සැවැත් පුර සිටුවරයකු ගේ දුවක් ගෙයි මෙහෙකරුවකු හා රහසින් මිත්‍ර වැ සිට දිනෙක ගෙන යෑ හැකි තරම් ධනයත් ගෙන ඔහු සමග පැන ගොස් ඈත ගමෙක වුසුවා ය. කල් යෑමේ දී ගර්භණී වූ ඕ තොම දරු ගැබ මේරු කල මා පියන් වෙත යෑමට සැමියාට පෙරැත්ත කළා ය. “අද යම්හ, හෙට යම්හ” යි කිය කියා හෙ තෙම කල් ගත කෙළේ ය. දිනෙක ඕ තොම තමා මා පියන් වෙත ස්වාමියා ගෙන නො යන බව සිතා, ඔහු ගෙයි නැති වේලාවක් බලා අසල් වැසියනට තමා මා පියන් වෙත යන බව කියා, හුදෙකලා ව නික්ම ගියා ය. ගෙට ආ සැමියා එ පවත් අසා “අහෝ මා නිසා මේ කුල දුව අනාථ වූවා යැ” යි කණගාටුවට පත් ව යුහුව ගොස් ඇයට සම්මුඛ විය. මඟ දී පුත්‍ර ප්‍රසූතිය විය. එ හෙයින් ඒ ස්ත්‍රී කුල ගෙට නො ගොස් සැමියා හා ආපසු ම ආවා ය. නැවැත දෙවැනි වරෙකත් ගර්භිණී වූ ඕ තොම වදන කාලය ළංව තිබැද්දී පෙර සේ ම මා පියන් වෙත යන අදහසින් නික්මුණා ය. සැමියා ඇය සොයා ගොස් දැක ඇය හා සැවැත් නුවර බලා ගමන් කළේ ය. එදා රෑද මගදී සිටු දුව පුතකු වැදුවා ය. තද අකල් වැස්සට ද ඔහු අසු වූහ. “ස්වාමීනි, නො තෙමී ඉන්නට තැනක් පිළියෙළ කළ මැනැවැ” යි ස්ත්‍රිය විසින් කියන ලද යථෝක්ත පුරුෂ තෙම පඳුරක් දැක එහි ගොස් අත තුබුණ කැත්තෙන් එක් රුකෙක අත්තක් කැපුයේ ය. එ කෙණෙහි එ රුක යට තණකොළින් වැසුණු තුඹසින් සර්පයෙක් පිට වී අවුත් ඔහු දෂ්ට කෙළේ ය. පුරුෂ තෙම ඒ තැන ම වැටී මළේ ය. ස්ත්‍රී මහත් දුකින් ඔහු ගේ ඊම බලාපොරොත්තු වන්නී වැස්සට තෙමී හඬන දරුවා බඩතුරෙහි කොට දෙ දනින් හා දෑතින් ම බිම වැතිර එළි වන තුරු ම ඉතා දුකින් උන්නා ය. එළි වූ කල බාල දරුවා අත් දෙකින් ලෙහි හොවාගෙන වැඩි මාළු පුතු හා සැමියා ගිය අතට යන තෙනැත්ති, මළා වූ ඔහු දැක විලාප කියා හඬා හඬා යන්නී, රෑ වැස්සෙන් තන මතක් උසට පිරී ගලන නදියක් වෙත පැමිණියා ය. එගොඩ යනු කැමැති ඕ තොම නුවණ මඳ බැවිනුත් දුර්වල බැවිනුත් දරු දෙදෙනාම එක විට ගෙන යන්නට බියව පළමු කොට කුඩා දරුවා ගෙන ගොස්, එ ගොඩ අත්තක් බිම අතුරා එහි රෙදි කඩෙක හොවා, වැඩි මාළු පුතු ගෙන යනු පිණිස ගඟට බැස නැවත හැරී ආ පසු බල බලා යන්නී, ගඟ මැදට පැමිණියා ය. එ කෙණෙහි උකුස්සෙක් බාල දරුවා මස් කැටියකැ’යි සිතා ඒ අතට ආයේ ය. ඒ දුටු ඈ අත් ඔසොවා “සූ සූ” යැ යි තුන් වරක් ශබ්ද කළා ය. ඈත බැවින් උකුසු තෙම එය නො තකා ළදරුවා ඩැහැ ගෙන ඉගිලී ගියේ ය. අත් ඔසොවා ශබ්ද කළා දැක මෙ ගොඩ හුන් වැඩි මාළු දරුවා මවු තමාට අඬ ගැසූහ යි සිතා වහා දියට පැන්නේ සැඩ පහරට අසු විය.
ඉක්බිති ඒ ස්ත්‍රී “එක් පුතකු උකුස්සෙක් ගෙන ගියේ ය! අනෙකා ගං වතුරට අසු වී ය! මග දී සැමියා මළේ යැ!”යි හඬමින් වැලැපෙමින් යන්නී, සැවැත් නුවර සිට එන මිනිසකු දැක “කොයි සිට එයි දැ?” යි ඇසූ ය. සැවැත් පුර සිට එන බව කී විට, සැවැත්හි අසුවල් වීථියෙහි අසුවල් පවුලේ තොරතුරු දන්නෙහිදැ?” යි ඇසුවා ය. “දනිමි. එහෙත් එය හැර වෙන යමක් ඇසුව මැනැවැ” යි හේ කී ය. “අනෙකක් මට ඕනෑ නැත. එය ම විචාරමි” යි ඕ කීවා ය. එවිට හෙ තෙම “ඊයේ රෑ වැස්ස දුටු දැ?” යි ඇසී ය. “දිටිමි. මමත් එයින් තෙමුණෙමි. මගේ තොරතුරු පසු ව කිය හැකි, සිටු පවුලේ ප්‍රවෘත්තිය කියන්නැ” යි ඕ අයැදුවා ය.
“රෑ වැස්සෙන් සිටු ගෙය කඩා වැටුණ බවත්, සිටාණන් ද ඔහු ගේ භාර්‍ය්‍යාව ද පුත්‍රයා ද යන ති දෙන ම එයට යට වී මළ බවත්, ති දෙන ම එක දර සෑයෙහි දැවෙන බවත් කියා දර සෑයේ දුම ද පෙන්වී ය. එ කෙණෙහි ඇගේ ශෝකය වඩ වඩා දියුණු වූවෙන් ඇඳි වත ලිහී වැටෙන බව වත් සලකා ගත නො හැකි තරම් උමතු වූවා ය. එයින් පසු ඕ,
“අහෝ මා දරුවෝ මළහ! සැමියා මග දී මළේ ය ! මෑණියෝත් පියාණෝත් සහෝදරයාත් එක ම දරසෑයේ දැවෙත් යැ” යි විලාප කියමින් බිම සැපි හැපී හඬ හඬා ඒ මේ අත දුව පැන ඇවිද්දා ය. එ තැන් පටන් ඈට නිරුවතින් ඇවිදිනා බැවින් පටාචාරා[1]* යන නම ඇති විය. මිනිස්සු ඒ උමතු ස්ත්‍රිය දැක “පිස්සිය දිවපියැ” යි කියමින් ගල් මුල් ආදියෙන් ගසා පලවා හැරියහ. හඬමින් වැළපෙමින් ඒ මේ අත දිව පැන ඇවිදුනා ඇය රහත් වීමට තරම් මේරූ පින් ඇත්තියක බව දුටු බුදුරජාණන් වහන්සේ ඈට විහාරය දෙසට එන්නට සැලැස්සූ සේක. හඬා වැලපෙමින් විහාරය දෙසට එන ඇය දුටු පිරිස “පිස්සියට මෙහි එන්නට නො දෙවු” යැ යි කියා ඇගේ ගමන නවතා ලන්නට තැත් කළහ. භාග්‍යවතුන් වහන්සේ “ඇගේ ඊම නො නවත්වවු” යැ යි වදාරා, ඇය සමීපයට ආ විට “නැගැණියනි, සිහි උපදවා ගන්නැ” යි වදාළ සේක. බුද්‍ධ තේජස් හේතුයෙන් ඕ ප්‍රකෘති සිහිය ලැබ තමා වස්ත්‍ර රහිත බව දැන විළි ඇති ව උත්කුටුක වැ බිම වැතිර හිඳ ගත්තී ය. එක් මිනිසෙක් තමාගේ උතුරු සළුව ඇය වෙතට වීසි කෙළේ ය. එය හැඳ ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි, මට පිහිට වුව මැනැව. මාගේ පුතකු උකුස්සෙක් ගෙන ගියේ ය. පුතෙක් දියේ වැටී නැසුණේ ය. මා පියෝත් සහෝදරයාත් කඩා වැටුණ ගෙට යටවී මළාහු එක දරසෑයෙහි ම දැවෙත්” යැ යි කීවා ය. මහා කාරුණිකයන් වහන්සේ ඇයට වදාරන සේක් “පටාචාරා, කනගාටු නො වන්න. උපකාර ලබා ගත හැකි තෙනට ම තෙපි ආවහු ය. තෙපි දැන් පුත්‍රාදීන් මළ සොවින් කඳුළු වගුරුවහු, මෙසේ ම පෙරත් අනවරාග්‍ර සංසාරයෙහි අනන්ත ජාතිවලැ පුත්‍රාදීන් මළ ශෝකයෙන් තොප වගුළ කඳුළු රැස සතර සාගරයේ ජලයටත් වැඩි ය” 207 යි වදාරා ධර්මාවවාද කළ සේක. එය ඇසීමෙන් ඇගේ ශෝකය තුනී විය. ඉක්බිති “පටාචාරාවෙනි, පරලොව යන්නාට පිහිට වන්නට පුත්‍රාදීහු සමර්ථ නොවෙත්” යන ආදීන් වදාරා නුවණැත්තා විසින් ශීල ශුද්‍ධිය ඇති කොට ගෙන නිවන් මග ම සිද්ධ 208 කටයුතුයැ” යි අවවාද කොට දම් දෙසු සේක. දේශනාවසානයේ දී ඕ සෝවාන් පෙලෙහි පිහිටා පැවිද්ද ඉල්ලුවා ය. භාග්‍යවතුන් වහන්සේ ඇය මෙහෙණියන් වෙත යැවූ සේක. පටාචාරා තොමෝ එහි පැවිදි උපසපන් ව උත්සාහයෙන් විදසුන් වඩන්නී දිනෙක බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් අසා නුවණ මුහුකුරුවා පිළිසිඹියා හා රහත් බව ලැබුවා ය.
-
* අපට චාරා” යැ යි කිය යන්න “පට-අචාරා” යැ යි වී පටාචාරා” යැයි හැඳින් වූ බව පෙනේ. ↑