අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කම්ම අරමුණු

යම් පුද්ගලයෙකු විසින් පූර්වයෙහි කරණ ලද යම් කුසලා කුසල කර්ම පථයන් අතුරෙන් දෙවන ආත්මභාවයෙහි ප්‍රතිසන්ධි විපාක දීමට නියතව ඉදිරිපත් වූ කර්මය මරණාසන්න ජවනයන්ට අරමුණු වන්නේ කම්ම අරමුණක් වශයෙනි. අතීතයෙහි කරණ ලද සත්වඝාතන, අදත්තාදාන, කාමමිථ්‍යාචාර ආදී වූ යම් අකුසල කර්මයක් යද්ගරුක කර්මාදී වශයෙන් මරණාසන්න කාලයේදී විපාක ගෙණදීම සඳහා ඉදිරියට පැමිණියේ නම්, කර්මය සිද්ධ කළාවූ අවස්ථාවේ ඇතිවූවක් මෙන්ම එම අකුසල කර්මය අභිනව කරණයක් මෙන් මරණාසන්නයේ දී අරමුණු වෙමින් ඒ අවස්ථා වේදී ඇති වූ අකුසල් සිත් හා සමාන ජවන් සිත් පසක් මරණා සන්න ජවන් වශයෙන් චුති චිත්තයට පළමුව එම අවසාන චිත්ත වීථියෙහි පහළ වන්නේය. ඇතැම් විටෙක මේ අරමුණම මරණ අවස්ථාවට දින කීපයකට ප්‍රථමයෙන් වුවත් වරින්වර පහළ වන්නට ද බැරි කමක් නැත. මෙසේ අකුසල කර්මයක්, කම්ම අරමුණක් වශයෙන් පහළවන කල්හි දොළොස් අකුසල් චිත්තයන් අතුරෙන් උද්ධච්චසම්ප්‍රයුක්ත සිත හැර ඉතිරි අකුසල් සිත් එකොළොසින් එකක් මරණාසන්න ජවන් වශයෙන් උපදී.

එමෙන්ම දාන, සීල, භාවනාදී කුසල කර්මපථයන් අතුරෙන් යම් කුසල කර්මයක් නියත වශයෙන් අනතුරු අත්බැව්හි ප්‍රති සන්ධි විපාක දීමට ඉදිරිපත් වීනම් එම කුසලය කරන්නාවූ කාල යේදී ඇතිවූ කුසල චිත්තයන්ට සමාන වූ සිත් මරණාසන්න ජවන් වශයෙන් උපදී. එසේ උපදින්නාවූ කුසල්, කාමාවචර මහා කුසල් සිත් අටෙන් එකක් ම විය යුතුයි.

රූපාවචර අරූපාවචර ප්‍රතිසන්ධිය ලබන්නාවූ පුද්ගලයන් හට කර්මය අරමුණු නොවන්නේය.

කර්මය වනාහි මනෝද්වාරයටම වැටහෙන නාම ධර්මයකි. එය මරණයට පූර්වයෙහි දී කරණලද්දක් බැවින් අතීත අරමුණක්මය. වර්තමාන හෝ අනාගත නොවේ.