කල් නො යවා ඵල දැකිය හැකි වන පරිදි මැනවින් සම්‍යක් ප්‍රධානයන් වැඩිය හැකි වන්නේ අංග පසකින් යුක්ත වන පුද්ගලයාට ය. ඒ අංග පස අංගුත්තර නිකායෙහි පඤ්චක නිපාත යෙහි මෙසේ වදාරා තිබේ.
- “පඤ්චිමානි භික්ඛවෙ, පධානියංගානි, කතමානි පඤ්ච? ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බෝධිං ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිසධම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා” ති.
- අප්පාබාධො හොති අප්පාතංකො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො හොති නාතිසිතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
- අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤුසු වා සබ්‍රහ්මචාරීසු.
- ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හ පරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
- පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සම්න්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානි ඛො භික්ඛවෙ! පඤ්ච පධානියංගානි.”
එහි තේරුම මෙසේ ය :-
මහණෙනි, ප්‍රධානියාංගයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්?
- මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ “මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකය දතුයෙක, අනුත්තර පුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය.” මෙසේ තථාගතයන් වහන්සේ ගේ බෝධිය (ධර්මාවබෝධය) විශ්වාස කෙරේ ද,
- රෝග නැත්තේ වේ ද, දුක් නැත්තේ වේද, ප්‍රධන් වීර්‍ය්‍යයට ඔරොත්තු දෙන ඉතා සිසිල් නො වූ ද ඉතා උෂ්ණ නො වූ ද සම සේ අහර පැසවන්නා වූ මධ්‍යම වූ පාචකාග්නිය (බඩගින්න) ඇත්තේ වේ ද,
- කෛරාටික නොවූ වරද නො සඟවන්නා වූ තමාගේ වරද ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තා වූ සබ්‍රහ්මචාරීන් කෙරෙහි හෝ තත් වූ පරිදි ප්‍රකාශ කරන්නා වූ තැනැත්තෙක් වේ ද,
- අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමෙහි හා කුශල ධර්මයන් වැඩීමෙහි නො හැකිළෙන, නො පසු බස්නා සිත් ඇත්තේ වේ ද, කුශල ධර්ම විෂයයෙහි වීර්‍ය්‍ය ඇත්තේ වේද, ස්ථිර පරාක්‍රමය ඇත්තේ වේ ද, කුසල් කිරීම නමැති බර නො බහා තැබුයේ වේ ද,
- නුවණැත්තේ වේ ද, පරිශුද්ධ වූ කෙලෙස් නසන්නා වූ සංසාර දුඃඛය හා ක්ලේශ දුඃඛය නසමින් යන්නා වූ ස්කන්ධයන් ගේ ඉපදීම බිඳීම දෙක දන්නා ඥානය ඇත්තේ වේ ද, මහණෙනි, මොහු පස් දෙන ප්‍රධානියාංගයෝ ය.
ඉහත දක්වන ලදුයේ ප්‍රධානියාංග පස පාළියෙහි එන ක්‍රමයට ය. එහි අදහස මෙසේ ය. සම්‍යක්ප්‍රධානයන් මැනවින් වැඩිය හැක්කේ අංග පසකින් යුක්ත තැනැත්තාට ය.
ඒ අංග පස නම් :-
- තථාගතයන් වහන්සේ ගේ බුදු බව හෙවත් සියල්ල දන්නා බව විශ්වාස කිරීම ය.
- ලෙඩ දුක් නැත්තා වූ ද, අධික බඩගින්න නැත්තා වූ ද, කවර ආහාරයක් වුවත් දිරවීමට සමත් බඩගින්න ඇත්තා වූ ද කෙනකු විය යුතු බව ය.
- කෛරාටික නො වූ තමා ගේ වරද තමා ගේ දුබලකම් ඇති සැටියට නො සඟවා ගුරුවරාදි කියයුත්තන්ට කියන බව ය.
- අකුශලයන් ප්‍රහාණය කිරීම ගැන හා කුශලයන් ඇති කර ගැනීම ගැන නො හැකිළෙන නො පසු බසින අදහස ඇති බව ය.
- සංස්කාරයන්ගේ ඇති වීම් නැති වීම් දෙක දක්නා නුවණ ඇති බව ය යන මොවුහු ය.
කියන ලද අංග පසින් ම අඩුවක් නැති ව සම්පූර්ණ අය ලෝකයෙහි සුලභ නැත. එ බැවින් ඒ අංග පස සම්පූර්ණ කර ගෙන ම සම්‍යක් ප්‍රධාන වඩන්නට බලාපොරොත්තු නො විය යුතු ය. ඒ අංග පසින් සම්පූර්ණ නො වන අය විසින් සම්‍යක් ප්‍රධාන වැඩීමට පටන් නො ගත යුතු ය කියා නිගමනයක් නැත. ඒ කරුණු පස මෙහි දක්වන ලදුයේ හැකි පමණින් ඒ අංගයන් ඇති කර ගත යුතු බව දැක්වීමට ය. ඒ අංග පසින් පළමුවැන්න වූ බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය සෑම යෝගාවචරයකු විසින් ම ඇති කර ගත යුතු ය. ඒ අංගයෙන් අසම්පූර්ණ තැනැත්තා හට බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ උත්සාහයක් ඇති නො වේ.
ඒ අංගය නැති අය විසින් එය සම්පූර්ණ කර ගැනීම සඳහා සැදැහැතියන් සේවනය කළ යුතු ය. සැදැහැතියන් ගෙන් දහම් ඇසිය යුතු ය. දහම් පොත් කියවිය යුතු ය. සැදැහැතියන් හා ධර්ම සාකච්ඡා කළ යුතු ය. ධර්මය විමසිය යුතු ය. තමහට අවිෂය කරුණු විමසන්නට යාමෙන් සමහර විට විචිකිච්ඡා තවත් වැඩි විය හැකි ය. එ බැවින් විමසීම පරෙස්සමෙන් කළ යුත්තක් බව ද දත යුතු ය. දෙවන අංගය වූ නිරෝග බව අතීත කර්මය හා ද සම්බන්ධ වූවකි. එ බැවින් ඇතැමෙක් නිරෝග වීම ගැන කිසි උත්සාහයක් නො කොට ම ද නිරෝගී ව වෙසෙති. ඇතැමෙක් කොතෙක් උත්සාහ කොට වුව ද එය නො ලබති. මනා පැවැත්ම ද ඒ අංගය කෙරෙහි බල පවත්වන එක් කරුණෙකි. රෝගාතුර වුව හොත් කිසිවක් කර ගත නො හැකි ය. එබැවින් නිරෝගී ව විසිය හැකි වීමට ශරීරයට අහිත ආහාර පානයන් ගෙන් ක්‍රියාවලින් වැළකිය යුතු ය. ශරීරයට හිත ක්‍රියාවන් කළ යුතු ය.
යම් කිසිවකුගේ අනුශාසනය පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නා වූ තැනැත්තා විසින් ඒ අනුශාසකයා හට තමා ගේ දුබලකම් තමා ගේ වරදවල් නො සැඟවිය යුතු ය. රෝගය නො කියන රෝගියකුට වෛද්‍යවරයකු විසින් පිළියම් කළ නො හෙන්නාක් මෙන් තතු සඟවන අතවැසියකුට නිසි පරිදි ගුරුවරයකු විසින් කමටහන් නො දිය හැකි ය. සුදුසු පරිදි අනුශාසනා නො කළ හැකි ය. වෛද්‍යාචාර්‍ය්‍යවරයා ගෙන් සුදුසු ප්‍රතිකාර නො ලබන රෝගියා නැසෙන්නාක් මෙන් තමා ගේ තතු සත්‍ය වශයෙන් හෙළි නො කරන යෝගාවචරයා ද පිරිහෙන්නේ ය. පස්වන අංගය වූ සංස්කාරයන් ඇති නැති වන සැටි දන්නා නුවණ ඇති කර ගැනීමට ධර්මය උගත යුතු ය. උගත් ධර්මය නැවත නැවත සිතමින් විමසිය යුතු ය. ධර්මසාකච්ඡා කළ යුතු ය. ධර්මය උගෙනීම ද සුදුසු ගුරුවරයකු ඇසුරු කොට කළ යුත්තකි.