16. අද්ධුවා

සොළොස්වන භාවනා පදය.

ස්කන්ධයෝ අස්ථිර ස්වභාව ඇතියෝ ය.

ස්කන්ධ පඤ්චකය එක් තත්ත්වයක නො පවතින තත්ත්වයෙන් තත්ත්වයට නිතර පෙරළෙන දෙයකි. එක් පුද්ගලයකුගේ ස්කන්ධ පඤ්චකය එක් ජාතිකයකදීමත් අනේක තත්ත්වයන්ට පැමිණේ. ළදරුවකුගේ පඤ්චස්කන්ධය පස් අවුරුදු වයසේ දී අන් තත්ත්වයකට පැමිණේ. දස අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණේ. පසළොස් අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණේ. විසි අවුරුදු වයසේ දී තවත් තත්ත්වයකට පැමිණේ. තිස් අවුරුදු වයසේ දී තවත් තත්ත්වයකට පැමිණේ. අසූ අවුරුදු අනූ අවුරුදු වයසේ දී බාලකාලයේ සිටි තත්ත්වයන්ට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයකට පැමිණේ. අසූ අවුරුදු අනූ අවුරුදු වයසට පැමිණි කල්හි ඇත්තේ දස අවුරුදු පසළොස් අවුරුදු වයස්වලදී දුටුවන්ට කිසිලෙසකින් හැඳිනිය නො හෙන අතීත තත්ත්වයට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයෙකි. ස්කන්ධයන් අස්ථිර නිසා කලින් කෙළින් සිටියෝ කුදුහු වෙති. කළුකෙස් ඇතිව සිටියෝ සුදුකෙස් ඇත්තෝ වෙති. දත් ඇති ව සිටියෝ දත් නැත්තෝ වෙති. ලස්සනට සිටියෝ විරූප වෙති. ඇස් ඇති ව සිටියෝ අන්ධයෝ වෙති. කන් ඇතිව සිටියෝ බිහිරෝ වෙති. හොඳින් ගමන් කළෝ කොරු වෙති. පා ඇති ව සිටියෝ පා නැත්තෝ වෙති. අත් ඇති ව සිටියෝ අත් නැත්තෝ වෙති. වෙර ඇති ව සිටියෝ නැගිට ගැනීමටත් වෙර නැතියෝ වෙති. සිහි නුවණ ඇති ව සිටියෝ උම්මත්තකයෝ වෙති. පිරිවර ඇතිව සිටියෝ තනි වෙති. මහධනපතියෝ යාචකයෝ වෙති. පුරුෂයන් ලක්ෂණය කියා ‍හොඳය කියා ඉතා ආශාවෙන් වැලඳගන්නා කාන්තාවෝ කුෂ්ඨාදි නපුරු රෝගයන් වැලඳීමෙන් කන් නාස් ආදී ශරීරාවයවයන් නැති වී යාමෙන් වැලඳ ගැනීම සිප ගැනීම තබා සෙස්සන් ළංවීමට දැකීමට පවා කැමති නො වන තත්ත්වයට පැමිණෙති. කාන්තාවන් විසින් ඇලුම් කරන වැලඳගන්නා ශෝභන පුරුෂයෝ ද කුෂ්ඨාදි රෝගයන් නිසා සෙස්සන් පිළිකුල් කරන තත්ත්වයට පැමිණෙති. මළ පසු ගෙවල ගම්වල නගරවල තබා ගත නො හෙන තත්ත්වයට පැමිණෙති. මනුෂ්‍යයෝ ද චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝකවල උසස් ලෙස කම්සැප විඳින දෙවියෝ ද ඒ සම්පත්වලින්න පිරිහී සමහර විට සඤ්ජීවාදි මහානරකයන්හි නිරිසත්තු වෙති. තව්තිසා දෙව්ලොව සුබ්‍ර‍හ්මා නම් දිව්‍යපුත්‍ර‍යාගේ පරිචාරිකාවන් වූ දෙවඟනන් පන්සියයක් උපච්ඡේදක කර්මයකින් එකවර චුත ව අවීචියෙහි උපන් බව සංයුත්තනිකාය අටුවාවෙහි කියා ඇත්තේ ය. ඇතැම්හු සමහරවිට මහත් සම්පත්තියෙන් සිට පිරිහී සාගින්න නිවා ගැනීමට ආහාරයක් නො ලබන, පිපාසාවට පැන් ටිකක් නො ලබන, හැඳීමට වස්ත්‍ර‍යක් නො ලබන ප්‍රේතයෝ වෙති. ඇතැම්හු මහා සම්පත්තියෙන් පිරිහී බලු සිවල් කපුටු ඌරු ඉදිබු මැඩි ආදි නීච සත්ත්වයෝ වෙති. බුදුරදුන් කල සැවැත්නුවර සමීපයේ ගමක විසූ තෝදෙය්‍ය නම් ධනවත් බමුණකු මැරී ඒ ගෙයි ම සුනඛයකු වූ බව ද, අස්සක නම් රජකුගේ දේවිය වූ උබ්බරී නමැති කාන්තාව මැරී ගොමකුරුමිණියකු වූ බව ද කියා තිබේ. ඇතැම්හු සර්පාදි නපුරු සත්තු වෙති. ඇතැම්හු මීයෝ වෙති. මේ පරිවර්තනය සිදුවන්නේ ස්කන්ධ නො තිර නිසා ය.

දිනක් තථාගතයන් වහන්සේ නිය මත පස් ස්වල්පයක් තබා භික්ෂූන් අමතා එය දක්වා “මහණෙනි, මාගේ නිය පිට ඇති පස්වලින් හා මේ පොළොවේ පස්වලින් කවරක් වැඩිදැ” යි අසා වදාළහ. එකල්හි භික්ෂූහු “ස්වාමීනි නුඹවහන්සේගේ නියපිට ඇති පස ඉතා සුළුය, මහපොළොවේ පස් ම ඉතා බොහෝ වේය” යි සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එසේම මිනිස්ලොවින් ච්‍යුත ව නැවත මිනිස්ලොව උපදනා පුද්ගලයෝ ස්වල්ප වන්නාහ. නරකයෙහි උපදනා ප්‍රේත ව උපදනා තිරිසන් ව උපදනා පුද්ගලයෝ ම බොහෝ වන්නාහ” යි වදාළහ. දිව්‍යලෝක ගැන ද එසේ ම වදාරා ඇත්තේ ය.

මෙසේ පරිවර්‍තනයක් ඇති, තිරබවක් නැති මේ ස්කන්ධ පඤ්චකය ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. හොඳය කියා මොහොතකුදු එයට ඇලුම් කරගෙන සිටීම නුසුදුසු ය.

“පඤ්චක්ඛන්ධෙ අද්ධුවතො පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ ධූවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධයන් අස්ථිර වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය ස්ථිර වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.”