නිමි ජාතකයෙහි එන අපාය විස්තර

star_outline

පව්කාරයන් පැසෙන ස්ථාන වූ අපායයන් දක්වනු සඳහා මාතලී දිව්‍යපුත්‍ර‍යා ඔහුගේ රථයෙහි හිඳවාගෙන නිමි රජතුමා වේතරණී නම් ඔසුපත් නරකය වෙත ගෙන ගියේ ය. ඒ වේතරණිය කරදිය ගඞ්ගාවෙකි. එහි දෙඉවුර පුවක්ගස් පොල්ගස් පමණ මහත් වූ ඉතා තියුණු කටු ඇති වේවැල් පඳුරුවලින් වැසී ඇත්තේ ය. ඒවා යට තල්කඳන් පමණ මහත් වූ ගිනියම් වූ යහුල් පිහිටා ඇත්තේ ය. ගඟදිය ද දැලිපිහියා සේ කැපෙන පත්‍ර‍ ඇති නෙළුම්ගස්වලින් වැසී ඇත්තේ ය. ගඟපත්ලෙහි ද තියුණු මුව ඇති පිහිතල උඩුකුරු ව පිහිටා ඇත්තේ ය. එහි උපදනා නිරිසතුන් යමපලුන් විසින් දඬුමුගුරුවලින් තළා හුලින් ඇණ වේපඳුරුවලට විසි කරති. ඔවුහු වේකටුවල ඇවිණී කලක් හඬමින් විලාප කියමින් දුක්විඳ වේකටු වලින් ගිලිහී වැටී බිම පිහිටි ගිනියම් වූ යහුල්වල ඇවිණෙති. දිගුකලක් යහුල්වල ඇවිණී දුක් විඳ ඒවායින් මිදී ගඟ දිය මත කැපෙන පත් ඇති නෙළුම් පඳුරු මත පතිත වන්නාහ. නිරිසත්හු ඒවා මත කලක් කැපෙමින් දුක් විඳ කරදියෙහි වැටෙන්නාහ. ඔවුහු රත් වූ කරදියෙහි දුම් නගමින් පැසී ගඟපත්ලට බස්නාහ. එහිදී ද කැපී නැවත මතු වී කරදියේ ඒ මේ අත පාවෙන්නාහ. එසේ පාවන නිරිසතුන්ට යමපල්ලෝ මසුන්ට මෙන් හුල්වලින් අණිති. බිලීකොකුවලින් අමුණා ඔවුන් ගොඩට ඇද ගිනියම් යපොළොවෙහි පෙරළා ගිනියම් වූ ලොහොගුළි කවති. ඒ දුක්දීම දැක බියපත් වූ නිමිරජතුමා මේ සත්ත්වයෝ මිනිස්ලොවදී කිනම් පාපයක් කළාහු දැයි මාතලීගෙන් විචාළේ ය. මාතලී දෙව්පුත් නිමිරජුට ඔවුන් කළ පව්කම් මෙසේ ප්‍ර‍කාශ කෙළේ ය.

“යේ දුබ්බලේ බලවන්තා ජීවලෝකේ

හිංසන්ති රෝසන්ති සුපාපධම්මා,

තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තෙ මෙ ජනා වේතරණිං පතන්ති.”

“මේ ලෝකයෙහි බැණීමෙන් හා අත්පාවලින් පහර දීමෙන් දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත්හු ඒ පව්වලින් මරණින් මතු වේතරණියට වැටෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජ අන් නරකයක් වෙත ගෙන ගියේය. එහි තුන්ගවු පමණ ශරීර ඇති නිරිසත්හු ඇතුන් පමණ ඇති මහ බල්ලන් විසින් එලවාගෙන ගොස් කෙණ්ඩා මාංසයෙන් අල්ලා බිම පෙරළා මහහඬින් බුර බුරා පපුව පාගාගෙන මස් ගළවා කා ඇට පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ ශරීර ඇති ලොහොතුඩු ඇති ගිජුලිහිණීහු ඔවුන්ගේ හොටින් නිරිසතුන්ගේ ඇට පොඩි කර ඇට මිදුලු කති. ලොහොතුඩු ඇති භයානක කපුටෝ දුටු තැන නිරිසතුන්ගේ මස් කොට කති. හඬ හඬා දුක් විඳිනා වූ ඒ නිරිසතුන් දැක බියපත් වූ නිමිරජතුමා ඔවුන් කළ පව්කම් විචාළේ ය. මාතලී දෙව්පුත් ඔවුන්ගේ පව්කම් මෙසේ පැවසී ය.

“යෙ කේචිමේ මච්ඡරිනෝ කදරියා

පරිහාසකා සමණබ්‍රාහ්මණානං

හිංසන්ති රොසන්ති සුපාපධම්මා

තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තෙමේ ජනෙ කාකෝළ සඞ්ඝා, අදන්ති.”

මිනිස්ලොව මසුරුකම නිසා ශ්‍ර‍මණබ්‍රාහ්මණයන්ට දොස් කියන්නා වූ ඇතැම්හු ශ්‍ර‍මණබ්‍රාහ්මණයන්ට හිංසා කෙරෙති, බණිති. මේ නරකයේ දී ඔවුන්ගේ මස් කපුටෝ කොටා කතිය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජ අන් නරකයක් වෙත ගෙන ගියේ ය. එහි බැලිය නො හෙන තරමට භයානක වූ මුහුණු ඇති යමපල්ලෝ තල්කඳන් පමණ යපොලු ගෙන ගිනියම් වූ යපොළොවෙහි හැසිරෙන නිරි සතුන් එළවා ගොස් යපොලුවලින් කකුල්වලට පහර දී බිම පෙරළා ඒ පොල්ලෙන් ම තළ තළා ඔවුන් සුනු විසුනු කරති. එය දැක රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ පැවසී ය.

“යේ ජීවලොකස්මිං සුපාපධම්මිනෝ

නරඤ්ච නාරිඤ්ච අපාපධම්මං

හිංසන්ති රෝසන්ති සුපාපධම්මා

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තෙ මේ ජනා බන්ධහතා සයන්ති.”

“මිනිස්ලොව වරද නැති ස්ත්‍රී පුරුෂයන්ට හිංසා කරන බණින පව්කාරයෝ මෙහි යපොලුවලින් තළනු ලැබ නිදතිය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජ අන් නරකයක් වෙත පමුණුවන ලදි. එහි මහ ගිනිඅඟුරු වළෙකි. යමපල්ලෝ එහි උපන් පාපකාරීන් වටකොට ගිනියම් වූ යපොලුවලින් හා ආවුධවලින් පහර දෙමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරුවළකට පන්නති. අඟුරුවළ වැටුණු පව්කාරයෝ තුනටිය තෙක් ගිනිඅඟුරෙහි එරෙති. යමපල්ලෝ මහත් වූ කූඩාවලින් ගිනි අඟුරු ගෙන ඔවුන්ගේ හිස්මත දමති. පව්කාරයෝ වේදනාව ඉවසිය නො හී හඬමින් දඟලති. ඇතැම් නිරිසත්හු සිහිසන් නැති ව තුමූ ම දෝතින් ගිනිඅඟුරු ගෙන හිස ලා ගනිති. ඒ වධය දැක බියපත් වූ නිමිරජතුමා ඔවුන් කළ පව් කවරේදැ යි විචාළ කල්හි මාතලී මෙසේ පැවසී ය.

“යේ කේචි පූගාය ධනස්ස හේතු

සක්ඛිං කරිත්වා ඉණං ජාපයන්ති,

තේ ජාපයිත්වා ජනතං ජනින්ද

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා අඞ්ගාරකාසුං ඵුනන්ති.”

“මිනිස්ලොව දන් දෙන්නටය, විහාර චෛත්‍ය කරවන්නටය, දහම්හල් සඞ්ඝාවාස කරවන්නට ය කියා මහජනයාගෙන් මුදල් එකතුකොට ඒවා නො කරවා මුදල් කා දමා ජනයා රැවටූ හොර සම්මාදන් කාරයෝ මෙහි පැමිණ හිස ගිනි අඟුරු ලා ගනිතිය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජ අන් නරකයක් වෙත පමුණුවන ලද්දේ ය, එහි මහා ලෝදිය වළෙකි. එහි උපන් පව්කාරයෝ භයානක යමපල්ලන් විසින් පයින් අල්ලා ලොහොදිය වළට, හිස යටට හැරී වැටෙන සේ විසි කරනු ලබති. නිරිසත්හු ලෝදියෙහි ගැලෙමින් මතු වෙමින් පෙණ දම දමා පුපුර පුපුරා පැසෙති. එහෙත් කර්මබලය නිසා නො මැරෙති. ඔවුන් දැක බියපත් වූ නිමිරජ ඔවුන් කල පව් විචාරන ලදින් මාතලී දෙව්පුත් මෙසේ පැවසී.

“යේ සීලවන්තං සමණං බ්‍රාහ්මණං වා

හිංසන්ති රෝසන්ති සුපාපධම්මා

තේ ලද්දුකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා අවංසිරා ලෝහකුම්භිං පතන්ති.”

“සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට හිංසා කළ තර්ජනය කළ පාපකාරීහු හිස පහළට වැටෙන සේ හෙළනු ලැබ මේ ලෝදිය වළෙහි පැසෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජ අන් නරකයකට ගෙන යනු ලැබී ය. එහි තුන්ගව් පමණ ශරීර ඇති නිරිසතුන්ගේ බොටුවට ගිනියම් වූ ලොහො යොත් දමා පහළට ඇද තද කොට හිස සිඳ දණ්ඩක අවුණා ගෙන ගොස් ලෝදිය සැලකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්මබලයෙන් හිස් සුන් ශරීරවල නැවතත් අලුත් හිස් පැන නඟී. යමපල්හු නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිඳ ලොහොදිය සැළට දමති. නිමිරජතුමා ඒ නිරිසතුන් කළ පව්කම් විචාරන ලදි. මාතලී මෙසේ පැවසී.

“යේ ජීවලෝකස්මිං සුපාපධම්මිනෝ

පක්ඛී ගහෙත්වාන විහේඨයන්ති තෙ

විහේඨයිත්වා සකුණං ජනින්ද

තේ ලද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා ලුත්තසිරා සයන්ති.”

“මිනිස්ලොව පක්ෂීන් අල්ලා මරන්නෝ ඒ පවින් මෙහි සුන් වූ හිස් ඇති ව ශයනය කෙරෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති රජු අන් නරකයකට පැමිණ වී ය. එහි නො ගැඹුරු තොට ඇති දර්‍ශනීය ගඞ්ගාවෙකි. ඒ නරකයෙහි ගිනි රස්නයෙන් හටගත් බලවත් පිපාසයෙන් පෙළෙන නිරිසත්හු පිපාසය ඉවසිය නො හැකිව ගිණියම් වූ යපොළොව පාගමින් පැන් බීමේ අදහසින් ඒ ගඟට බසිති. එකෙණෙහි ම ගං ඉවුර ගිනි ගනී. ගඟ දිය ගිණියම් ව බොල් වී වෙයි. පිපාසය ඉවසිය නො හෙන නේරයිකෝ කරන්නට අනිකක් නැත්තෙන් ඒ ගිනියම් වූ බොල් වී දෝතින් ගෙන කති. ඒ බොල් ඔවුන්ගේ ශරීරයේ ඇතුළු පැත්ත ද දවාගෙන අධෝමාර්ගයෙන් නික්මෙයි. නිමිරජතුමා ඒ නරකය දැක එහි දුක් විඳින්නවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ පැවසී.

“යේ සුද්ධ ධඤ්ඤං පලාසේන මිස්සං

අසුද්ධකම්මා කයිනෝ දදන්ති,

ඝම්මාභිතත්තානං පිපාසිතානං

පිවතං ච තේසං ථුසං හෝති පානී.”

“මිනිස්ලොව බොල් මිශ්‍ර‍ කොට ජනයා රවටා වී විකුණූ සොරහු මෙහි ඉපද ගිනියම් වූ වී බොල් ගිලිතිය” යනු එහි අදහස ය.

ඉක්බිති රජතුමා අන් නරකයක් වෙත පමුණුවනු ලැබී ය. එහි යමපලුන් එකතු වී දුනු හී ආදිය ගෙන නිරිසතුන් වට කොට, වනයෙහි වැද්දන් මුවන්ට විදින්නාක් මෙන් විදිති. ඔවුන් ගේ ශරීර සැම තැනින් ම සිදුරු වී පණුවන් කෑ කොළ මෙන් වෙයි. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කීය.

“යේ ජීවලෝකස්මිං අසාධු ධම්මිනෝ

අදින්නමාදාය කරොන්ති ජීවිකං

ධඤ්ඤං ධනං රජතං ජාතරූපං

අජේලකං චාපි පසුං මහීසං

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා සන්ති හතා සයන්ති.”

“මිනිස්ලොව අනුන්ගේ රන් රිදී වී සහල් ආදි වස්තූන් හා ගවාදි සතුන් සොරකම් කිරීමෙන් දිවි පැවැත්වූ පව් කාරයෝ මේ නරකයෙහි යමපලුන් විසින් විදිනු ලැබ වැටී සිටිතිය.” යනු එහි අදහස ය.

ඉක්බිති රජු හා මාතලී අන් නරකයක් වෙත ගියෝ ය. එහි යමපල්හු ගිනියම් වූ යකඩ කඹ ගෙන තුන්ගවු පමණ ශරීර ඇති නිරිසතුන්ගේ බෙල්ලට දමා ඔවුන් ගිනියම් වූ යපොළොවෙහි පෙරළා ආවුධ ගෙන ඔවුන්ගේ මස් කපති. මස් කපා ගොඩ ගසති. එය දුටු නිමිරජු ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කීය.

“ඕරබ්භිකා සූකරිකා ච මච්ඡිකා

පසුං මහිංසඤ්ච අජෙලකඤ්ච,

හන්ත්වාන සූනේසු පසාරයිංසු

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා බිලකතා සයන්ති

“මිනිස් ලොව ඌරන් එළුවන් බැටළුවන් ගවයන් මරා තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ මේ නරකයේ කඩ කොට කපනු ලැබ ශයනය කෙරෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් රජු හා අන් නරකයක් වෙත ගියේ ය. එහි දුම් දමමින් පැසෙන මලමුත්‍ර‍ පිරී ඇත්තේ ය. දුර්ගන්ධය නිසා යොදුන් ගණනකට ද ළං විය නො හැකි ය. එහි සාගින්නෙන් පෙළෙන නිරිසතුන්ට අහරක් නැත. සාගින්න ඉවසිය නො හෙන නිරිසත්හු දුම් නංවමින් පැසෙන ඒ අසූචි ගුළි කොට ගෙන අනුභව කෙරෙති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව් පුත් මෙසේ කීය.

“යේ කේචි මේ කාරණිකා විරෝසකා

පරේසං හිංසාය සදා නිවිට්ඨා,

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

මිත්තද්දුනෝ මිළ්හමදෙන්ති බාලා.”

“මිනිස්ලොව අනුන්ට වද දෙන්නෝ ද මිතුරන්ටත් කරදර කරන්නෝ ද අනුන්ගෙන් කාබී ඔවුන්ගේ ගෙවල හිඳ ඔවුන්ගේ අසුන්වල ම නිදා පසුප ඒ උපකාර කළ මිතුරන්ගෙන් ම ධනය පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත්‍ර‍ද්‍රෝහීහු ද මේ නරකයෙහි ගිනියම් වූ අසූචි අනුභව කෙරෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජතුමා අන් නරකයක් වෙත ගෙන ගියේ ය. එහි කුණු වූ ලේ සැරව පිරුණු විලෙකි. නරකයේ ඇති තද උෂ්ණයෙන් හටගත් බලවත් පිපාසය සංසිඳවා ගැනීම සඳහා බීමට පැනක් නැති නිරිසත්හු ඒ විලෙහි කුණු ලේ සැරව බොති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කීය.

“යේ මාතරං පිතරං වා ජීවලෝකේ

පාරාජිකා අරහන්තේ හනන්ති,

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා ලෝහිතපුබ්බභක්ඛා.”

“මිනිස් ලොව මව හෝ පියා මරා ගිහි පාරාජිකාවට පත් වූවෝ ද පූජා සත්කාර කිරීමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසුවා වූ පාපී පුද්ගලයෝ ද මෙහි කුණු ලේ සැරව බොතිය” යනු එහි තේරුම ය.

ඉක්බිති රජතුමා අන් නරකයක් වෙත පැමිණ වී ය. එහි යමපල්හු තල්කඳන් පමණ මහත් වූ ගිනියම් වූ බිලී කොකු නිරිසතුන්ගේ දිවෙහි අවුණා ගිනියම් වූ යපොළොවෙහි හොවා හුල් වලින් අණිති. නිරිසත්හු කෙළ පෙරමින් දියෙන් ගොඩ දැමූ මසුන් මෙන් දඟලති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කී ය.

“යේ කේචි ස්නථානගතා මනුස්සා

අග්ඝෙන අග්ඝං කයං හාපයන්ති,

කූටේන කූටං ධනලෝභහේතු

ඡන්නං යථා වාරිචරං වධාය.

.

නහි කූටකාරිස්ස භවන්ති තාණ,

සකේහි කම්මේහි, පුරක්ඛතස්ස,

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා වඞ්කඝස්තා සයන්ති.”

මිනිස්ලොව බඩුමි නියම කිරීමේ තනතුර ලබා සිට බඩු ගන්නවුන්ගෙන් අල්ලස් ගෙන වටිනා බඩුවල මිල පහත දමන කෛරාටිකයෝ ද කිරීමේ දී හා මැනීමේ දී අඩු වැඩි කොට හොරට කිරා හොරට මැන මිහිරි වදනින් ජනයා රවටා මුදල් පැහැර ගන්නා කපටි මුදලාලිලා ද මෙහි ගිනියම් වූ යබිලි දිවෙහි අමුණන ලදුව ගිනියම් වූ යපොළොවෙහි නිදතිය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජු අන් නරකයක් වෙත පැමිණ වී ය. එහි ස්ත්‍රීහු කයින් අඩක් ගිනියම් වූ යපොළොවෙහි එරී සිටවනු ලැබූ කණු මෙන් නිසල ව සිටිති. එක් දිශාවකින් ඇඹරුම් ගලක් බඳු යකඩ පර්වතයක් නැඟී ගිනිදැල් විහිදුවමින් හෙනහඬ සේ මහ හඬ නංවමින් යපොළොවෙහි එරී සිටින ස්ත්‍රීන්ගේ ශරීර සුනුවිසුනු කරමින් පෙරළී යයි. ඇසිල්ලකින් කර්මබලයෙන් ඔවුන්ගේ ශරීර ප්‍ර‍කෘතිමත් වෙයි. ඉක්බිති අන් දිශාවකින් එබඳු ම යකඩ පර්වතයක් නැගී ස්ත්‍රීන්ගේ සිරුරු සුනුවිසුනු කෙරෙමින් පෙරළෙයි. සමහර විට දෙදිසාවකින් ම පර්වත නැඟී එකවර පෙරළී එයි. සමහරවිට සතරදිගින් ම පර්වත නැගී එක්වර පෙරළී එයි. නිමිරජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ කී ය.

“කෝලිනියායෝ ඉධජීවලෝකේ

අසුද්ධ කම්මා අසතං අචාරුං

තා දිත්තරූපා පති විප්පභාය

අඤ්ඤං අචාරුං රතිඛිඩ්ඩහේතු

තා ජීවලෝකස්මිං රමාපයිත්වා

ඛන්ධාති වත්තන්ති සජෝතිභූතා.”

“ආහාරපාන වස්ත්‍රාභරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර, පරපුරුෂයන් සතුටු කර වන්නා වූ ඔවුන් හා කම්රතියෙන් සතුටු වන්නා වූ පාපස්ත්‍රීහු මෙහි ගිනියම් වූ යපොළොවෙහි පර්වතවලින් ඇඹරෙතිය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී රජු කැටුව අන් ඔසුපත් නරකයක් වෙත ගියේ ය. එහි මහ ගිනි අඟුරු වළෙකි. යමපල්හු නානා ආයුධවලින් පහර දෙමින් නිරිසතුන් අඟුරුවළ කරා පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා ඔවුන් අඟුරුවළට හෙළති. එය දුටු රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ කීය.

“යේ ජීවලෝකස්මිං අසාධුකම්මිනෝ

පරස්ස දාරානි අතික්කමන්ති,

තේ තාදිසා උත්තමභණ්ඩථෙනා

තේ මේ ජනා අවංසිරා නරකේ පාතයන්ති.”

“මිනිසුන්ගේ උත්තම භාණ්ඩයන් වූ ඉතා ඇලුම් කරන භාර්ය්‍යාවන් හා සොරෙන් කම්රතියෙහි යෙදුණා වූ පාපපුරුෂයෝ මෙහි පයින් අල්ලා හිස පහළට වැටෙන සේ අඟුරුවළට හෙළනු ලබත්” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජු සහිත වූ දිව්‍යරථය අන් නරකයක් වෙත පැදවී ය. එහි යමපල්හු බිමපෙරළා හුල්ගැසීම් හරස් කියතින් ශරීරය කැපීම් වෑයෙන් සැසීම් ලොහොදිය පෙවීම් ලොහොගුළි කැවීම් ආදි වශයෙන් අනේක ප්‍ර‍කාරයෙන් නිරිසතුන්ට වද දෙති. ඒවා දැක බියපත් වූ නිමිරජු ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ පැවසීය.

“යේ ජීවලෝකස්මිං සුපාපදිට්ඨිනෝ

විස්සාසකම්මානි කරොන්ති මෝහා,

පරඤ්ච දිට්ඨිසු සමාදපෙන්තී

තේ පාපදිට්ඨිසු පසවෙත්‍වා පාපං

තේමේ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා

ඛරා කටුකා වේදනා වේදයන්ති.”

“පරලොවක් නැත, පින්පව්වල විපාකයක් නැත යනාදීන් මිසදිටු ගෙන එය පිහිට කොට තුමූ ද නොයෙක් විපරම් කරමින් අන්‍යයන්ට ද ඒ මිථ්‍යාදෘෂ්ටිය ගැන් වූ අඥයෝ මෙහි තියුණු වූ කටුක වූ දුක්වේදනා විඳිත් ය” යනු එහි අදහස ය.

නරකයෙහි ඇති මේ භයානක දුක් විඳින්නට සිදුවන්නා වූ ද, තිරිසන් ව ප්‍රේත ව දුක් විඳින්නට සිදුවන්නා වූ ද, පව්කම් කෙරෙන්නේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. නුවණැත්තෝ විදසුන් වඩා පඤ්චස්කන්ධය හැර දුකින් තොර නිවනට පැමිණෙති.

පඤ්චක්ඛන්ධෙ අඝමූලතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අනඝමූං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.

පඤ්චස්කන්ධයන් අඝමූලයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය අඝමූල නො වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.