එක්තරා විහාරයෙක භික්ෂු නමක් බඩ රුජායෙන් පෙළුණේ, කිසි උපස්ථානයකුත් නැත්තේ, දොරට පිළට වත් යෑ නො හැක්කේ, තමා ගේ මලමුත්‍රයෙහි ම ගැලී හොත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් හා භික්ෂූන් වසන සේනාසනවලට වඩිමින් ඔවුනට අවවාද දීම් ආදිය කෙරෙමින් හැසිරෙන සේක්, යටැ කී ලෙඩ භික්ෂුව ගේ සේනාසනයට ද පැමිණි සේක. එහි පැමිණ “භික්ෂුව, අසනීපය කිමෙක් දැ” යි වදාළ සේක. “ස්වාමීනි, බඩ රුජාවෙකැ” යි හේ කී ය. “උපස්ථායකයෙක් නැද්දැ” යි ඇසූ සේක. “නැත වහන්සැ” යි හේ කී ය. “කවර හෙයින් දැ” යි ඇසූ සේක. “මම කිසිවකුට සත්කාර නො කෙළෙමි. එ හෙයිනැ”යි ඒ භික්ෂු කීය.
එ විට භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වතුර ගෙනෙන්නට වදාළ සේක. තෙරුණුවෝ එය කළහ. භාග්‍යවතුන් වහන්සේ රෝගී භික්ෂුවට දිය වත් කළ සේක. අනඳ තෙරණුවෝ ඔහු ඇඟ සේදූහ. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ එ භික්ෂු හිස පැත්තෙන් ද, අනඳ තෙරණුවෝ පා පැත්තෙන් ද ගෙන ඔසොවා ඇඳෙක සැතැප්පූ හ.
භාග්‍යවතුන් වහන්සේ ඉන් නික්ම වැඩ භික්ෂූන් කැඳවා අනාථ භික්ෂුව ගේ තතු විචාරා “මහණෙනි, යුෂ්මත්නට උපස්ථාන කරන මවක් පියෙක් නැත. යුෂ්මත්හු ම ඔවුනොවුනට උපස්ථාන නො කරවු නම් අන් කවුරු උපස්ථාන කෙරෙත් ද?
“මහණෙනි, යමෙක් ගිලනාට උපස්ථාන කෙරේ නම් හේ මට උපස්ථාන කරන්නේ ය. මගේ වචනය පිළිපදින්නේ යැ”යි වදාළ සේක.211
ඉක්බිති ග්ලානෝපස්ථාන කළ යුතු සැටි ද, ග්ලානෝපස්ථකයා තුළ විය යුතු ගති ගුණ ද වදාරා එයින් වැඩි සේක.