මරණාසන්නයෙහි ලැබෙන අරමුණු
එක් සත්ත්වයෙකු පිළිබඳ වූ චිත්ත පරම්පරාව, නිරොධ සමාපත්තියට සමවැද සිටින කාලයෙහි හා අසංඥා තලයෙහි වසන කාලයෙහි හැර, ස්කන්ධ පරිනිර්වාණය දක්වාම අතරක් නැතිවම, නො සිඳී පවතිමින්, ඒ සත්ත්වයා භවයෙන් භවයට පමුණුවමින් අනෙකවිධ සංසාර දුක්ඛයන්ට පමුණුවන්නේය. පටිසන්ධි කෘත්‍ය කරමින් උපදනා ප්රතිසන්ධි චිත්තයෙන් ආරම්භ වන භවය, ආයුක්ෂය වශයෙන් හෝ කර්මක්ෂය වශයෙන් හෝ උභයක්ෂය වශයෙන් හෝ උපච්ඡේදක වශයෙන් හෝ මරණය සිද්ධවන කල්හි පහළ වන්නාවූ හෙවත් චුති කෘත්‍ය කරන්නාවූ චුති සිතින් අවසන් වේ. මේ සිත් දෙකට අතර, වීථි සිත් පහළ නොවන්නාවූ සෑම කල්හිම, භවඞ්ග කෘත්‍ය සිද්ධකරන්නාවූ භවඞ්ග සිත්වලින්ම යුක්ත වන්නේය. එක් භවයකට අයිතිවූ ද, වීථිමුක්ත සිත් නම්වූ මේ ප්රතිසන්ධි, භවඞ්ග සහ චුති චිත්තයන් විසින් කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ත්‍රිවිධ අරමුණුවලින් එකක්ම ගෙණ පහළවන්නේය. ඒ භවයෙහි පහළවීමත්, පැවැත්මත් එයින් චුතවීමත් සිදුකරන්නාවූ ද, මේ වීථිමුක්ත චිත්තයන් විසින් ගණු ලබන්නාවූ ද, කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ආරම්මණයෝ එයට පූර්ව භවයෙහි මරණාසන්න ජවන චිත්තයන් විසින් ගන්නා ලද ආරම්මණයෝ යි. මරණාසන්න චිත්ත වීථියට හමු වන්නාවූ මේ අරමුණු, මව්, පිය, නෑ මිතුරු, ආචාර්ය්ය උපාධ්‍යායාදීන් විසින් හෝ මහානුභාව සම්පන්න දෙවියෙකු හෝ බඹෙකු විසින් හෝ එළවනු ලබන්නක් නොව, කර්මානුභාවයෙන්ම වැටහෙන ආරම්මණයෝ යි. එක් සත්ත්වයෙකුට ඇත්තාවූ ප්රතිසන්ධිජනක ශක්තිය ඇති කුසලාකුසල කර්මයන් ගේ සඞ්ඛ්‍යාව අප්‍රමාණය. එයින් අනතුරු අත්බැව්හි ප්රතිසන්ධිය ඉපිදවීමට නියත වූ ප්‍රති සන්ධිජනක කර්මය විසින් ම මේ අරමුණු උපදවනු ලබන බව දතයුතුයි.