15. පභංගු

පසළොස්වන භාවනා පදය

ස්කන්ධයෝ භඞ්ග වන ස්වභාව ඇත්තෝ ය.

රූපස්කන්ධ සඞ්ඛ්‍යාත ශරීරයෝ තැළෙන කැබලි වන සිදුරු වන පැළෙන පලු ගැලවෙන ඉරෙන දැවෙන කුණුවන ස්වභාවය ඇතියෝ ය. “පභඞ්ගු” යන භාවනා පදයෙන් අදහස් කරන්නේ ස්කන්ධයන්ගේ ඒ ස්වභාවයෝ ය. යෝගීන් විසින් ශරීරයන් එසේ වන සැටි සිතා බැලිය යුතු ය.

රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ කයට වැටීමක් යටවීමක් දඬු මුගුරුවලින් පහර දීමක් සිදුවුවහොත් නො තැළී පැවතිය හැකි ශක්තිය නැත. තැළෙන ස්වභාවය ඇති රූපස්කන්ධය නොයෙක් විට තැළෙන්නේ ය. කැබලි නො වී පැවතිය හැකි ශක්තියක් රූපස්කන්ධයට නැති බැවින් එය දුම්රිය බස්රිය ආදි බර රියවලට අසුවීම, යන්ත්‍ර‍වලට අසුවීම, ඉතා ඉහළ සිට වැටීම, අලි කොටි වලස් ආදී නපුරු සතුන්ට අසුවීම, බෝම්බවලට අසුවීම යනාදියෙන් කැබලි වී යන්නේ ය. මස් පිණිස ගන්නා ගවාදි සතුන්ගේ ශරීර කැපීමෙන් කුඩා කැබලි වන්නේ ය. හුල් ආදියට ඔරොත්තු දීමේ ශක්තියක් නැති රූපස්කන්ධය කටුවලින් හුල්වලින් පිහිවලින් කිණිසිවලින් සතුන්ගේ දත්වලින් වෙඩිවලින් හීවලින් ශරීරයෙන් ම හටගන්නා ගඩුවලින් නොයෙක්විට සිදුරු වන්නේ ය. දුබල වූ රූපස්කන්ධය සමහරවිට ඉදිමී පැළෙන්නේ ය. බර දේවලට යටවීමෙන් ද ආයුධවලින් ද පැළෙන්නේ ය. සමහරවිට පලු ගැලවී යන්නේ ය. කටු ආදියට හසුවීමෙන් නපුරු සතුන්ගේ නියවලට දත්වලට අසුවීමෙන් ඉරෙන්නේ ය. ගින්නෙන් දැවී අළුවන්නේ ය. ඉදුණු කොස් ගෙඩි සේ කුණු වී යන්නේ ය. බඩවැල් ඇට මස් නහර වෙන් වී යන්නේ ය. ඉතා සියුම් බැවින් නාමස්කන්ධය ආයුධාදියට හසු නො වෙතත් නොයෙක් හේතූන් නිසා ස්වභාවධර්මය අනුව ද භඞ්ගයට විනාශයට පැමිණෙන්නේ ය.

“පඤ්චක්ඛන්ධෙ පභඞ්ගුතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපභඞ්ගු නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධයන් භඞ්ග වන්නන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාදනිරෝධය භඞ්ගයක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.”