිත හොත් ජීවිතයට පැවතිය හැකි වේ. ඒවා නො සම වී ගියහොත් යම් ධාතුවක් උත්සන්න වී ඉතිරි ධාතූන් හීන වී ගියහොත් ජීවිතය නැසේ. ආහාර ලැබෙත හොත් ජීවිතය පවතී. ආහාර නො ලැබී ගිය හොත් ජීවිතය සිඳෙන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කරුණු බොහෝ ගණනක් නිසා පවත්නා ජීවිතය ඒ එකකවත් ආධාරය නැති වී ගිය හොත් නැසෙන්නේ ය. ජීවිතය නැසිය හැකි හේතු සත්ත්වයා අවටත් දහස් ගණනින් ඇත්තේ ය. ශරීරය ඇතුළේ ද ඇත්තේ ය. තමා සමඟ වාසය කරන්නවුන් අතරින් එකකු කිපී පහර දුනහොත් එයින් ද මැරේ. සොරකු සතුරකු පහර දුන ද මරණය වේ. සර්පයකු දෂ්ට කළ ද, නපුරු සතකු පහර දුන ද, වාහනයකට යට වුව ද, ගසකින් ගෙඩියක් ශරීරයට වැටුණ ද, ගසක් අත්තක් ඇඟට කඩා වැටුණ ද, ගෙයක් කඩා වැටුණ ද, අකුණක් වැදුණ ද මරණය සිදුවිය හැකි ය. ජීවත් වීමට ඉතාම උපකාර දෙය වන ආහාරය වුවද අපථ්‍ය වුවහොත් මරණය සිදු විය හැකි ය. ශරීරය තුළ ම පවත්නා වාතය කිපීමෙන් ද, සෙම කිපීමෙන් ද, පිත කිපීමෙන් ද, ලේ කිපීමෙන් ද, මලමුත්‍ර‍ බැහැර කළ නො හීමෙන් ද, නොයෙක් නපුරු රෝග හට ගැනීමෙන් ද, මරණය විය හැකි ය. නාශක හේතූන් මධ්‍යයේ පවත්නා මේ දුබල ජීවිතය පිට්ටනියක් මැද දල්වන ලද පොල් තෙල් පහනක් බඳු ය. ආවරණයක් නැතිව පිට්ටනියක දැල්වෙන පහන නැගෙනහිරින් සුළඟක් හැමුව ද, දකුණෙන් බස්නාහිරින් සුළඟක් හැමුව ද, වැස්සක් ඇති වුව ද කුරුමිණියකු පළඟැටියකු ඇවිත් සැපුණ ද නිවී යන්නේ ය. එය කොයි කොයි වෙලාවේත් නිවී යා හැකි ය. එමෙන් බොහෝ නාශක හේතූන් අතර පවත්නා ජීවිතය ඉතා ම අවදානම් ය. අලුත් භවයකට පැමිණෙන සත්ත්වයා හට ප්‍ර‍ථමයෙන් ඒ භවයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තය ඇති වේ. අනතුරුව පසළොසක් හෝ සොළසක් භවාඞ්ග සිත් ඇති වේ. අනතුරුව මනෝද්වාරාවජ්ජන චිත්තය ඇති වේ. ඊට අනතුරුව අලුත් පඤ්චස්කන්ධය අරමුණු කොට ලෝභ සහගත ජවන චිත්තයක් සත්වරක් ඇති වීමෙන් පසු නැවත ද භවාඞ්ග චිත්තය ඇති වේ. සත්ත්වයකු භවයක පිළිසිඳ ගත හොත් කියන ලද සිත් ටික ඇති නොවී ඔහු නො මැරේ. චිත්තක්ෂණ විසිපහක් තිහක් වන මේ කෙටි කාලය නො මැරෙන කාලය ලෙස කියා තිබේ. ඒ කාලය හැර සත්ත්වයකුට නො මැරිය හැකි කාලයක් නැත. එබැවින් මේ ජීවිතය ගසක එල්ලෙන ඉදුණු කොළයක් බඳු ය. ඉදුණු ගෙඩියක් බඳු ය. තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් බඳු ය. දිය බුබුලක් බඳු ය.

මෙසේ ජීවිතය දුබල බැවින් මේ අනවරාග්‍ර‍ සංසාරයෙහි සැරිසරන සත්ත්වයකුට පැමිණිය හැකි මරණවල ප්‍ර‍මාණයක් නැත. අතීත සංසාරයේ පැමිණි මරණවල ද ප්‍ර‍මාණයක් නැත.

“ඒක පුග්ගලස්ස භික්ඛවේ, කප්පං සන්ධාවතෝ සංසරතෝ සියා ඒවං මහා අට්ඨිකඞ්කලෝ අට්ඨිපුඤ්ජෝ අට්ඨිරාසි යථායං වේපුල්ලෝ පබ්බතෝ.”

(සංයුත්ත නිකාය.)

යනුවෙන් “මහණෙනි, මේ සංසාරයෙහි කල්පයක් ඉපදෙමින් මැරෙමින් භවයෙන් භවයට යන එක් පුද්ගලයකු ගේ ඇට එකතු කළහොත් වෛපුල්‍ය පර්වතය පමණ ඇට ගොඩක් වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

අනවරාග්‍ර‍ සංසාරයෙහි එක් පුද්ගලයකු ගව ව උපන් අවස්ථාවලදී ගෙල සිඳිනු ලැබීමෙන් ගැලූ ලෙය එකතු කළ හොත් සාගර ජලයට අධික වන බව ද, මහීෂව එළුව කුකුළුව මුවව උපන් අවස්ථාවලදී ගෙල සිඳීමෙන් වගුළ ලෙය එකතු කළ හොත් සාගර ජලයට අධික වන බව අනමතග්ග සංයුත්තයේ වදාරා ඇත්තේ ය.

සැම දුකකට වඩා නපුරු දුක මරණ දුකය. එබැවින් අන් සැම නපුරකට ම වඩා සත්ත්වයෝ මරණයට බිය වෙති. මරන්නට එනු දුටහොත් බියෙන් වෙව්ලන්නට වෙයි. උගුර කට වියළෙයි. සමහර විට මලමුත්‍ර‍ පහවෙයි. වැඩි අපහසුවක් නැතිව මරණය වන්නේ ටික දෙනකුට පමණෙකි. මරණය ළං වූ කල්හි බොහෝ දෙනකුන්ට ඝන සෙමක් නැඟී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ග අවහිර කරයි. රෝගියාට ඒ අවස්ථාවෙහි ඉතා අමාරුවෙන්න ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදු වේ. ආශ්වාස ප්‍ර‍ශ්වාස සම ව පැවැත්විය නො හෙන විට පපුවට ඇති වන්නේ බලවත් වේදනාවෙකි. රෝගියා බලවත් වේදනාවෙන් හඬ නංවමින් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන කල්හි මිනිස්සු පණ අදිනවාය යි කියති. අමාරුවෙන් හුස්ම ගැනීම පිට කිරීම කරන අවස්ථාවේ දී සමහර විට රෝගියාගේ හිසෙහි මිටියකින් ගසන කලෙක ඇතිවන වේදනා වැනි බලවත් වේදනා ඇති වේ. පොඩි කිරීමේ දී ඇතිවන වේදනා බඳු බලවත් වේදනා පපුවෙහි ඇති වේ. හුල් වලින් අණින කලෙක, පිහියකින් කපන කලෙක ඇති වන වේදනා බඳු දරුණු වේදනා කුසයෙහි ඇති වේ. හුලින් අණින කලෙක කඩන කලෙක ඇති වන වේදනා බඳු දරුණු වේදනා සන්ධිස්ථානවල ඇති වේ. ජීවිතය කෙළවර වන්නේ ඒ වේදනා පැය ගණනක් විඳීමෙන් පසුව ය. මරණ වේදනා වඩා ඇති වන්නේ පව් කරන අයටය යි ඇතැමුන් සිතතත් එය එසේ නො වේ. පඤ්චස්කන්ධයේ දුබල බව නිසා ඇති වන දුක් වේදනා, පව් ඇති නැති කාටත් සාධාරණය. අනේපිඬු මහසිටුතුමා තරම් පින් කර ඇත්තේ අන් කවරෙක් ද? අනේපිඬු සිටුතුමාට ද බලවත් මරණ වේදනා ඇති වූ බව අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයෙහි දක්වා ඇත්තේ ය.

අනේපිඬු සිටාණන් මරණාසන්නව සිටි කාලයේ සැරියුත් මහ තෙරුන් වහන්සේ එතුමා දක්නට වැඩම කළහ. උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාළ කල්හි සිටුතුමා තමාට ඇති අපහසුකම් මෙසේ ප්‍ර‍කාශ කෙළේ ය. “ස්වාමීනි, මාගේ අපහසුකම්වල වැඩීමක් මිස අඩුවක් පෙනෙන්නේ නැත. බලවත් පුරුෂයකු තියුණු යකඩ කටුවකින් හිස විදින්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ හිසට අණින්නාහ. බලවත් පුරුෂයකු විසින් වරපටක් හිසෙහි තදින් වෙළන කලෙක මෙන් බලවත් වාතයෝ මාගේ හිසට පහර දෙන්නාහ. දක්ෂ වූ ගෝඝාතකයකු මස් කපන පිහියකින් කුසය කපන්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ කුස කපත් ය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුබල පුරුෂයකු දෙ අතින් අල්ලා අඟුරු වළකට ළංකර සිරුර ගින්නෙන් දවන කලෙක මෙන් මාගේ ශරීරයෙහි බලවත් දාහයක් ඇත්තේ ය. අනේපිඬු සිටාණන්ටත් පඤ්චස්කන්ධයේ කරදර මෙසේ වී නම් සෙස්සන් ගැන කියනු කිම?

කිසි පිනක් නො කරමින් සුරාපානාදි පව්කම්වල ම ඇලී වාසය කරන අඥයන්ට මරණාසන්නයේ දී පව්කම් නිසා ඇතිවන දුකක් ද ඇත. එනම්:- මරණාසන්නයේ දී ඔවුන්ට තමන් විසින් කළ පව්කම් සිහියට නැඟෙන්නට වන්නේ ය. ඒ වෙලාවේදී ම කරන්නාක් මෙන් පෙනෙන්නට ද වන්නේ ය. ඔවුනට ඒවා අමතක නො කළ හැකි වන්නේ ය. සමහර විට පව්කම් කළවුන් යන ස්ථාන වූ අපාය නිමිති ඔවුන්ට පෙනෙන්නට වන්නේ ය. ඒ අවස්ථාවේ දී පව් කළවුන් මරණින් මතු යන අපායට මා හට දැන් යන්නට වෙනු ඇතය කියා ඔවුනට මහත් බියක් ඇති වන්නේ ය. ඔවුහු බියෙන් වෙවුලමින් කලුරිය කොට නරකයෙහි ඉපදෙති.

ඇලුම් කරගෙන සිටින යම් කිසි එක් දෙයක් වුව ද නැති වී යාම මිනිසාගේ සිතට බලවත් අමාරුවෙකි. මරණයෙන් ඒ සත්ත්වයා අන් සැමට ම වඩා ඇලුම් කරගෙන සිටින ශරීරය ය, ප්‍රාණය මෙන් ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටින අඹුදරුවෝ ය, රැස් කරගෙන ඇති සියලු ධනය ය යන සියල්ල එකවර ම නැති වන්නාහ. මැරෙන තැනැත්තාට ඒ සියල්ල ම මරණින් අහිමි වන්නේ ය. මැරෙන සත්ත්වයාට ඒ බව වැටහුණු කල්හි ඇති වන්නේ ඉමහත් ශෝකාග්නියෙකි. එද මරණය නිසා පින් කළවුන්ට ද වන ඉමහත් දුකෙකි. පඤ්චස්කන්ධයෙන් නො මිදුණහොත් මේ දරුණු මරණය නැවත නැවත ඇති වන බව දත් නුවණැත්තෝ මැරෙන ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී අජරාමර නිවනට පිවිසෙන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ මරණධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අමතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයෙන් මැරෙන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය මරණයක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.