28. වධකා

අටවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ වධකයෝ ය.

මරන්නෝ වධකයෝ ය. වධකයන්ට මැරිය හැක්කේ පඤ්චස්කන්ධයක් ඇතහොත් ය. පඤ්චස්කන්ධය නැති නම් මරන්නෝ නැත, මැරෙන්නෝත් නැත, මරණයක්ය කියා දෙයක් ද නැත. පඤ්චස්කන්ධය ඇතහොත් බාහිර වධකයන් ගේ උපක්‍ර‍මයක් නැත ද ඒකාන්තයෙන් මරණය වෙයි. එහෙයින් නියම මාරයා පඤ්චස්කන්ධයමය යි කිය යුතු ය. “රූපං ඛෝ රාධ, මාරෝ, වේදනා මාරෝ, සඤ්ඤා මාරෝ, සංඛාරා මාරෝ, විඤ්ඤාණං මාරෝ” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් රූපාදි ස්කන්ධ පස මාරයෝ ය යි වදාරා ඇත්තේ ය. වධකයා භයානක පුද්ගලයෙකි. එබැවින් ඔහු දුටු විට ඔහුට හසුවන අය ඉතා බිය වෙති. සතුන් මරන වධකයන්ට වඩා පඤ්චස්කන්ධය නමැති වධකයා භයානක ය. වඩා බිය විය යුත්තේ පඤ්චස්කන්ධය නමැති වධකයාට ය. මරන්නට එන මරන්නට තැත් කරන බාහිර වධකයන් ගෙන් නොයෙක් විට සත්ත්වයන්ට ගැලවෙන්නට පුළුවන. ගැලවෙන්නට උපක්‍ර‍ම ද ඇත්තේ ය. පඤ්චස්කන්ධය නමැති වධකයා නොමරා නවතින්නේ නැත. ඔහුගෙන් ගැලවී නො මැරී සිටීමට කිසිවකුට හැකියාවක් නැත. ගැලවීමට උපක්‍ර‍මයක් ද නැත. එහෙයින් පඤ්චස්කන්ධය නමැති වධකයා ම ඉතා ම භයානක වධකයා බව කිව යුතු ය. බාහිර වධකයකු විසින් මරතත් මරන්නේ එක් වරෙකි. පඤ්චස්කන්ධය නමැති වධකයා එසේ නො වේ. ඔහු එක් එක් පුද්ගලයකු අතීත සංසාරයෙහි අප්‍ර‍මාණ ජාතිවල දී මැරුයේ ය. අනාගතයෙහි ද නිවනට පැමිණෙන තුරු නැවත නැවත ද මරන්නේ ය.

අතිශයින් නපුරු වූ ඉතා භයානක වූ මේ පඤ්චස්කන්ධය නමැති වධකයාගෙන් ගැලවෙන්නට උත්සාහ නො කොට පඤ්චස්කන්ධය මිතුරකු මෙන් සලකා එය මමය කියා ද මාගේය කියා ද ගෙන එහි ඇලී සිටින්නේ අවිද්‍යාව නිසා ය. අවිද්‍යාවට පෙනෙන්නේ වධකයා මිතුරකු ලෙස ය.

පඤ්චස්කන්ධයෙහි ආදීනවය පමණක් නො ව ආස්වාදයක් ද ඇත්තේ ය. ඉෂ්ට රූපයන් හමු වූ කල එයින් සොම්නසක් ප්‍රීතියක් ඇති වන්නේ ය. ඉෂ්ට ශබ්දයක් ඇසුණු කල එයින් සොම්නසක් ප්‍රීතියක් ඇති වන්නේ ය. ඉෂ්ට ගන්ධ ඉෂ්ට රසයන් ලත් කල්හි ඒවායින් සොම්නසක් ප්‍රීතියක් ඇති වන්නේ ය. ඉස්ට ස්පර්ශයක් ලත් කල්හි එයින් සනීපයක් සතුටක් ඇති වන්නේ ය. ඒ පඤ්චස්කන්ධයෙහි ඇති ආස්වාදය ය. ඒ ආස්වාදය ඉතා සුළු ය. ක්ෂණික ය. එකෙණෙහි ම නැති වන්නකි. පඤ්චස්කන්ධයේ ආදීනවය ඉතා මහත් ය. මඳ ආස්වාදයක් ඇති පඤ්චස්කන්ධය සමහරවිට සුළු උපකාරයක් ද කරන සතුරෙකි.

පඤ්චස්කන්ධයේ වධකත්වය මේ උපමාවෙන් තේරුම් ගත යුතු ය. ආරක්ෂා සහිත පොහොසත් මිනිසෙක් වෙසෙයි. ඔහුට දුබල සතුරෙක් ඇති වෙයි. ධනපතියා කවරාකාරයකින් හෝ මැරීමට ඔහු බලාපොරොත්තු වෙයි. එහෙත් ධනපතියා බලවත් බවින් ඔහුට ළංවිය නො හැකි ය. දුබල සතුරා ධනපතියා මැරීමට ඉඩ ලබා ගනු සඳහා ඔහුගේ ගෘහයෙහි සේවකයෙක් වෙයි. ඒ සේවකයා ඉතා හොඳින් වැඩ කරයි. ධනපතියාට ගරු කරයි. ප්‍රිය වචනයෙන් කථා කරයි. ධනපතියා ගේ වස්තුව ඉතා සැලකිල්ලෙන් ආරක්ෂා කරයි. ඒ නිසා ඔහුට ධනපතියා ඉතා සතුටු වෙයි. වඩ වඩා ඔහුට සංග්‍ර‍හ කරයි. ඔහු වඩ වඩා ආභ්‍යන්තිරිකයකු කර ගනී. සතුරා හොඳට ම ධනපතියා ගේ විශ්වාසිකයකු වී අවකාශයක් ලබා ධනපතියා මරා දමයි. ධනපතියාගේ ඒ සතුරා වධකයකු වූයේ ඔහු මැරූ දිනයේ ම නො වේ. යම් දවසක සතුරා ඒ නිවසට පැමිණියා නම් එදා පටන් ම ඔහු වධකයා ය. ධනපතියාට වැඩ කරන නිසා ඔහු වධකයෙක් නො වන්නේ නො වේ. එමෙන් පඤ්චස්කන්ධය නිසා විටින් විට ආස්වාද ලැබෙතත් එයින් මරණය ඒකාන්තයෙන් සිදු වන බැවින් ආස්වාදය ලබා දෙන අවස්ථාවෙහිත් මේ පඤ්චස්කන්ධය වධකයා ම බව තේරුම් ගත යුතු ය. පඤ්චස්කන්ධයෙහි වධකත්වය තේරුම් ගත් නුවණැත්තෝ එහි ගැලී නො සිට එය හැර නිවනට පැමිණ අනන්ත මරණවලින් මිදෙති.

පඤ්චක්ඛන්ධෙ වධකතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අවධකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් වධකයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය වධක නො වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.