කෝලිය මහාමාත්‍ය සමාගමය

බරණැස් නුවර සමීපයෙහි නුවරට බටහිර දිග ගංගා නදියෙන් එ ගොඩ වාසභග්ගාම නම් ගමෙක් විය. එයට නොදුරු චුන්දත්ථිකග්ගාම නම් ගමැ එක් මුව වැද්දෙක් විය. හේ වල් වැද මුවන් මරා, අඟුරෙහි පළහා කා සෙස්ස කද බැඳ ගෙන ගෙට යේ. බාල දරුවෝ ගම්දොර දී ඔහු දැක ළඟට දිව මස් ඉල්ලති. හේ ඔවුනට මස් ටික ටික දී යෙයි.

දිනෙක වැදි තෙම මස් නො ලැබ ඇසළ මලක් පැළඳ මල් රැසක් අතින් ගෙන එන්නේ පුරුදු පරිදි මස් ඉල්ලා ආ දරුවනට මල් පොකුර බැගින් දී ගියේ ය. හේ මෑත භාගයෙහි මළේ ප්‍රේත යෝනියෙහි උපන්නේ ය.

ඒ ප්‍රේත තෙම වනාහි නග්න ය. විරූප ශරීර ඇත්තේ ය. භය ජනක දර්ශන ඇත්තේ ය. ආහාර පාන නො මැත්තෙන් නිතර සා පවස් දෙකින් පීඩිත ය. එහෙත් හිස පැළදි ඇසළ මල් කළඹක් ඇත්තෙකි.

දිනෙක හේ “නෑයන් වෙතින් කිසි ආහාරයක් ලැබිය හැකිදෝ”යි සිතා ගංගා නදිය මත්තෙන් උඩු ගංගා බලා යන්නේ ය. එ සමයෙහි කෝලිය මහාමාත්‍ය නමින් ප්‍රකට බිම්සර රජහු ගේ ඇමතියෙක් පිටිසර බද දනව්වෙක කැරැල්ලක් සංසිඳුවා, බලසෙන් ගොඩින් යවා තෙමේ නැවෙකින් ගංගා නදියෙහි යටි ගං බලා එයි. හේ යටැ කී ප්‍රේතයා දැක්කේ ය. දැක, ඔහු තතු විචාළේ ය. හේ තමා චුන්දත්ථික ගමට නෑයන් දක්නට යන බව කීය. ඇමති තෙම ඔහු “ප්‍රේතයෙකැ” යි දැන හත් සුණු ද බත් ද රන්වන් වස්ත්‍ර දෙකක් ද නැවෙහි සිටි කපුවකුට දෙවා එහි පින් ඔහුට පැමිණැ වී ය. ප්‍රේත තෙම පින් අනුමෝදන් කොට ගත්තේ, පුණ්‍ය ඵල වශයෙන් දිව්‍ය අන්නපාන හා වස්ත්‍ර ලැබී ය.

කෝලිය මහාමාත්‍ය නැවින් එන්නේ පසු දා සූර්යෝදය සමයෙහි බරණැසට සම්ප්‍රාප්ත විය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ ඇමැතියා ප්‍රමුඛ පිරිසට අනුග්‍රහ පිණිස අහසින් වැඩ ගංතෙර සිටි සේක. මහාමාත්‍ය තෙම ඒ දැක සතුටු ව නැවින් ගොඩ බැස භාග්‍යවතුන් වහන්සේ නිමතා එ කෙණෙහි කොළ මඩුවක් තනවා වියන් බඳවා සුවඳ මල් ආදියෙන් පිදී ය. ඉක්බිති හේ පසෙක හිඳ තමාට එදී හමු වූ ප්‍රේතයා සම්බන්ධ ප්‍රවෘත්තිය කියා ඔහුට පින්පෙත් සඳහා දන් දෙන බව දැන්වී ය.

භාග්‍යවතුන් වහන්සේ “භික්ෂු සංඝ තෙම වඩීවා” යි අධිෂ්ඨාන කළ සේක. එ කෙණෙහි භික්ෂු පිරිස ද බුද්ධානුභාවයෙන් මෙහෙයන ලද්දේ සෘද්‍ධියෙන් අවුත් එහි භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හුන් හ.

“අද මහත් ධර්ම දේශනාවක් වෙතැ”යි සලකා මහ ජනයා ද එහි රැස් වූහ. එය දැකීමෙන් ඔද වැඩී ගිය සිතැති මහ මැති තෙම බුද්‍ධ ප්‍රමුඛ සංඝයා මනා ව වැළැඳවී ය.

භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා ඉක්බිති බරණැස සමීපයේ ගම්හි වැස්සේ ද පැමිණෙත් වා යි ඉටු සේක. බුද්‍ධිර්ධි බලයෙන් ඒ මහජනයා ද රැස් විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුනට බොහෝ ප්‍රෙතයන් පෙනෙන්නට සලස්වා ඔවුන් ලවා ම ඔවුන් ගේ ප්‍රේත ව ඉපදීමට හේතු වූ අකුසල් ද කියැවූ සේක.

තමන්ගේ පව් හෙළි කරන ඒ ප්‍රෙතයන් ගෙන් ඇතැම් කෙනෙක් තමන් ඊර්ෂ්‍යා මානාදියෙන් කල් ගෙවූ සැටි ද, ඇතැම් කෙනෙක් තමන් ගෘහ ස්වාමි ස්වාමිනීන් ව ඉඳත් දනක් පිනක් නො කළ සැටි ද, ඇතැම් කෙනෙක් තමන් මිහිරි ආහාර පාන වර්ග ලබා යාචකයනට කිසිත් නො දී කමින් බොමින් ආත්මම්හර වැ මැ කල් යැවූ සැටි ද, ඇතැම් කෙනෙක් තමන් ප්‍රතිග්‍රාහකයනට කිසිත් දෙමිනුත් ඔවුනට අවමන් කළ සැටි දැ යි මෙ ආදීන් කළ පව්වල විපාක තමන් විඳිනා සැටි කියා පෑහ.

මෙය අසා සංවේගයට පත් කෝලිය මහාමාත්‍ය ප්‍රමුඛ මහා සමූහයාට භාග්‍යවතුන් වහන්සේ චරිතානුකූල ධර්ම දේශනාවෙකින් අවවාද කළ සේක. දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාවබෝධය විය.