විසාලා මහනුවර කුල ගෙයෙක වාගිෂ්ඨි නම් තරුණියක් වූවා ය. වැඩිවිය පැමිණි ඕ තොම කුලපුතකුට පාවා දෙන ලද්දී ය. සුවසේ වසන ඒ ස්ත්‍රී කල් යෑමේදී පුතකු ලැබුවා ය. යම්තම් දිවැ ඇවිද සෙල්ලම් කරන කාලයෙහි ඒ දරුවා මළේ ය. වාශිෂ්ඨි තොමෝ දරුවා මළ ශෝකයෙන් පීඩිත වූවා. උමතු වූවා ය. ඇගේ උමතුව සුව කිරීම පිණිස නෑයෝ නොයෙක් පිළියම් කළහ. දිනක් ඒ උමතු ස්ත්‍රී කිසිවකුටත් නො දන්වා ගෙන් නික්ම ගොස් තැන තැන මුළාව ඇවිදිමින් මියුලු නුවරට පැමිණියා ය. බුදුරජාණන් වහන්සේ ද එ දවස මියුලු නුවර වැඩි සේක් වීථියෙහි දී ඇය විසින් දක්නා ලද සේක. දුටු කෙණෙහි බුද්ධානුභාව හේතුයෙන් ඇගේ උමතු බව දුරු විය. ඇයට ප්‍රකෘති සිහිය ලැබුණේ ය. ඉක්බිති බණ අසා ගිහි ගෙයි කලකිරී බුදුරජාණන් වහන්සේ ගෙන් අවසර ගෙන මෙහෙණි සස්නේ පැවිදි වූවා ය. උත්සාහවත් ව විදසුන් වඩන ඕ තොම නො බෝ කලෙකින් සිවු පිළිසිඹියාවන් හා රහත් බව ලැබුවා ය.