සැවැත් පුර දුප්පත් පවුලක ගෞතමී නම් ස්ත්‍රියක් වූවා. මඳක් කෘශ බැවින් ඕ කෘශා ගෞතමී නමින් ප්‍රකට වූවා ය. ඇය ගේ ස්වාමි කුලයෙහි අය දුගී තෙනැත්ති යැ යි ඇයට නිග්‍රහ කළහ. එහෙත් පුතකු ලැබුණු තන් සිට ස්වාමි කුලයේ කවුරුත් ඇයට සැලැකිලි දැක්වූහ. ඒ දරුවා යම්තම් ඇවිද සෙල්ලම් කළ හැකි තරම් වයසේදී කළුරිය කෙළේ ය. එයින් ඕ බලවත් ශෝකයට පැමිණියා ය. ශෝකාතුර වූ ඕ තොම දරුවාගේ මළ සිරුර ඇකයෙන් ගෙන දුටු දුටු අය ගෙන් බෙහෙත් ඉල්ලමින් ඇවිද්දා ය. “මළ කඳට මොන බෙහෙත් දැ”යි කියමින් මිනිස්සු අත් පොළසන් දෙමින් සිනා සුණහ. ඕ වනාහි සිහි එළවා ගත නො හැකි වූවා ය. එක් නුවණැති පුරුෂයෙක් කාරණය තේරුම් ගෙන “අම්ම, ඔබේ දරුවාට බෙහෙත් දෙන්නට බුදුරජාණන් වහන්සේ මිස අන් කිසිවෙක් නො දනී. උන් වහන්සේ ළඟැ විහාරයෙහි වසන සේක. එහි යන්නැ’යි කියා ඇය බුදුරජාණන් වහන්සේ වෙත යැවූයේ ය. කෘශා ගෞතමී තොම ජේතවනාරාමයට පැමිණ ධර්මාසනාරූඪ වූ භාග්‍යවතුන් වහන්සේ දැක දරුවාට බෙහෙතක් දෙන ලෙස යාච්ඤා කළා ය. ඇය රහත් වන්නට හේතු සම්පත් ඇති බව දුටු භාග්‍යවතුන් වහන්සේ “ගෞතමිය, බෙහෙත් සඳහා මෙහි තොප ආවා යහපති. දැන් නුවරට ගොස් එහි කොනෙක සිට මුළු නුවර ම ඇවිද වත් කිසි කළෙක මරණයක් නො වූ ගෙයකින් අබැටක් ගෙනෙන්නැ”යි වදාළ සේක. ඕ ද සතුටු ව නුවර වැද එහි මුල්ගෙට ම පැමිණ තම දරුවාට බෙහෙත් සඳහා බුදුරජාණන් වහන්සේ වෙත ගෙන යෑමට අබැටක් ඉල්ලුවා ය. ඔහු ද එය ගෙනවුත් දුන්හ. එ විට ඕ “මෙහි කවුරුත් පෙර නො මළෝ දැ?” යි විචාළා ය. “මේ මොනවා කියයි ද? මෙහි මළවුන් ගණන් කරන්නට කාටවත් බැරි තරම් යැ” යි ගෙ වැසියෝ කීහ. “එහෙනම් මෙය එපා. භාග්‍යවතුන් වහන්සේට ඕනෑ කළේ කිසිවකු නො මළ ගෙයෙකින් අබ ඇටෙකැ” යි කියා එයින් නික්මැ තවත් ගෙවල් දෙකකට ගියා ය. එ දෙ තැනැ දී ද මේ ගෙයි මෙපමණ මෙපමණ නෑදෑ මිත්‍රාදීහු මළහ” යන වචනයෙක්ම අසන්නට ලැබුණේ ය. තෙ වැනි ගෙට යෑමෙන් පසු කාරණය තේරුම් ගෙන මුළු නුවර ම ඇවිද්දත් කිසිවකු නො මළ තැනෙක් නො ලැබෙන්නේ ය. හිතානුකම්පා ඇති බුදුරජාණන් වහන්සේ මට කාරණය වටහා ලීමට නො මළ ගෙයෙකින් අබැටක් ගෙනෙන්නට වදාළ සේකැ” යි සිතා ශෝකය දුරු කොට එ තැනින් ම පිටත් ව සොහොන් පිට්ටනියට ගොස් පුතු ගේ මළ කඳ අතින් ගෙන “පුත, මේ මරණය ඔබට පමණක් වූයේ යැ’යි මම සිතීමි. එ සේ නො වේ. මරණය නම් කාටත් පොදු වූ ස්වභාවයෙක් යැ”යි කියා එය සොහොනෙහි දමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා ය. එ විට බුදුරජාණන් වහන්සේ “ගෞතමිය, අබැටක් ලැබුණේ දැ”යි විචාළ සේක. “ස්වාමීන් වහන්ස, අබැටෙන් කළ යුත්ත ඉවර ය. ඔබ වහන්සේ මට පිහිට වුව මැනැවැ”යි කීවා ය. බුදුරජාණන් වහන්සේ මරණය සර්ව සාධාරණ බව වදාරා “මහ වතුරක් නිදන ගම්වැසි සමූහයා ගසා ගෙන යන්නා සේ පුත්‍ර ගව මහිෂාදීන් ඇති බැවින් මහත් වූ පස් කම්හි ඇලුණු සිතැති පුද්ගලයා මරණයට හසුවේ”යැ යි වදාළ සේක. ධර්ම දේශනාවසානයේ දී ඕ තොම සෝවාන් ව පැවිද්ද ඉල්ලුවා ය. බුදුරජාණන් වහන්සේ එයට අවසර දුන් සේක. ඕ ද මෙහෙණියන් වසන ආරාමයට ගොස් පැවිදි වූවා ය. යලි උපසම්පදාව ලබා විදසුන් වඩා නො බෝ කලෙකින් රහත් වූවා ය.