අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උපච්ඡේදක මරණය

යම් ප්‍රතිසන්ධි ජනක කර්මයක් කරණකොටගෙණ, යම් සත්ත්ව නිකායක ප්‍රතිසන්ධිය ලබා ගත් පුද්ගල තෙමේ, බොහෝ කල් ජීවත්වීමට ශක්තිය ඇතත්, ඒ සත්ත්ව නිකායට අයත් ආයුෂයත්, ජනක කර්ම ශක්තියත් ශෙෂව තිබියදී පෙරළාත්ම භාවයකදී කරණ ලද අපරාපර්‍ය්‍යවෙදනීය අකුසල කර්මයකට දෘෂ්ටධර්මවෙදනීය කර්මයකින් ඉඩ හා රුකුල් ලැබ උපඝාතක කර්මයක් වශයෙන් එළඹැ පිළිසිඳගත් ජනක කර්මයාගේ විපාක ශක්තිය කපා හෙළා අතරමඟදී නොකල්හි මරණය සිදු කෙරේ නම් ඒ මරණයට උපච්- ඡේදක මරණය යයි කියනු ලැබේ. අකල් මරණය යයි කියනුයේත් මෙයටමය.

බොහෝ කල් ජීවත්විය හැකි බලවත් කුසල කර්මයකින් මිනිස් ලොව ප්‍රතිසන්ධිය ලැබ, තරුණ වියෙහිදී අසත්පුරුෂ සමා ගමයෙන් මීනිමරුවෙක් වී නම්, ඔහු විසින් කළා වූ ඒ මනුෂ්‍ය ඝාතක අකුසල කර්මයාගේ දිට්ඨධම්මවෙද්‍යාංශයෙන් රුකුල් ලැබ, පෙර භවයෙක්හි කළාවූ මනුෂ්‍ය ඝාතක අකුසල කර්මයක්හුගේ අපරාපර්‍ය්‍යවෙද්‍යාංශය උපඝාතක කර්ම යක් වශයෙන් ඉදිරිපත්ව ජනක කර්මයාගේ විපාක ශක්තිය සිඳ මරණය සිදු කරන්නේය. එහෙත් ඔහුගේ ප්‍රතිසන්ධිය දුන් කර්මයත් ඉතා බලවත්වී නම්, ප්‍රවෘත්ති විපාක දෙන කර්මයෝත් බලවත් වී නම්, ඔහුත් ඔහුට සහාය පිණිස පැමිණි අයත් ප්‍රයෝගයෙහි දක්ෂවී නම් දිට්ඨධම්ම වෙද්‍ය කර්මයන්ට අපරාපර්‍ය්‍යවෙද්‍ය අකුසලයන් කැඳවන්නට නොසමත් වේ නම්, මනුෂ්‍යඝාතක අකුසල කර්මය නිසා මෙලොවදී ලැබෙන්නාවූ මරණයද වළක්වාගත හැකි වේ.

ප්‍රතිසන්ධි ජනක කර්ම ශක්තිය නිසා උපච්ඡෙදක කර්මයන්ගේ විපාක ගෙණදීම සඳහා අවස්ථාව සළසා දීමට දිට්ඨධම්මවෙද්‍ය කර්මය පමණක් නොව වෙනත් කරුණු ද උපකාර වන්නේය.

සතුරෙකු විසින් අවස්ථාව බලා ගසන ලද පිහි පහරකින් හෝ, වෙඩි පහරකින් හෝ, වෙනත් උපක්‍රමයකින් විෂ පෙවීම ආදියෙන් හෝ විපතට පත් කළ කල්හි එම මාරක පහරවැදීමෙන් හෝ, විෂය ශරීරගත වීමෙන් හෝ, ශරීරයෙහි හටගන්නාවූ මහා භූතයන් කිපීමෙන් ඔහුගේ කර්මජ රූප සන්තතියද වෙනස්වී හෘදය වස්තු දුබලතාවය සිදුකරන්නේය. මෙසේ දුබල වූ හෘදයවස්තුව නිශ්‍රයකොට ගෙණ පවත්නා නාම ජීවිතෙන්ද්‍රියද දුර්වල වේ. මේ ක්‍රමයෙන් දුබල වූ නාමරූප ධර්මයන් ඇති කල්හි උපච්ඡෙදක කර්මයන්ට ප්‍රස්තාව ලැබී ප්‍රතිසන්ධිජනක කර්මයෙහි විපාකාදාන ශක්තිය සිඳලීමෙන් නො කල්හිම මරණය සිදුවන්නේය.

තවද නොසැලකිලි ලෙස හැසිරීමෙන්ද, අපථ්‍යාහාර ගැණීමෙන්ද, බෝවන රෝග ආදියට මූණ පෑමෙන් ද, ලෙඩක් ඇති කල්හි සුදුසු ප්‍රතිකාර කර නොගැණීමෙන්ද, යනාදී නොයෙක් කරුණු හේතුකොට ගෙණ, උපච්ඡෙදක කර්මයන්ට, ඔවුන්ගේ විපාක ගෙණදීමට ප්‍රස්තාව ලැබෙන බව දතයුතුයි.

මේ උපච්ඡෙදක මරණය, ප්‍රේත ලෝකය, අසුර නිකාය, තිරිසන් අපාය, මනුෂ්‍ය ලෝකය, විනිපාතික අසුරාදී භූමාට දෙවියෝය යන මොවුන් කෙරෙහි ලැබෙන්නේය. තාවතිංසය පටන් නෙවසඤ්ඤානා සඤ්ඤායතනය දක්වා ඇත්තාවූ සියළුම සුගති භූමිය, අටමහ නරකය, උතුරුකුරු දිවයින යන තන්හි උපච්ඡෙදක මරණය නොලැබෙන්නේය. උපච්ඡෙදක මරණ, නොලැබෙන්නාවූ සියලු තැන්හිම ආයුක්ෂය, කර්මක්ෂය, උභයක්ෂය යන ත්‍රිවිධ මරණයෝම ලැබෙන්නාහ.

පහන් වැටි, තෙල් දමා දල්වන ලද පහන, තෙල් ගෙවීමෙන්ද පහන් වැටිය ගෙවීමෙන්ද, තෙල් පහන් වැටි දෙදෙනා ගේ ගෙවී, මෙන්ද, තෙල් පහන්වැටි ඉතිරිව තිබියදී බලවත් පවනින් පහන නිවීමද යන සතරාකාරයෙන් නිවෙන්නේය.

මෙහි තෙල් ගෙවීමෙන් පහන නිවීම, කර්‍මය ගෙවීමෙන් වන්නාවූ කර්‍මක්‍ෂය මරණයට උපමා වෙයි. තෙල් තිබිය දී පහන් වැටිය ගෙවීමෙන් පහන නිවීම, ආයුෂය ගෙවීමෙන් වන්නාවූ ආයුක්‍ෂය මරණයට උපමා වෙයි. තෙල් සහ පහන්වැටිය ද එකවර ගෙවීමෙන් පහන නිවීම ආයු කර්‍ම දෙදෙනාගේ ක්‍ෂය වීමෙන් වන්නාවූ උභයක්‍ෂය මරණයට උපමා වෙයි. තෙල් පහන් වැටි තිබිය දී බලවත් පවනින් පහන නිවීම, ආයු කර්‍ම දෙදෙනාම ශේෂව තිබියදී උපඝාතක කර්‍මය කරණකොට ගෙණ වන්නාවූ උපච්ඡේදක කර්‍මයට උපමා වෙයි.