කුෂ්ට රෝගාතුරයනට උපස්ථානයක්

සැවැත් නුවර කුලපුත්‍රයෙක් බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා පැහැද පැවිද්ද හා උපසම්පදාව ලැබුයේ, තිස්ස ස්ථවිර නමින් ප්‍රසිද්‍ධ විය. කලක් ගිය තැන උන් වහන්සේට කුෂ්ට රෝගයෙක් වැළඳුණේය. මුලින් අබ ඇට පමණින් පටන් ගත් පිළිකාවෝ ක්‍රමයෙන් වැඩී අන්තිමේදී බෙලි ගෙඩි තරම් ලොකු වී බිඳුණාහ. එයින් මුළු ශරීරය ලේ සැරොව ගලන ලොකු කුඩා සිදුරු රාශියකින් වැසී ගියේ ය. මෙසේ රෝගය අසාධ්‍ය විය. ඇඳි පෙරෙවි සිවුරු ලේ සැරොවින් ඇඟේ බැඳී ගියේ ය. වෙහෙර වැසි සියල්ලෝ උපස්ථාන කළ නො හැකි ව උන්වහන්සේ හැර දමා ඉවත් වූහ. මෙසේ ඒ ස්ථවිර අනාථව හුදෙකලා ව හොත්තේ ය. අලුයමෙහිත් සැන්දෑවෙහිත් නුවණින් ලොව බැලීම බුදුවරයන් ගේ සිරිතකි. එ දා නුවණින් ලොව බලා වදාරන බුදුරජාණන් වහන්සේ අනාථ ව හෝනා තිස්ස ස්ථවිරයන් වහන්සේ රහත් වීමට හේතු සම්පත් ඇති බව දුටු සේක. දැක “මා මිස මේ භික්ෂුවට පිළිසරණ වීමට සමත් අනෙකෙක් නැතැ” යි සලකා විහාර චාරිකායෙහි යෙදුණු සේක්, තිස්ස තෙරුන් ඉන්නා විහාරයට පැමිණි සේක. පැමිණ ගිනිහල් ගෙට වැඩ සැළියක් සෝ දා දියෙන් පුරා ලිප තබා වතුර උණු වන තුරු එහි ම සිටි සේක. රත් වූ පසු ලෙඩ භික්ෂුව වෙත පැමිණ ඒ භික්ෂු හොත් ඇඳ ඔසොවා ගෙනෙනු පිණිස එහි කෙළවරක් ගත් සේක. එ කෙණහි එය දුටු භික්ෂූහු “ස්වාමීනී, ඉවත් වුව මැනැවි. අපි මෙය ගෙනෙන්නම්හ” යි කියා ඇඳ ඔසොවා ගිනිහල් ගෙට ගෙනාහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ සිවුරු සෝදන ඔරුවක් ගෙන්වා එහි උණු දිය වත්කරවා කුෂ්ඨ රෝගී භික්ෂුව හැඳි පෙරෙවි සිවුරු උණු දිය ඉස සෝදවා මඳ අව්වේ වැනැවූ සේක. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ම ඒ රෝගී භික්ෂුව ළඟට වී ඔහු ඇඟ උලා උණු දියෙන් නෑවූ සේක. ස්නානාවසානයේ දී පොරෝනා සිවුර වේලුණෙන් එය හඳවා හැඳි සිවුර සෝදවා වැනැවූ සේක. තෙරුන් ගේ ශරීරයෙහි තෙත සිඳුණ විට, අව්වේ ලැවූ සිවුරු ද වේලී ගියෙන් එය ගෙන්වා දුන් සේක. ඒ ස්ථවිර තෙම එක් සිවුරක් හැඳ එකක් ඒකාංශ කොට පොරොවා හෑල්ලු වූ ශරීර ඇත්තේ එකඟ සිතින් ඇඳෙහි හොත්තේ ය. බුදුරජාණන් වහන්සේ තෙරුන් ගේ ඉස පැත්තේ සිට ශරීරයේ අනිත්‍ය බව අසාර බව ප්‍රකාශ කොට බණ වදාළ සේක.210 දේශනාවසානයේ දී ඒ ස්ථවිර තෙම නුවණ මුහුකුරුවා සිවු පිළිසිඹියා සහිත රහත් බව ලබා නො බෝ වේලාවෙකින් පිරිනිවන් පෑයේ ය. තවත් බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියහ. බුදුරජාණන් වහන්සේ තෙරුන් ගේ ශරීරය ආදාහන කරවා ධාතූන් ගෙන්වා චෛත්‍යයක් කැරැවූ සේක.