දෙව්දත් තෙරුන් පිට මං කළ මෙහෙණියක්
රජගහ නුවර එක් සිටු දුවක් පැවිදිවනු කැමැත්තී මා පියන් ගෙන් එයට අවසර ඉල්ලූහ. එයට ඔහු කැමැති නො වූහ. නැවැත සිටු පුතකුට ඇය පාවා දෙන ලදු වැ කලක් පති කුලයෙහි වුසූ තැනැත්තී ගබ් ගත්හ. කුසයෙහි දරුවකු පිළිසිඳ ගත් බව නොදත් ඕ සැමියා ගෙන් පැවිදි වීමට අවසර ඉල්ලුවා ය. සිටු පුත් තෙම සතුටු ව මහත් සත්කාර සහිත ව ඇය මෙහෙණින් කරා පමුණුවා පැවිදි කැරැ වීය. කල් යෑමේ දී මෙහෙණිහු ඈ ගර්භිණී බව දැන “මේ කිම්දැ?” යි ඇසූහ. ඕ තොම “ආර්‍ය්‍යාවනි, මේ කෙසේ වී දැ?යි නො දනිමි. මගේ ශීලය ඒකාන්තයෙන් පිරිසිදු යැ” යි කීවා ය. මෙහෙණීහු ඇය දෙව්දත් තෙරුන් කරා ගෙන ගොස් ඒ පවත් දැන්වූහු. තමා ගේ අවවාද පරිදි පිළිපදිනා මෙහෙණීනට ඇය හේතු කොට ගෙන අපකීර්තියක් විය හැක්කැ” යි සිතා “ඇය සිවුරු හරවා පිට මං කරවු යැ” යි දෙව්දත් තෙරණුවෝ මෙහෙණීනට අණ කළහ. එය ඇසූ තරුණ මෙහෙණි තොම “ආර්‍ය්‍යාවනි, මා සිවුරු නො හරවවු. මම දෙව්දත් තෙරුන් උදෙසා පැවිදි නො වීමි. වැඩිය මැනැවි. මා ජේතවනයට ශාස්තෲන් වහන්සේ ගේ සමීපයට ගෙන යනු මැනැවැ” යි කීවා ය. මෙහෙණීහු ද ඇය ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්වූහ. බුදුරජාණන් වහන්සේ ඇය ගිහි කලැ ම දරුගබ පිහිටි බව දත් නමුත් අන්‍යයන් ගේ අපවාදයක් ඇති නො වනු පිණිස පසේදී කොසොල් රජු ද මහ අනේපිඬු සිටු සුලු අනේපිඬු සිටු විශාඛා උපාසිකා ආදී ප්‍රභූන් ද කැඳවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු පිරිස මැද දී කාරණය විනිශ්චය කරන්නට විනයධර උපාලි තෙරුනට අණ කළ සේක. උපාලි තෙරහු රජු ඉදිරිපිට දී ම විශාඛාව කැඳවා මෙහෙණිය පරීක්ෂා කිරීම ඈට පැවැරූ හ. විශාඛා තොම වට තිර ඇද මෙහෙණිය එහි ඇතුළට කැඳවා තොමෝ ම පරීක්ෂා කොට දින ගණන් බලා, ඇය පැවිදි වන්නට පෙර ලත් දරු ගැබක් බව දැන, තෙරුනට ඒ පවත් දැන් වූහ. ඉක්බිති තෙරහු මෙහෙණිය ගේ නිර්දෝෂත්වය ඒ සභාවේ දී ප්‍රකාශ කළහ. “නඩුව විසැඳූ සැටි යහපතැ” යි කියා බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
මෙසේ ඒ මෙහෙණියට දෙව්දත් තෙරුන්ගේ දුර දිග නො බැලීමත් අනනුකම්පාවත් හේතු කොට, වන්නට ගිය අන්තරායේ දී බුදුරජාණන් වහන්සේ පිහිට වූ සේක. පසු වැ ඈට ලැබුණ දරුවා පසේනදී කොසොල් රජහු රජ ගෙදරට ගෙන්වා පෝෂිත කරවන ලද්දේ ය. කාශ්‍යප යනු ඒ දරුවාට තබන ලද නම විය. වැඩුණු හෙ තෙම යලි යලි “මවු කවුරු දැ?” යි විචාරන්නේ, ඔහු රවටන්නට උත්සාහ කොටත් නො රැවැටිය හැකි වූ රජු විසින් “ඕ අසවල් මෙහෙණියැ” යි කියන ලද වචනය අසා පැවිදි වනු කැමැත්තේ, රජු ගෙන් අවසර ඉල්ලුයේ ය. රජු ඒ කුමරු සරසා භාග්‍යවතුන් වහන්සේ වෙත ගෙන ගොස් පැවිදි කැරැවීය. ළදරු කලැ මහණ වූ බැවින් බුදුරජාණන් වහන්සේ “කාශ්‍යපයා කැඳවන්න. මේ ඵල මේ කැවිලි කාශ්‍යපයාට දෙන්නැ”යි වදාරන සේක. එවිට, “කුමන කාශ්‍යපයාට දැ?” යි භික්ෂූහු අසත්. “කුමාර කාශ්‍යපයාට” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක. එ හෙයිනුත් රජ ගෙහි කුමරකු වශයෙන් ඇති දැඩි වූ හෙයිනුත් පසු කාලයේ දී හෙතෙම කුමාර කාශ්‍යප නමින් ප්‍රකට විය.
හේ මහණ වූ දා පටන් විදසුන් වැඩීමෙහි ව්‍යාවෘත විය. බුද්‍ධ වචනය ද උගත්තේ ය. පසු කලෙක අන්ධ වනයේ වසන ඒ හෙරණ වෙත එක් මිත්‍ර බ්‍රහ්මයෙක් පැමිණ ප්‍රශ්න තුදුසක් තබා ඒවා බුදුරජාණන් වහන්සේ ගෙන් විචාරන්නට නියම කොට ගියේ ය. හේ ද එය කෙළේ බුදුරජාණන් වහන්සේ එකී ප්‍රශ්න විසඳීම් වශයෙන් දෙසූ ධර්මය අසා රහත් වූයේ ය. කුමාර කාශ්‍යපයන් වහන්සේ පැවිදි වූ දා සිට දොළොස් වර්ෂයක් ම මවු මෙහෙණි පුතු සිහි කරමින් විටින් විට කඳුළු වැගුරුවා ය. මෙසේ වසන ඕ තොම පුතුගෙන් වෙන් වූ ශෝකයෙන් කඳුලින් තෙත් වූ මුහුණ ඇති ව පිඬු පිණිස හැසිරෙන්නී දිනක් වීථිය මැද දී පුත්‍ර තෙරුන් දැක, “පුතා පුතා”යි කියා හඬමින් තෙරුන් දෙසට දුවන්නී පය පැකිලී වැටුණා ය. නැවැත පුත්‍ර ස්නේහයෙන් දෙ තනින් කිරි වගුරුවමින් නැගිට කිරෙන් තෙත් වූ සිවුරු ඇත්තී ගොස් තෙරුන් ඇල්ලුවා ය. ස්ථවිර තෙම, මෘදු වචනයක් මගෙන් නොලදොත් මැය ශෝකයෙන් මිය යතැ’යි සලකා,
“මෑණියනි, මේ කුමක් කරමින් ඇවිදින්නහු ද? තව ම ගේහසිත පුත්‍ර ස්නේහය වත් දුරු කළැකි නුවූහු ද?” යන ආදීන් කියා අවවාද කෙළේ ය.
එයින් ප්‍රබුද්ධවූ සිතැති ඕ තොම ගේහසිත ප්‍රේමය දුරු කොට විවසුන් වඩා එ දින ම රහත් වූහ.
පසු දිනෙක “මේ වැනි හේතු සම්පන්න කුමාර කාශ්‍යපයාණෝත් මුන් වහන්සේ ගේ මෑණියෝත් දෙව්දත් තෙරුන් විසින් පිට මං කරන ලද්දෝ ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ දෙ දෙනාට ම පිහිට වූ සේක. අහෝ! බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝ යැ” යි දම්සබා මඬුයෙහි භික්‍ෂූන් ගේ කථාවෙක් පහළ විය.
භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ එ පවත් අසා පෙරත් තමන් වහන්සේ ඔවුනට පිළිසරණ වූ බව ප්‍රකාශ කිරීම් වශයෙන් නිග්‍රෝධමිග ජාතකය වදාළ සේක.