17. අතාණා

සතළොස්වන භාවනා පදය

ස්කන්ධයෝ ජාත්‍යාදි දුඃඛයන්ගෙන් සත්ත්වයන් නො රකින්නෝ ය.

සසර සැරිසරන සත්ත්වයනට පැමිණෙන අපමණ දුක් ඇත්තේ ය. භය ඇත්තේ ය. ස්කන්ධයෝ ඒවායින් සත්ත්වයන් ආරක්ෂා නො කරති. ආරක්ෂා කිරීමට සමත් බවක් ද ස්කන්ධයන්ට නැත්තේ ය. සත්ත්වයනට ඇති ජාති ජරා මරණාදි භය පමුණුවන්නෝ ස්කන්ධයෝ ම ය. ස්කන්ධයෝ සත්ත්වයන් ගේ සතුරෝ ය. රූපස්කන්ධයේ ප්‍ර‍ධාන ධර්ම සතර පඨවි ආපෝ තේජෝ වායෝ යන මහාභූත ධාතු සතර ය.

“චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ඝෝරවිසාති ඛෝ භික්ඛවේ, චතුන්නං මහාභූතානං අධිවචනං”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් “උග්‍ර‍ විෂ ඇති ඝෝර විෂ ඇති සර්පයෝ සතර දෙනය යනු සතර මහා භූතයන්ට නමෙකැ” යි වදාරා ඇත්තේ ය. “කාෂ්ට මුඛය, පූති මුඛය, අග්නි මුඛය, ශස්ත්‍ර‍ මුඛය” යි සර්පයෝ සතර දෙනෙක් ඇත්තාහ. දෂ්ට කළ කල්හි ශරීරය දර ලීයක් සේ තද වන විෂ ඇති සර්පයා “කාෂ්ටමුඛ” නම් වේ. දෂ්ට කළ කල්හි ශරීරය කුණු වී යන විෂ ඇති සර්පයා “පූතිමුඛ” නමි. දෂ්ට කළ කල්හි ශරීරය ගින්නකින් මෙන් දවන විෂ ඇති සර්පයා “අග්නිමුඛ” නමි. දෂ්ට කළ කල්හි ශරීරය සුනු විසුනු වී යන විෂ ඇති සර්පයා “ශස්ත්‍ර‍මුඛ” නමි.

මහාභූත සතර කීකරු කර සැම කල්හි සමව පැවැත්වීම දුෂ්කර ය. පෘථිවි ධාතුවට පිළියම් යොදන කල්හි ආපෝ ධාතුව කිපෙයි. එයට පිළියම් යොදන කල්හි අනික් ධාතුවක් කිපෙයි. එක් ධාතුවකට පිළියම් යොදන කල්හි ඉතිරි ධාතූහු කිපෙති. පෘථිවි ධාතුව කිපුණු කල්හි ඉතිරි ධාතු තුන යට කොට කාෂ්ටමුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කල්හි මෙන් ශරීරය දරකඩක් සේ තද කරයි. ආපෝ ධාතුව කිපුණු කල්හි ඉතිරි ධාතු තුන යට කොට පූතිමුඛ නම් සර්පයා දෂ්ට කළ කලෙක මෙන් ශරීරය කුණු කරයි. තේජෝ ධාතුව කිපුණු කල්හි අග්නිමුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කලෙක මෙන් ශරීරය දවයි. වායෝ ධාතුව කිපුණු කල්හි ශස්ත්‍ර‍මුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කලෙක මෙන් ශරීරය සුනු විසුනු වෙයි. බාහිර ලෝකය විනාශ වන්නේ ද මේ මහා භූතයන්ගෙන් ම ය.

“භූමිතෝ චුට්ඨිතා යාව - බ්‍ර‍හ්මලෝකා විධාවති,

අච්චි අච්චිමතෝ ලෝකෝ - ඩය්හමානම්හි තේජසා.”

යනුවෙන් කල්ප විනාශයේදී ලෝකය ගින්නෙන් දැවෙන කල්හි පොළොවෙන් නැඟි ගිනි දැල් බ්‍ර‍හ්මලෝකය දක්වා ගොස් ලෝකය විනාශ කරන බව දක්වා ඇත්තේ ය.

“කෝටිසතසහස්සේකං-චක්කවාළං විලීයති,

කුපිතෙන යදා ලෝකෝ-සලිලෙන විනස්සති.”

යනුවෙන් කිපියා වූ ආපෝ ධාතුවෙන් ලෝකය නස්නා කල්හි එක් ක්ෂේත්‍ර‍යක් වූ කෝටිලක්ෂයක් සක්වළ දිය වී විනාශ වන බව ප්‍ර‍කාශිතය.

“කෝටිසතසහස්සේකං-චක්කවාළං විකීරති,

වායෝ ධාතුප්පකෝපේන-යදා ලෝකෝ විනස්සති.”

යනුවෙන් වායෝ ධාතුව කිපීමෙන් ලෝකය විනාශ වන කල්හි එක් ක්ෂේත්‍ර‍යක් වූ කෝටිලක්ෂයක් සක්වළ සුනු වී විසිරෙන බව ප්‍ර‍කාශිතය. ශරීරවල හටගන්නා සියලු රෝගාබාධයන් හටගන්නේ ද, මරණින් පසු ශරීරය ඉදිමී කුණු වී යන්නේ ද ධාතුන්ගේ කෝපයෙන් ම ය. ධාතූන් සම ව පවත්නාතුරු සත්ත්ව ශරීරවලට හා බාහිර ලෝකයට කිසිදු හානියක් නො වේ.

“පඤ්ච වධකා පච්චත්ථිකාති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං උපාදානක්ඛන්ධානං අධිවචනං”

යනුවෙන් උපාදානස්කන්ධ පස වධකයන් වූ සතුරන් පස් දෙනකැ යි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය. වධකයන් වූ මේ රූපයෝ රූපයන් ද නසති. නාමයන් ද නසති. නාමයත් එසේ ම නාමය ද නසයි. රූපය ද නසයි. පෘථිවි ධාතුව බිඳෙන්නේ ඉතිරි ධාතු තුන ද බිඳ ගෙන ය. ඒ පෘථිවි ධාතුව විසින් ඉතිරි ධාතු තුන නැසීම ය. ආපෝ ධාතු ආදීන් බිඳෙන්නේ ද එසේ ම තමන් හා සම්බන්ධ ව පවත්නා ඉතිරි ධාතු තුන බිඳ ගෙන ය. රූපස්කන්ධය බිඳෙන්නේ ද නාමස්කන්ධ සතරත් බිඳ ගෙන ය. මෙසේ රූපයෝ රූපාරූප දෙක ම නසති. වේදනාස්කන්ධය බිඳෙන්නේ ද තමා හා සම්බන්ධ ව පවත්නා සංඥා සංස්කාර විඥානස්කන්ධයන් ද බිඳ ගෙන ය. සංඥාදි ස්කන්ධයන් බිඳෙන්නේ ද එසේ ම තමා හා සම්බන්ධ ව පවත්නා ඉතිරි නාමස්කන්ධ තුන බිඳ ගෙන ය. මේ අරූපයෙන් අරූපය නැසීම ය. මරණක්ෂණයේ දී නාමස්කන්ධ සතර බිඳෙන්නේ තමන්ට නිශ්‍ර‍ය වූ වස්තුරූපයත් බිඳගෙන ය. ඒ අරූපයෙන් රූපය නැසීම ය. මෙසේ ස්කන්ධයෝ ඔවුනොවුන් මරාගන්නා බැවින් වධකයෝ ය. මරණයක් ඇත්තේ ස්කන්ධයන් ඇති කල්හි ය. ස්කන්ධ නැතහොත් මරණයක් නැත. එබැවින් ස්කන්ධයෝ වධකයෝ ය. සතුරෝ ය. වධකයන් වූ සතුරන් වූ ස්කන්ධයෝ කෙසේ නම් සත්ත්වයනට ආරක්ෂාවක් වෙත් ද? නො වෙත් ම ය.

“පඤ්චක්ඛන්ධෙ අතාණතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ තාණං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ආරක්ෂාවන් නො වන ධර්‍මයන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ආරක්ෂාව වන නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.