“චත්තාරො මෙ භික්ඛවෙ, සම්මප්පධානා, කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙනි වායමති විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති.
උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සම්මප්පධානාති.
මේ තථාගතයන් වහන්සේ විසින් සම්මප්පදාන සංයුක්ත යෙහි සම්මප්පධානයන් දේශනය කර තිබෙන ආකාරය ය.
ගස් මුල් වල වැටී තිබෙන වියළි කොළ වැනි නො වටිනා දේවල් මෙන් ප්‍රයෝජනය ඇති වටිනා දේවල් පහසුවෙන් නො ලැබිය හැකි ය. රන් රිදී මිල මුදල් වස්ත්‍රාභරණ ආහාර පාන වතු කුඹුරු යාන වාහනාදි වටිනාකම ඇති ප්‍රයෝජනවත් දේ ලැබීමට වෙහෙසිය යුතු ය. වටිනාකම බොහෝ ඇති, බොහෝ ප්‍රයෝජනවත් දේ ලැබීමට බොහෝ වෙහෙසිය යුතු ය. ලබන දෙයෙහි ලබන තනතුරෙහි වටිනාකම උසස්කම වැඩි වැඩි පමණට එය ලැබීමට වඩ වඩා වෙහෙසිය යුතු ය. ලිපිකාර කමක් තරම තනතුරක් ලැබීමට වුව ද වයස අවුරුදු පහ හයේ දී පටන් ගෙන වර්ෂ බොහෝ ගණනක් උගෙනීමෙහි යෙදිය යුතු ය. එහි නො යෙදිය හැකි අලස තැනැත්තකුට කිසිකලෙක ලිපිකරුවකු නො විය හැකි ය. ඊට වඩා උසස් තනතුරක් උසස් තත්ත්වයක් ලැබීමට නම් එයට වඩා දීර්ඝ කාලයක් වෙහෙසිය යුතු බව කියනු කිම? සතිපට්ඨාන භාවනාවෙහි ඵල වශයෙන් බලාපොරොත්තු විය යුතු වූ සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් එක් එක් ධර්මයක වටිනාකම ප්‍රමාණ කළ නො හැකි ය.
“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චෙන සෝතාපත්ති ඵලං වරං.”
යනුවෙන් තථාගතයන් වහන්සේ මුළු පොළොවට රජ වීමට ද වඩා ස්වර්ගයට යාමට ද වඩා දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ සකල ලෝක ධාතුවට අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුමැ යි වදාළ සේක.
සත්කායදෘෂ්ටිය නමැති අපාය බීජය අප්‍රහීණ භාවයෙන් සන්තානයෙහි පවත්නා වූ තැනැත්තේ සක්විති රජ ව සිටින්නේ ද දෙව්ලොව දෙව් රජ ව සිටින්නේ ද බඹ ලොව බඹරජ ව සිටින්නේ ද අතීතයෙහි කළ පව් ඇති බැවින් මතු නරකයට ගෙන යන්නට සිටින වරෙන්තු කාරයෙකි. ඔහු ගේ රජ සැපත ලිප මත සැළියේ සිටින කකුළුවා ලිප ගිනි මොලවන තෙක් දිය කෙළිමින් ලබන සතුට වැනි ය. එසේ අපායට යා හැකි ව සිටින පුද්ගලයා මතු අපායගාමී පව් නො කරන්නේ ද නො වේ. මෙය පෘථග්ජන සකල සත්ත්වයන් ගේ ම ස්වභාවය ය. ඔවුහු පිනින් ඔසවන ලදුව සමහර විට භවාග්‍රයට ද යති. එහෙත් නැවත එයින් ච්‍යුත ව අපායට ද යති. එ බැවින් කුමන සැපතක සිටියත් පෘථග්ජන තත්ත්වය ඉතා භයානක ය.
දිනක් තථාගතයන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිරෙන සේක්: ඊරියක දැක සිනා පහළ කළ සේක. එකල්හි ආනන්ද මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, කිනම් කරුණක් නිසා සිනහ පහළ කළ සේක් දැ” යි විචාළ සේක. තථාගතයන් වහන්සේ “ආනන්දය, අර ඊරිය දක්නෙහිදැ” යි විචාළ සේක. ආනන්ද මහ තෙරුන් වහන්සේ “එසේ ය, ස්වාමීනි” යි වදාළහ. තථාගතයන් වහන්සේ වදාරන සේක් “ආනන්දය, මේ ඊරිය කකුසඳ බුදුන් සමයෙහි එක් ආසන ශාලාවක් සමීපයේ කිකිළියක් ව විසුවා ය. ඈ එහි හිඳ විදර්ශනා කර්මස්ථානය සජ්ඣායනා කළා වූ එක් යෝගාවචරයකු ගේ දහම් හඬට ඇහුම්කන් දී ඒ පිනෙන් එයින් ච්‍යුත ව උබ්බරී නම් රාජකුමාරිකාවක් වූවා ය. එක් දවසක් ඈ වැසිකිළි වළෙක පණ රැසක් දැක පුළවක සංඥාව වඩා ප්‍රථමධ්‍යානය ලබා ඒ පිනෙන් එයින් ච්‍යුත ව බ්‍රහ්මලෝකයෙහි උපන්නා ය. බ්‍රහ්ම සම්පත්තියෙන් පිරිහී දන් ඈ ඊරියක් ව සිටින්නී ය. මේ කාරණය දැක සිනා පහළ කෙළෙමි” යි වදාළ සේක.
මෙසේ සැපයට පැමිණියත් එයින් පිරිහී නැවත දුකට පත් වන බව පෘථග්ජන ස්වභාවය ය. සාමාන්‍ය පෘථග්ජන සත්ත්වයන් තබා ලොවුතුරු බුදුබවට නියතවිවරණ ලබා සිටින මහ බෝසත්හු පවා වරින් වර උස් පහත් බවට පත්වන්නාහ. අප මහ බෝසතාණෝ විසි වසක් රජකම් කොට අසූදහසක් අවුරුදු නරකයෙහි පැසුණු බව තේමිය ජාතකයෙහි දක්වා තිබේ. කරුණු මෙසේ හෙයින් සත්කාය දෘෂ්ටිය නමැති අපාය බීජය ඇතිව විසීම ඉතා භයානක බව දත යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි අනලසව යෙදී සත්කාය දෘෂ්ටිය නමැති අපාය බීජය ප්‍රහාණය කොට සෝවාන් ඵලයට පැමිණිය හොත් ඒ තැනැත්තේ නැවත කිසි කලෙක අපායට නො පැමිණෙන්නේ ය. ඒ තැනැත්තා නැවත අපායෝත්පත්තියට හේතු වන පව් කම් ද නො කරන්නේ ය.
සක්විති රජ ව සිටියත් සෝවාන් නො වන තැනැත්තාට අපායෙහි වැටෙන්නට සිදු වන වාර ප්‍රමාණ නො කළ හැකි ය. එ බැවින් අපායෝත්පත්තියෙන් සත්ත්වයා සම්පූර්ණයෙන් ම මුදවන සෝවාන් ඵලය සක්විති රජකම් එකකට නොව දහසකට දසදහසකට ලක්ෂයකට කෝටියකට ද වඩා අගනේ ය. එ පමණ වටිනාකම ඇති එපමණ උසස් ඒ සෝවාන් ඵලය නිකම් ම ලැබිය හැකි නො වේ. එය ලැබීමට එයට සෑහෙන උත්සාහයක් තිබිය යුතු ය. සම්‍යක් ප්‍රධාන ය යි කියනුයේ සතරමාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට ඒවා ලැබීමට ප්‍රමාණ වන බලවත් වීර්‍ය්‍යයට ය.
සත්පුරුෂ සේවනය සද්ධර්ම ශ්‍රවණාදියෙන් උත්සාහවත් වී නිවන් දකිනු රිසියෙන් සතිපට්ඨාන භාවනාවට පටන් ගත්තා වූ තැනැත්තාට එය කර ගෙන යාමට අමාරු වන නොයෙක් කරදර පැමිණෙන්නේ ය. රිසි සේ ආහාර පාන නො ලැබීමෙන් සමහර විට ඔහු ගේ ශරීරය දුබල වන්නේ ය. සමහර විට රෝග හට ගැනෙන්නේ ය. අඹු දරුවන් ඇතියකුට නම් ඔවුන් ගෙන් කරදර ඇති වන්නේ ය. දේපල ඇතියකුට නම් ඒවායින් කරදර ඇති වන්නේ ය. නෑයන්ගෙන් කරදර ඇති වන්නේ ය. දිළිඳු බව නිසා කරදර ඇති වන්නේ ය. සතුරු උවදුරු පැමිණෙන්නේ ය. සතුරන්ගෙන් උවදුරු පැමිණෙන්නේ ය. පස්කම් සුව විඳිනා අන්‍යයන් දැකීමෙන් සමහර විට කාම විතර්ක ද පහළ වන්නේ ය.
ඇතැම් කරුණු සම්බන්ධයෙන් ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ද පහළ වන්නේ ය. මේවා නිසා යෝගාවචරයාට ඒවා ගැන ව්‍යාවෘත වීමට කාලය ගැනීමට භාවනාව අඩු කරන්නට හෝ තාවකාලික වශයෙන් නවත්වන්නට හෝ සම්පූර්ණයෙන් ම නවත්වන්නට හෝ සිදු වන්නේ ය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීම දක්වා යටත් පිරිසෙයින් ලෞකික ධ්‍යානයකට හෝ පැමිණීම දක්වා සතිපට්ඨාන භාවනාවෙහි යෙදිය හැකි වීමට සතිපට්ඨාන භාවනාවෙන් නො පිරිහීමට ඉහත කී කරුණු සියල්ල ඉසිලීමටත් සමත් වන ප්‍රබල වීර්‍ය්‍යයක් තිබිය යුතු ය. සම්‍යක් ප්‍රධාන යනු ඒ බලවත් වීර්‍ය්‍යයට කියන නම ය.
“කාමං තවො ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු. උපසුස්සතු සරීරෙ මංස ලෝහිතං යං තං පුරිසථාමෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපත්වා විරියස්ස සණ්ඨානං භවිස්සති.”
යනුවෙන් දැක්වෙන පරිදි “සමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ලෝකෝත්තර ධර්මයකට පැමිණිය යුතු ද එයට නො පැමිණ කිනම් කරුණක් නිසා වත් වීර්‍ය්‍යය ලිහිල් නො කරමි ය, භාවනාව නො නවත්වමි ය” යි පවත්වන චතුරංග සමන්වාගත වීර්‍ය්‍යය මෙහි අදහස් කරන සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය ය. අතීත භව බොහෝ ගණනක දී පුරන ලද පාරමිතා කුශල බලයෙන් උද්ඝටිතඥ විපඤ්චිතඥ භාවයට පැමිණ සිටි පුද්ගලයෝ බුද්ධකාලයේ දී ද, එයට සමීප කාලයේදී ද, දහම් අසා මඟ පල ලබා ගත්තෝ ය. දැනට ඉතිරි ව සිටින්නේ බණ ඇසීම පමණින් නිවන් දැකිය නොහෙන නෙය්‍ය පුද්ගලයන් ය. කියන ලද චතුරංග සමන්වාගත වීර්‍ය්‍ය වුවමනා ඔවුන්ට ය. නෙය්‍ය පුද්ගලයන් මඟපල ලැබීමට බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත ව බොහෝ කලක් භාවනාවෙහි යෙදිය යුතු ය.
“මඟ පල ලැබිය හැකි කාලය දැන් පසු වෙලා ය. ඒ නිසා මේ කාලයේ ලෝකෝත්තර ධර්මවලට නො පැමිණිය හැකිය” යි බොහෝ දෙනා කියතත් සත්‍යය නම් මෙ කල තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද සීමාව තෙක් වීර්‍ය්‍ය කරන අය නැති කමින් ලෝකෝත්තර ධර්මයන්ට පැමිණ සිටින අය දක්නට නැති බව ය. ඒ ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට කරන වීර්‍ය්‍යය පිළිබඳ ව තථාගතයන් වහන්සේ ගේ සීමාව නම් ලේ මස් වියළී ගොස් සම් නහර ඇට පමණක් ඉතිරි වුවත් නො නවත්වා ම ජීවිතාන්තය දක්වා භාවනාවෙහි යෙදීම ය. කාලයේ වරදින් මඟ පල නොලැබිය හැකිය යි නිශ්චය කළ යුත්තේ දෙතුන් සිය දෙනකුන්වත් තථාගතයන් වහන්සේ විසින් තැබූ සීමාව තෙක් වීර්‍ය්‍ය කොට කාහටවත් මඟ පලවලට පැමිණිය හැකි නුවුව හොත් පමණෙකි.
මේ ශාසනයෙහි මඟ පල ලැබිය හැක්කේ අසවල් කාලය දක්වා ය, ඉන් ඔබ්බට නො ලැබිය හැකි ය කියන බුද්ධදේශනයක් පිටකත්‍රයෙහි කොතනකවත් දක්නට නැත. මඟ ඵල ලැබෙන නො ලැබෙන කාල පරිච්ඡේදයක් ඇත්නම් එය මේ බුදුසස්නෙහි ඉතා වැදගත් කරුණෙකි. අපමණ කරුණු අන්තර්ගත විශාල පිටකත්‍රයෙහි බෞඬයන් විසින් අවශ්‍යයෙන් ම දැන සිටිය යුතු වූ ඒ කරුණ සඳහන් නො වන්නට හේතුවක් නැත. පිටකත්‍රයෙහි එය සඳහන් නොවන්නේ මඟපල ලැබීමේ කාල සීමාවක් නැති නිසා ය. බුදුන් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහි සුභද්‍ර පරිබ්‍රාජකයා හට “ඉමෙ ච සුභද්ද, භික්ඛු සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤො ලොකෙ අරහන්තෙහි අස්ස” යි “සුභද්‍රය මේ භික්ෂූහු මනා කොට වාසය කෙරෙත් නම් ලොව රහතුන් ගෙන් සිස් නොවේය” යි වදාළ සේක. එයින් පෙනෙන්නේ මැනවින් පිළිවෙත් පුරත හොත් කවදාත් රහත් විය හැකි බව ය.
අතීතයේ නිවන් දුටු සැම දෙන ම පහසුවෙන් නිවන් දුටුවාහු නො වෙති. චක්ඛුපාල තෙරුන් වහන්සේ රහත් වූයේ ඇස් අන්ධ වන තුරු නො නිදා භාවනාවෙහි යෙදීමෙනි. පීති මල්ල තෙරුන් වහන්සේ රහත් වූයේ පයින් සක්මන් කොට එසේ කරන්නට නුපුළුවන් වූ කල්හි දණින් ද සක්මන් කරමින් වීර්‍ය්‍ය කිරීමෙනි. රාත්‍රි කාලයේ දණ ගාන්නා වූ උන්වහන්සේ මුවෙකැයිසිතා එක් රාත්‍රියක දී වැද්දෙක් සැත් පහරක් ගැසීය. සැත උන් වහන්සේගේ ශරීරයේ කා වැදිණ. උන් වහන්සේ එය ගල්වා දමවා එයට ප්‍රතිකර කරන්නට නො ගොස් තුවාලය තණකොළ වැටියකින් වස්වා ගෙන ගල් තලයක් මත හිඳුවා ගෙන ජීවිතාපේක්ෂාව හැර භාවනාව ම කර ඒ රාත්‍රියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූහ.
මිලක්ඛ තෙරුන් වහන්සේ නිදිමත වන කල්හි පා දියෙහි ලාගෙන ද පිදුරු බිසි තෙමා හිස මත තබා ගෙන ද නො නිදා භාවනා කොට අනාගාමි ඵලයට පැමිණිය හ. මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ රහත් වූයේ විසි වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කිරීමෙනි. කාලවල්ලි මණ්ඩපයේ විසූ මහානාග තෙරුන් වහන්සේට සත් වසක් නො නිදා උත්සාහ කොට ද රහත් වන්නට නුපුළුවන් විය. පසු ව උන් වහන්සේ රහත් වූයේ තවත් සොළොස් වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කිරීමෙනි.
සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය ඇති කර ගෙන ඉහත කී තෙරුන් වහන්සේලා මෙන් උත්සාහ කළහොත් ඔබට ද මේ ජාතියේ දී යටත් පිරිසෙයින් සෝවාන් ඵලයට වත් පැමිණෙන්නට පුළුවන් විය හැකි ය. උපන් කෙනකුට කවර ආකාරයකින් වත් නො මැරී නො සිටිය හැකි ය. කිනම් ආකාරයකින් හෝ මැරෙන්නට වන ඔබට, ධර්ම මාර්ගයේ ගමන් කොට මැරෙන්නට වුවහොත් එය අනිකකින් මරණයට පැමිණෙනවාට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උතුම් ය. ඒ නිසා කෙලෙසුන් නැසීමට වීර්‍ය්‍ය කරන්නට බිය නො වන්න. දුෂ්කර ක්‍රියා කරන්නා වූ මහබෝසතාණන් වහන්සේට මාරයා අවුත් මහත් කරුණාවක් දක්වා “මේ දුෂ්කර ක්‍රියාවෙන් නො මැරී දිවි රැක ගනුව” යි අනුශාසනා කළේ ය.
මහබෝසතාණන් වහන්සේ “සංගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවෙ පරාජිතො” යි “කෙලෙස් සතුරන් හා කරන මේ සංග්‍රාමයෙන් පැරද ජීවත් වෙනවාට වඩා මේ සංග්‍රාමයෙන් මිය යාම ම යෙහෙකැ” යි වදාළ සේක. ඔබ ද එය මෙනෙහි කරනු. මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ මෙන් විසි වසක් භාවනාවෙහි යෙදුණ හොත් මේ ජාතියේ දී ලෝකෝත්තර ගුණයක් ලැබිය නො හැකි වූයේ ද දීර්ඝ කාලයක් භාවනා කිරීමෙන් ලබන ඒ භාවනාමය පුණ්‍යස්කන්ධය ඉතා මහත් බැවින් ද ඉතා බලවත් බැවින් ද ඔබට ඒ පින් බෙලෙන් සුගතිවල ම උපදින්නට ලැබී උද්ඝටිතඥ හෝ විපඤ්චිතඥ හෝ පුද්ගලයකු වී මතු බුදු කෙනකුන්ගේ සස්නකදී පහසුවෙන් නිවන් දැකිය හැකි වන්නේ ය.
සම්‍යක් ප්‍රධානය සාමාන්‍යයෙන් එකක් වුව ද එයින් සිදු කරන කෘත්‍යයන් ගේ වශයෙන් එය සිවු වැදෑරුම් වේ.
- නූපන් අකුසල් නූපදනු පිණිස කරන වීර්‍ය්‍ය ය.
- උපන් අකුසල් ප්‍රහාණය පිණිස කරන වීර්‍ය්‍ය ය.
- නූපන් කුසල් ඉපදීම සඳහා කරන වීයර්‍ය ය.
- උපන් කුසල්වල දියුණුව සඳහා කරන වීර්‍ය්‍ය ය.
යන මොවුහු සම්‍යක් ප්‍රධානයෝ සතර දෙන ය.
එළඹ තිබෙන මොහොතින් ඔබ වර්තමාන භවයෙහි ද අනාගත භව පරම්පරාවෙහි ද රූපාදි ආරම්මණයන් නිසා සත්ත්ව සන්තානයෙහි ඇති විය හැකි රාගාදි ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන්ගේ බලවත් වීම නිසා පෙරෙළිය නිසා සත්ත්වයා හට කරන්නට සිදු වන ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවෝ ද නූපන් අකුශලයෝ ය. විදසුන් වඩා සෝවාන් ඵලයට නො පැමිණි සත්කාය දෘෂ්ටිය අප්‍රහීණ පුද්ගලයා හට ඉදිරියට වර්තමාන භවයේදී ද අනාගත භව පරම්පරාවෙහිදී ද අපායෝත්පත්තියට හේතු වන අප්‍රමාණ අකුශල කර්ම සිදු විය හැකි ය. සත්කායදෘෂ්ටිය අප්‍රහීණ තැනැත්තා කවර තත්ත්වයක සිටියේ ද මතු පව් නො කිරීම පිළිබඳ ස්ථිර නියමයක් ඇතියෙක් නො වේ.
අද මහ සිල්වතකු ව උග්‍රයෝගියකුව සිටින පෘථග්ජන පුද්ගලයා සමහර විට හෙට පස්කම් සැප විඳිමින් පව්කම් කරන්නකු විය හැකි ය. සිල්වතකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දකු සිවුරු හැර ගියහොත් අන් වරදක් කරනු දුටුවොත් ඇසුව හොත් අපේ බෞඬයෝ එයට කලබල වෙති. බුද්ධාගමත් අත් හරින තරමට සිතති. සැම පැවිද්දන්ට ම ගර්හා කරති. එය ආගම නො දැනීම නිසා වන කලබලයකි. පෘථග්ජනයකුට අනාගත සංසාරයේ තමා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුව ද වරදින් මිදී වාසය කරන්නට ලද හොත් පුදුම විය යුක්ත එය ය. බැරි වීම පුදුමයක් නො වේ. එය පෘථග්ජන ස්වභාවය ය. පැවිදිව භාවනා කොට ධ්‍යානාභිඥා ලබා අහසින් ගමන් කරමින් සිටියා වූ ඇතැම් අය පවා ඒ සියල්ලෙන් පිරිහී නැවත ගිහි බවට පැමිණ තිබේ.
අතීතයේ රහතන් වහන්සේ කෙනකුගේ අතවැසි වූ අභිඥාලාභී සාමණේර නමක් විය. දිනක් රහතන් වහන්සේ මහත් ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වඳිනු දැක සාමණේර තෙමේ “ස්වාමීනි, මල් ලදහොත් පුදන්නහුදැ”යි ඇසී ය. “සාමණේරය, මෙපමණ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අන් තැනක් නැත. මල් ලද හොත් මේ අසදෘශ චෛත්‍යරාජයන් වහන්සේට කවරෙක් නො පුදාදැ” යි රහතන් වහන්සේ කීහ. සාමණේරයෝ රහතන් වහන්සේට “මඳකට ඉවසන සේක්වා” යි කියා ධ්‍යානයට සම වැදී අහසින් හිමාලය වනයට ගොස් මනා සුවඳින් හා පැහැයෙන් යුක්ත වූ මල් නෙළා පෙරහන් කඩයෙහි පුරවා මහසෑය පැදකුණු කරන මහරහතන් වහන්සේ මහසෑයේ දකුණු දිග සිට බස්නාහිර දිගට යන්නට ද කලින් ගෙනවුත් පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ “සාමණේරය, මල් ඉතා මඳ නො වේදැ” යි කීහ. ස්වාමීනි, බුදුගුණ මෙනෙහි කරමින් පුදන සේක්වා” යි සාමණේරයෝ කීහ.
රහතන් වහන්සේ මුදුන් වේදිකාවට නැඟ සෑය වටා මල් පිදූහ. වේදිකාව මලින් පිරිණ. එහෙත් පෙරහන සිස් නො වීය. දෙවන තුන්වන වේදිකාවල ද මල් පිදූහ. ඒවා ද පිරිණ. පෙරහණෙහි තවත් මල් තිබිණ. තෙරුන් වහන්සේ සෑ මලුයෙහි මල් විසුරුවන්නට පටන් ගත්හ. එද පිරිණ, පෙරහන සිස් නො වීය. “සාමණේරය, මල් අවසන් නො වන්නේ ය” යි රහතන් වහන්සේ කීහ. “ස්වාමීනි, පෙරහනෙහි මුව යටිකුරු කොට සලනු මැනව” යි සාමණේරයෝ කීහ. එසේ කළ කල්හි පෙරහන සිස් විය. රහතන් වහන්සේ පෙරහන සාමණේරයන්ට දී වැලි මලුවට බැස ඇත්පවුර වටා පැදකුණු කොට වැඳ පෙරළා වඩනා සේක්, සාමණේරයන්ට මේ සෘද්ධිය රැක ගත හැකි වේ දැ යි බලනා සේක් නො හැකි වන බව දැක, “සාමණේරය, දැන් තෙපි මහා සෘද්ධි ඇත්තාහු ය. මතු කාලයෙහි තොපට මේ සෘද්ධියෙන් පිරිහී කණ ගැහැනියක් පිස දෙන කැඳ බී ජීවත් වන්නට සිදු වන්නේ ය” යි වදාළ හ. එසේ වදාළ කල්හි ද සාමණේර තෙමේ තෙරුන් වහන්සේ ගෙන් කමටහන් ලබා ගෙන මඟ පල ලැබීමට උත්සාහ නො කෙළේ ය.
පසු කාලයේ දී ඒ සාමණේර නම අහසින් යනුයේ විලෙක ගී ගයමින් මල් නෙළන කතක ගේ හඬ අසා රාගය ඇවිස්සී ධ්‍යානයෙන් පිරිහී සිවුරු හැර ඇය හා වාසය කරන්නට පටන් ගත්තේ ය. ඔහු ජීවත් වූයේ රෙදි විවීමෙනි. දිනක් ඔහුගේ බිරිඳ ඉතා දවල් වී රෙදි වියන තැනට ආහාර ගෙන ආවා ය. හේ කිපී භාර්‍ය්‍යාවට සැර කෙළේ ය. එකල්හි බිරිඳ කියන්නී “අන් ගෙවල සහල් දර දුරු මිරිස් ආදිය ඇත්තේ ය. අඩු පාඩු දේ ගෙනැවිත් දෙන අය ද ඇත හ. අපගේ ගෙදර සේවකයෙක් ද නැත. ගෙදර ඇති නැති දේ ගැන ද ඔබ නො දන්නෙහි ය. ඔබ නිකම් ම සැර කරන්න පමණක් දන්නෙහි ය. බත් කනු කැමති නම් කන්න, නො කැමති නම් නිකම් සිටින්නය” යි කීවා ය. එයින් හේ වඩාත් කිපී නූල් ඔතන දණ්ඩක් ගෙන භාර්‍ය්‍යාව දෙසට දමා ගැසී ය. එය කොනක් හුල් දණ්ඩකි. ඒ හුල වැදී භාර්‍ය්‍යාවගේ ඇසක් අන්ධ විය. ඔහුට රහතන් වහන්සේ ගේ අනුශාසනය සිහි වූයේ එවිට ය.
එදා රහතන් වහන්සේ අනාවැකිය පැවසූ අවස්ථාවෙහි උන් වහන්සේ ගෙන් කමටහන් විචාරා උත්සාහ කෙළේ නම්, මේ සාමණේරයා හට මඟ ඵල ලබා පව් නො කිරීමේ නියත පුද්ගලයකු වන්නට තිබිණ. ඔහුට මේ පිරිහීම වූයේ එයට වීර්‍ය්‍ය නො කළ බැවිනි. ඒ නමට මෙන් පෘථග්ජන කාහට වුව ද එසේ විය හැකි ය. එ බැවින් පෘථග්ජන භාවයෙන් නො මිදී මම මහ උපාසකයෙක, උගතෙක, හික්මුණු කෙනෙක, පැවිද්දෙක, ආරණ්‍යකයෙක, පිණ්ඩපාතිකයෙක, ධ්‍යානලාභියෙක, මහල්ලෙක කියා මතු කෙලෙස් ඇති නො වීම ගැන මතු පව් නො කිරීම ගැන විශ්වාසය තබ නො සිටිය යුතු ය. සතිපට්ඨානයන් වඩා යටත් පිරිසෙයින් සෝවාන් මඟට වත් පැමිණීමට වීර්‍ය්‍ය කළ යුතු ය. එය නූපන් පාපයන් ඇති නො වීම සඳහා කරන වීර්‍ය්‍යය ය.
මුලක් නැත්තා වූ මේ සසර ඉතා දික් බැවින් කවරකු ගැන කථා කළත් ඔහු අතින් අතීතයේ සිදු වී තිබෙන පව් මෙතෙකැ යි ප්‍රමාණ කළ හැකි නො වේ. මොහු අතීත සංසාරයේ අසවල් පාපය කර නැත ය කියා ද කිසිවකු ගැන නො කිය හැකි ය. එක් එක් අයෙකු විසින් අතීතයේ කර තිබෙන ඒ පව් රාශියෙන් එක්තරා කොටසක් විපාක දී අවසන් වීමෙන් ගෙවී තිබේ. එක්තරා කොටසක් විපාක දෙන කාලය ඉක්මීමෙන් අහෝසි වී තිබේ. මෙතෙක් විපාක නො දුන්නා වූ ද කාලය ඉක්මීමෙන් අවිපාක භාවයට නො පැමිණියා වූ ද අනාගතයේ විපාක දානයට තැනක් එනතුරු අවස්ථාවක් එන තුරු බලා සිටින්නා වූ විශාල අකුශල කර්ම රාශියක් ද ඇත්තේ ය. අනාගතයේ කිසිම අකුශල කර්මයක් නො කළත් එක් අයකුට ඇත්තා වූ ඒ අතීත අකුසල කර්ම රාශිය ම ඒ පුද්ගලයා අනන්ත වාරයක් නරකයට පැමිණ වීමට ප්‍රේතත්වයට පැමිණවීමට තිරශ්චීනත්වයට පැමිණවීමට ප්‍රමාණවත් ය.
එ බැවින් ඒ අතීත අකුශලස්කන්ධය ප්‍රහාණය නො කොට නැති කර නො ගෙන විසීම ඉතා භයානක ය. එය නැති කර ගැනීමට කිනම් පරිත්‍යාගයක් කොට වුව ද උත්සාහ කළ යුතු ය.
අතීත වූ අපාය ගාමිනී කර්මයන්ට සත්ත්වයා අපායට පැමිණවිය හැකි වන්නේ ඔහු තුළ සත්කාය දෘෂ්ටිය පවත්නා තෙක් පමණෙකි. සත්කාය දෘෂ්ටිය ගේ අනුත්පාද නිරෝධය අනුව අපායගාමිනී කර්මයෝ ද ක්ෂය වෙති. සසර සැරිසරන සත්ත්වයාට ඇත්තා වූ මහා භය නම් අපාය භය ය. නැති නම් සසර එතරම් නපුරු නොවේ. සත්කාය දෘෂ්ටිය ප්‍රහාණය කළ සෝවාන් පුද්ගලයාට ඒ නපුර නැත්තේ ය. ඔහුට ඉදිරියට ඇත්තේ මනුෂ්‍ය දේව බ්‍රහ්ම සංඛ්‍යාත සුගති භව පමණෙකි. අපාය ගාමිනී කර්ම පවත්නේ සත්කාය දෘෂ්ටියෙහි එල්බ ගෙන ය. ඒ සත්කාය දෘෂ්ටිය නැසීමට කළ යුතු දෙය සතිපට්ඨාන භාවනාව ය. සත්කාය දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා කරන උත්සාහය, නූපන් පාපයන් ඇති නො වීම පිණිස කරන උත්සාහය ද, උපන් පාපයන් නැති කිරීම සඳහා කරන උත්සාහය ද වේ. නූපන් පාපයන් ඇති වන්නට නො දීමටත් උපන් පාපයන් නැති කිරීමටත් සතිපට්ඨාන භාවනාව හැර අන් කළ යුත්තක් නැත.
ප්‍රථම ද්විතීය සම්‍යක් ප්‍රධාන දෙක වර්තමාන භවයාගේ වශයෙන් කියත හොත් මෙසේ ය. වර්තමාන භවයෙහි තමාගේ සන්තානයෙහි පරියුට්ඨාන වශයෙන් එතෙක් නූපන්නා වූ ක්ලේශයෝ ද තමා අතින් එතෙක් සිදු නො වූ ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවෝ ද අනුප්පන්න පාපයෝ ය. අනුශය වශයෙන් පවත්නා ක්ලේශයන් ඇති තැනැත්තා ගේ සන්තානයෙහි ඒවාට කවර අවස්ථාවක වුව ද නැඟ එන්නට ඉඩ ඇත්තේ ය. කෙලෙස් සහිත තැනැත්තා අතින් පව්කම් ද සිදු විය හැකි ය. මම ඒ ක්ලේශයන් ප්‍රහාණ කොට සිටින්නෙම් නො වෙමිය. කෙලෙස් සහිත ව විසුව හොත් මේ භවයෙහි පාපයෙන් වැළකුණත් අනාගත භවවල දී නො වැළකිය හැකි ය. මා විසින් මෙතැන් පටන් නිවනට පැමිණෙන තෙක් ඒ අනුප්පන්න පාපයන් මාගේ සන්තානයෙහි ඇති නොවනු පිණිස ක්‍රියා කළ යුතු ය යි සලකා අනුත්පන්න පාපයන් නූපදනා පිණිස ශීල පූරණයෙහි ද සතිපට්ඨාන භාවනාවෙහි ද යෙදීම් වශයෙන් පවත්වන්නා වූ බලවත් වීර්‍ය්‍යය නූපන් අකුසලයන් නූපදනා පිණිස පවත්වන වීර්‍ය්‍යය වූ ප්‍රථම සම්‍යක් ප්‍රධානය ය.
වර්තමාන භවයෙහි අතීතයෙහි තමා ගේ සන්තානයෙහි පරියුට්ඨාන භාවයට පැමිණියා වූ ක්ලේශයෝ ද, ඒ ක්ලේශයන් නිසා කරන්නට සිදු වූ ප්‍රාණඝාතාදි පාපයෝ ද උත්පන්න පාප යෝ ය. “මාගේ සන්තානයෙහි මේ පාපයන්ට මතු මතුවටත් මෙසේ ඇති වන්නට ඉඩ දුන හොත් මට අපායෙන් මිදීමට ද නො වන්නේ ය. සසර දුකින් මිදීමක් ද නො වන්නේ ය. මේ පාපයන් මාගේ සන්තානයෙහි නැවත නැවත ඇති වන්නේ අනුශයිත ක්ලේශයන් නිසා ය. මතු ඒ පව් මාගේ සන්තානයෙහි ඇති වන්නට ඉඩ නො දිය යුතුය” යි සලකා ඒ අනුශයිත ක්ලේශයන් සහමුලින් උපුටා ලීම පිණිස ශීලපූරණයෙහි ද ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහි ද, නො පසු බස්නා වූ ද බලාපොරොත්තුව මුදුන් පත් වන තුරු නො නවත්නා වූ ද, බලවත් වීර්‍ය්‍යය, උපන් පාපයන් ප්‍රහාණය කිරීම පිළිබඳ වීර්‍ය්‍යය වූ දෙවන සම්‍යක් ප්‍රධානය ය.
මේ සම්‍යක් ප්‍රධාන කථාවෙහි කුශල විභාගය ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවගේ වශයෙන් ද ශීලවිශුද්ධ්‍යාදි සප්ත විශුද්ධීන් ගේ වශයෙන් ද විස්තර කළ යුතු ය. ඒවායේ අනුත්පන්නෝත්පන්න විභාගය වර්තමාන භවයාගේ වශයෙන් ද සංසාරයා ගේ වශයෙන් ද විස්තර කළ හැකි ය.
ශීලය ද ලෞකික ශීල - ලෝකෝත්තර ශීල වශයෙන් දෙ වැදෑරුම් වේ. පෘථග්ජන පුද්ගලයා හට වර්තමාන භවයා ගේ වශයෙන් කියතත් සංසාරයාගේ වශයෙන් කියතත් ලෝකෝත්තර ශීලය නූපන් කුශලයක් ම ය. පඤ්චශීල අෂ්ටාංගශීල දශශීල සාමනේරශීල උපසම්පදා ශීල යන මේවා ලෞකික ශීලයෝ ය. සංසාරය අති දීර්ඝ බැවින් අතීත සංසාරයා ගේ වශයෙන් කියත හොත් සැම සත්ත්වයකුට ම ඒ ලෞකික ශීල උත්පන්න කුසලයන් සැටියට කිය යුතු ය. වර්තමාන භවයා ගේ වශයෙන් කියත හොත් එතෙක් කිසි ශීලයක නො පිහිටි තැනැත්තා හට සකල ශීලයෝ ම අනුත්පන්න කුශලයෝ ය. පඤ්ච ශීලයෙහි පිහිටි තැනැත්තා හට එය උත්පන්න කුශලය වේ. ඉතිරි ශීලයෝ අනුත්පන්න ශීලයෝ ය. අෂ්ටාංගික ශීලයෙහි පිහිටි තැනැත්තා හට පඤ්චශීලය ද අෂ්ටාංග ශීලය තුළ ඇති බැවින් පඤ්චශීල අෂ්ටාංගශීල දෙක උත්පන්න කුශලයෝ ය. ඉතිරි ශීලයෝ අනුත්පන්න ශීලයෝ ය. පඤ්චශීලාදි සකල ශීලයෝ උපසම්පදා ශීලය තුළ ඇත්තාහු ය. එ බැවින් උපසම්පදා ශීලයෙහි පිහිටි තැනැත්තා හට සකල ලෞකික ශීලයෝ ම උත්පන්න කුශලයෝ වෙති.
ලෝකෝත්තර මාර්ගයට අයත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍රය ලෝකෝත්තර ශීලය ය. ලෞකික ශීලයෙහි ස්ථිරත්වයක් නැත. හොඳ හපනකුට වුව ද එය පැවැත්විය හැක්කේ එක් භවයක දී පමණෙකි. එය දෙවන භවයට නො යන්නේ ය. ලෝකෝත්තර ශීලය නිවනට පැමිණීම තෙක් ස්ථිර ව පවත්නේ ය. ලෝකෝත්තර ශීලයෙහි පිහිටි තැනැත්තා මතු කිසි කලෙක කොහි උපන්නත් දුශ්ශිලයෙක් නො වන්නේ ය. ලෝකෝත්තර මාර්ගයෙහි වූ සම්මා වාචාවෙන් වාග් දුශ්චරිතයන්ට හේතු වන ක්ලේශයන් හා වාග් දුශ්චරිතයෝ මතු ඒ සන්තානයෙහි නූපදනා පරිදි ප්‍රහාණය කරනු ලැබෙත්. සම්මා කම්මන්ත මාර්ගාංගයෙන් කාය දුශ්චරිතයට හේතු වන ක්ලේශයන් හා කාය දුශ්චරිතයෝ මතු නූපදනා පරිදි ප්‍රහාණය කරනු ලැබෙත්. සම්මා ආජීව මාර්ගාංගයෙන් මිථ්‍යාජීවයට හේතු වන ක්ලේශයන් හා දිවි පැවැත්ම සඳහා කරන අකුශල කායවාක් කර්මයෝ මතු ඒ සන්තානයෙහි නූපදනා පරිදි ප්‍රහාණය කරනු ලැබෙත්.
සමාධිය ද ලෞකික ය, ලෝකෝත්තරය යි දෙ වැදෑරුම් වේ. එයින් ලෞකික සමාධිය, කාමාවචර සමාධියය, රූපාවචර සමාධිය ය, අරූපාවචර සමාධිය ය යි තෙවැදෑරුම් වේ. පරිකර්ම සමාධි උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් ද සමාධිය තෙ වැදෑරුම් වේ. පරිකර්‍ම සමාධිය යනු යම් කිසි භාවනාවෙක යෙදෙන්නහුට ආදියෙහි ඇති වන සමාධිය ය. උපචාර සමාධිය යනු රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සමාධීන්ට ආසන්න වූ බලවත් සමාධිය ය. පරිකර්ම උපචාර සමාධි දෙක කාමාවචර සමාධි ය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සමාධීහු අර්පණා සමාධි නම් වෙති. පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර සමාධිය අනුත්පන්න සමාධියෙකි.
අතීත සංසාරයාගේ වශයෙන් කියත හොත් අතිදීර්ඝ වූ මේ සංසාරයෙහි අසවලා අසවල් සමාධිය උපදවා නැතය යි කිය හැකි ලෞකික සමාධියක් නැත්තේ ය. කල්ප විනාශයේ දී සත්ත්වයෝ ධ්‍යාන උපදවා රූපාරූප බ්‍රහ්මලෝකවලට යෙති. එ බැවින් සකල ලෞකික සමාධීහු ම අතීත සංසාරයා ගේ වශයෙන් කියන කල්හි සකල සත්ත්වයනට උත්පන්න සමාධි හැටියට කිය යුත්තාහු ය. වර්තමාන භවයා ගේ වශයෙන් කියත හොත් කිසි ම භාවනාවකට නො බව පුද්ගලයා හට සකල සමාධි කුශලයෝ ම අනුත්පන්න කුශලයෝ ය. අනාපාන භාවනාදි භාවනාවක් කරන තැනැත්තාට පරිකර්ම සමාධිය උත්පන්න කුශලයෙකි. උපචාරසමාධ්‍යාදීහු අනුත්පන්න සමාධීහුය. උපචාර සමාධිය ලැබුවහුට පරිකර්ම උපචාර සමාධි දෙක උප්පන්න කුශලයෝ ය. අර්පණා සමාධිය අනුත්පන්න කුශලය ය. අර්පණා සමාධිය ධ්‍යානයන් ගේ වශයෙන් බහු ප්‍රභේද වේ. ඒවායේ උත්පන්නානුත්පන්න විභාගය ද සැලකිය යුතු ය.
“යො ච සම්මා වායාමො, යා ච සම්මා සති, යො ච සම්මා සමාධි ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සංගහිතා” යනුවෙන් සමාධි ස්කන්ධයෙහි සංග්‍රහ වන බව වදාළ, සම්මාවායාම සම්මාසති සම්මා සමාධි යන ලෝකෝත්තර මාර්ගාංගයෝ තිදෙන ලෝකෝත්තර සමාධිය ය. එද පඨමජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය, දුතියජඣාන ලෝකෝත්තර සමාධිය ය, තතියජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය, චතුත්ථජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය, පඤ්චමජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය යන ක්‍රමයෙන් පඤ්චප්‍රකාර වේ.
ප්‍රඥාව ද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. ලෞකික ප්‍රඥාවෙහි ප්‍රභේද බොහෝ ය. කම්පල දන්නා නුවණ ය, පියවි ඇසට නො පෙනෙන දෑ දක්නා වූ දිබ්බචක්ඛු නම් වූ නුවණ ය. පියවි කනට නො ඇසෙන දෑ ඇසිය හැකි දිබ්බසෝත නම් වූ නුවණ ය, අනුන්ගේ සිත් දන්නා නුවණ ය, තමන්ගේ අතීත ජාති පිළිවෙල දන්නා නුවණ ය, අතීතානාගත දෙක දක්නා නුවණ ය, මරණින් මතු සත්ත්වයන් උපදින තැන දන්නා වූ නුවණ ය. ස්කන්ධාදි ධර්ම විභාග දන්නා නුවණ ය, ස්කන්ධාදි ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දන්නා නුවණ ය යන ආදීහු ලෞකික ප්‍රඥාවෝ ය.
සප්ත විශුද්ධීන්ගේ ශීලවිශුද්ධිය, ත්‍රිශික්ෂාවෙන් ශීල ශික්ෂාවට ද, චිත්තවිශුද්ධිය - සමාධි ශික්ෂාවට ද, ඉතිරි විශුද්ධි පස ප්‍රඥාශික්ෂාවට ද අයත් වේ. ඒවායින් දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ විසුද්ධි, මග්ගාමග්ගඥාණදස්සන විසුද්ධි, පටිපදාඤාණදස්සන විසුද්ධි යන මේ සතර ලෞකිකයෝ ය. ඤාණදස්සනවිසුද්ධිය ලෝකෝත්තර ය.
සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන ලෝකෝත්තර මාර්ගයන්හි ඇත්තා වූ සම්මාදිට්ඨි සම්මාසංකප්ප යන මාර්ගාංග ධර්මයෝ ලෝකෝත්තර ප්‍රඥාව ය.
අතීත සංසාරයාගේ වශයෙන් කියත හොත් මේ සත්ත්වයන්ට ලෞකික ප්‍රඥාවන්ගෙන් බොහෝවක් ම උපන් කුශලයන් හැටියට කිය යුතු ය. පෙර බුදු සසුන්වලදී විදසුන් වඩා දිට්ඨි විසුද්ධි කංඛාවිතරණ විසුද්ධි මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි පටිපදාඤාණදස්සන විසුද්ධීන් උපදවා ඇති අයට ඒවා ද උත්පන්න කුශලයෝ වෙති. අතීත ජාතිවල දී ඒවා නො වැඩුවන්ට ඒවා අනුත්පන්න කුශලයෝ ය. වර්තමාන භවයා ගේ වශයෙන් කියත හොත් කිසි ප්‍රඥාමය කුශලයක් නූපද වූ තැනැත්තාට සකල ප්‍රඥාමය කුශලයෝ ම අනුත්පන්නයෝ ය. යමකු විසින් යම් යම් ප්‍රඥාවක් උපදවන ලද ද ඒ ඒ අයට ඒවා උත්පන්න කුශලයෝ ය. සෙස්සෝ අනුත්පන්න කුශලයෝ ය. ලෝකෝත්තර කුශල ප්‍රඥාව පෘථග්ජන සැමට ම අනුත්පන්න කුශලයෙකි.
නූපන් කුශල් ඉපදවීම ය, උපන් කුසල් වැඩීම ය යන මේ දෙ කිස සිදු කිරීමෙන් නූපන් අකුසල් නූපදවීම ය, උපන් අකුසල් ප්‍රහාණය කිරීම ය යන මේ දෙ කිස ද සිදු වේ. ඒ දෙ කිස සිදු කිරීම් වශයෙන් කළ යුතු අනෙකක් නැත. ලෝභාදි ක්ලේශයන් ගේ අවස්ථා තුනක් ඇත්තේ ය. අනුශයාවස්ථාව ය, පරියුට්ඨානාවස්ථාව ය, ව්‍යතික්‍රමාණාවස්ථාව ය යන මොව්හු ක්ලේශයන් ගේ අවස්ථාවෝ ය. අනුශයාවස්ථාවය යනු උත්පාදාදි අවස්ථා තුනට පැමිණීම් වශයෙන් නැගී නො සිට කරුණක් ඇති වුව හොත් නැගී ආ හැකි සැටියට අප්‍රහීණ භාවයෙන් පවත්නා අවස්ථාව ය. ලෝකෝත්තර මාර්ගයෙන් මතු නූපදනා පරිදි කෙලෙස් පහ නො කළ කෙනකු වුව හොත් ඔහු කොතෙක් සිල්වතකු වුවත් උග්‍ර තපස් ඇතියකු වුවත් ධ්‍යාන ලබා අහසින් යන කෙනකු වුවත් අනුශය අවස්ථාවෙහි සිටින ක්ලේශයෝ ඔහු කෙරෙහි ඇත්තාහ.
නිදා සිටින්නා වූ ඒ ක්ලේශයන්ගේ චිත්ත සන්තානයට නැඟ නැඟ ඒම, ක්ලේශයන් ගේ දැඟලීම, කුශල ධර්මයන් බොහෝ කොට පුරුදු කරන්නවුන්ට මඳ ය. ඒවායේ නැගීමට හේතු වන අරමුණු ලැබ ද කුශලයන් වඩන්නන් ගේ සන්තානවල නොයෙක් විට ඒවා නො නැඟී ද සිටිති. ඉන්ද්‍රිය දමනයක් නැති කුශලධර්ම වැඩීමක් නැති තැනැත්තන්ගේ සන්තානවල ඒවා ලබන ලබන විෂභාගාරම්මණයක් පාසා ම නැගී එති. එබඳු පුද්ගලයන්ගේ සිත් කෙලෙසුන්ට කෙළිමඩුවකි. විෂභාගාරම්මණයන් ලැබ චිත්තසන්තානයෙහි උත්පාදාදි ක්ෂණත්‍රයට පැමිණීම් වශයෙන් කෙලෙසුන් ගේ නැඟී සිටින අවස්ථාවට පර්යුත්ථානාවස්ථාවය යි කියනු ලැබේ. පර්යුත්ථානාවස්ථාවට පැමිණි ක්ලේශය සමහර විට අන්‍ය පාපකර්මයක් සිදු නො කොට සන්සිඳී යයි. සමහර අවස්ථාවක දී පර්යුත්ථානමාත්‍රයෙන් නො නැවතී ප්‍රාණඝාතාදි පාපක්‍රියා ද කොට පුද්ගලයා දුසිල් බවට ද පමුණුවයි. පර්යුත්ථාන අවස්ථාවට පැමිණීම් මාත්‍රයෙන් නො නැවතී ඉන් ඔබ්බට ද ගොස් ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කරන්නා වූ ක්ලේශයන් ගේ අවස්ථා ව්‍යතික්‍රමණාවස්ථාවය.
ශීල සමාධි ප්‍රඥා යන තුනෙහි ශීල ශික්ෂාවෙන් ක්ලේශයන් ගේ ව්‍යතික්‍රමණ ප්‍රහාණය කරනු ලැබේ. ලෞකික සමාධියෙන් ක්ලේශයන්ගේ පර්යුත්ථාන ප්‍රහාණය කරනු ලැබේ. ලෞකික ප්‍රඥාවෙන් ක්ලේශයන් ගේ පර්යුත්ථාන ව්‍යතික්‍රමණ දෙක ම ප්‍රහාණය කරනු ලැබේ. ලෝකෝත්තර ශීල සමාධි ප්‍රඥා තුනෙන් ක්ලේශයන් ගේ අනුශය ප්‍රහාණය කරනු ලැබේ. අනුශයප්‍රහාණයට ලෞකික ශීලසමාධි ප්‍රඥාවෝ නො සමත් වෙති.
උපන් කුශල ධර්මයන් ගේ වැඩීම සිදු කළ යුත්තේ මෙසේ ය. ශීලයෙන් ක්ලේශයන්ගේ ව්‍යතික්‍රමණ ප්‍රහාණය කරනු ලැබේ යයි කීයේ වී නමුත් සෑම ශීලයක් ම සෑම ව්‍යතික්‍රමණයක් ම ප්‍රහාණය කිරීමට පොහොසත් නො වේ. මඳ ජලය මහත් වූ ගින්නට පැමිණ එය නිවීමට සමත් නො වී නැසෙන්නාක් මෙන්, දුබල වූ ශීලාධ්‍යාශය බලවත් ක්ලේශයා ගේ ව්‍යතික්‍රමණය වළක්වන්නට සමත් නො වී ක්ලේශය නිසා එය ම නැසෙන්නේ ය. දුබල ශීලාධ්‍යාශය නසා බලවත් ක්ලේශය ව්‍යතික්‍රමණාවස්ථාවට පැමිණේ. එයින් පුද්ගලයා දුශ්ශිල වේ. සිල් රැකීම නිසා වන පීඩාවලින් මේ “ශරීරයේ සමත් නහර ටිකත් ඇට ටිකත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, කුමක් සිදු වුවත් ශීලය නො බිඳිමි ය” යන බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත ශීලාධ්‍යාශය කෙලෙසුන්ට නො බිඳිය හැකි ය. නො පැරදවිය හැකි ය. ක්ලේශයන් විසින් නො පැරදවිය හැකි වන පරිදි ශීලාධ්‍යාශය බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත කර ගැනීම උපන් ශීලමය කුශලය වැඩීම ය.
බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත කරගත් ශීලය ක්ලේශයන්ට නො පැරදවිය හැකි වන්නේ ද රැකෙන්නේ ද එක් ජීවිත කාලයක් තුළදී පමණෙකි. භවාන්තරයෙහි එය නො රැකෙන්නේ ය. භවාන්තරයට ගිය කල ද නො බිඳී රැකෙන ශීලය ලෝකෝත්තර ශීලය ය. ශීලය එක් ජීවිත කාලයක් පවත්නා සැටියට සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත කර ගැනීම් මාත්‍රයෙන් නො නැවතී ඒ ශීලය නිවනට පැමිණෙන තුරු, නො නස්නා ලෝකෝත්තර ශීලභාවයට පැමිණෙන තුරු වීර්‍ය්‍ය කළ යුතු ය. ලෞකික ශීලයෙහි පිහිටා ලෝකෝත්තර ශීලය ඇති කර ගැනීමට වීර්‍ය්‍ය කිරීම ද උපන් ශීලමය කුශලය වැඩීම ය.
සමාධිය ගේ පර්යුත්ථාන ප්‍රහාණය කිය යුත්තේ ද ඒ ඒ සමාධියේ ශක්තිය අනුව ය. බලවත් ක්ලේශයෝ දුබල සමාධිය මැඩ දුබල සමාධිය නසා චිත්තසන්තානයට නැඟ එති. බලවත් ක්ලේශයන් ගේ පර්යුත්ථානය වැළැක්වීමට දුබල සමාධිය අපොහොසත් වෙයි. බලවත් ක්ලේශයන්ට ද නැඟ එන්නට නොදී සිටීමට සමත් වන්නේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වන සමාධිය ය බලවත් ක්ලේශයන්ට ද නො මැඩිය හැකි වන පරිදි සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත කොට සමාධිය බලවත් කර ගැනීම ද, ලැබූ සමාධීන් වඩ වඩා උසස් බවට පමුණුවා ගැනීම ද, ලෝකෝත්තර සමාධියට පැමිණෙන තුරු සමාධිය ගෙන යාම ද, උපන් සමාධි කුශලය වැඩීම ය.
ප්‍රඥාවෙහි ද නොයෙක් ප්‍රමාණ ඇත්තේ ය. දුර්වල ප්‍රඥාවගේ ආනුභාවය එයට ප්‍රතිපක්ෂ ක්ලේශයන් විසින් නසා ඒ ක්ලේශයෝ පර්යුත්ථානයට ද ව්‍යතික්‍රමණයට ද පැමිණෙති. බලවත් ක්ලේශයන්ට ද නො මැඬිය හැකි වන පරිදි ලෞකික ප්‍රඥාව දියුණු කිරීම ද, අනුශය ප්‍රහාණයට සමත් වූ ලෝකෝත්තර ප්‍රඥාව ඇති වන තුරු ලෞකික ප්‍රඥාව දියුණු කිරීම ද, උපන් ප්‍රඥාමය කුශලය වැඩීම ය.