අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ගති නිමිත්ත

යම් කුසලාකුසල ප්‍රතිසන්ධිජනක කර්මයක් හේතුකොට ගෙන මරණින් මතු යම් භවයක ඉපදීමට නියතව සිටිනා කල්හි, ඒ ලෝකය පිළිබඳ වූ යම් කිසි අරමුණක් මරණාසන්න ජවනයන්ට අරමුණුවේ නම් එයට ගති නිමිත්ත යයි කියනු ලැබේ.

අකුසල කර්මානුභාවයෙන් නිරයෙහි උපදනා පුද්ගලයන් හට නිරය ගිනි, නිරයපාල, කාළසුනඛාදීහු ද තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත යෝනියෙහි හෝ උපදනා සත්ත්වයන්ට, වන, පර්වත ගල්ගුහා අසූචි වල ආදිය ද, මිනිස් ලොව පිළිසිඳ ගන්නා සත්ත්වයන් හට මාතෘකුක්ෂි වර්ණ කම්බිලි යාන වාහනාදිය ද, දෙව්ලොව උපදනා පුද්ගලයන් හට දෙව්ලොව, දෙව් විමන්, දෙව් රුක් දිව්‍ය සලු, දිව්‍ය මල්, දිව්‍ය සුවඳ, ආදිය ද ගති නිමිති වශයෙන් අරමුණු වන්නේය.

මේ ගති නිමිත්ත ෂට් ද්වාරයටම අරමුණු විය හැකියි. දිව්‍ය රථ, දිව්‍ය මල්, දෙවඟනන් ආදිහු චක්ෂුද්වාරයට ද, දිව්‍ය ගීතාදිය සෝතද්වාරයට ද, අකුසල පක්ෂයෙහි ද, නිරා ගිනිආදිය කායද්වාර යට ද, ගති නිමිති වශයෙන් වැටහේ. ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ ගති, නිමිති මනොද්වාරයට පමණක් වැටහෙන බව කියති.

රහතන් වහන්සේගේ පරිනිර්වාණයට පූර්වයෙහි හටගන්නා අවසාන චිත්ත වීථියෙහි ජවනයන් විසින් කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ආලම්බණයන් අරමුණු නොකරනු ලැබේ. රහතන් වහන්සේගේ අන්තිම ජවනයන්ට අරමුණු වන්නේ, නාමරූප ධර්මයක් හෝ, කසිණ නිමිත්තක් හෝ ධ්‍යානාඞ්ගයක් හෝ මාර්ගාඞ් ගයෙක්මය. එයට අනතුරුව පහළවන්නාවූ චුති චිත්තය වනාහි එම අන්තිම භවයෙහිදි පටිසන්ධි, භවඞ්ග චිත්තයන්ට අරමුණු වූ කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන අරමුණු වලින් එකක් ගෙණ පහළ වන්නාවූ චිත්තයකි.

පටිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙන් හටගන් මේ භවයට අයත් නාමරූප සන්තතිය චුති චිත්තයාගේ භඞ්ගක්ෂණ යෙන් අවසන් වුවත්, භව තෘෂ්ණාව නොසිඳී පවත්නා තෙක් සසර කෙළවර නොවන්නේය. එහෙයින් චුති චිත්තයට අනතුරුව අතරක් නොමැතිව අන්‍ය භවයෙක්හි ප්‍රතිසන්ධිය ලබන්නේමය. අකුසල ප්‍රතිසන්ධි ජනක කර්මයක්හුගේ විපාක වශයෙන් සතර අපායෙහි ප්‍රතිසන්ධිය ලබන්නාවූ කල්හි පූර්ව භවයට අයත් චුති චිත්තයට අනතුරුව අකුසල විපාක සන්තීරණ සිතින් දෙවන භවයෙහි ප්‍රතිසන්ධිය ලබන්නේය. කාමාවචර කුසල කර්මය කින් ප්‍රතිසන්ධි විපාක ගෙණදෙන්නාවූ කල්හි සප්තකාම සුගතියෙහි කාමාවචර මහා විපාක සිත් අටෙන් හෝ අහේතුක කුසල විපාක සන්තීරණ සිතින් හෝ ප්‍රතිසන්ධිය ලබා දෙන්නේය. රූපාවචර අරූපාවචර කුසල කර්මයක් හේතුකොට ගෙණ රූපාරූප භවයන්හි පිළිසිඳ ගැණීම රූපාවචර අරූපාවචර විපාක සිත් නවයෙන් සිදු වන්නේය.

පඤ්චවෝකාර භවයෙහි හෙවත් කාම භවයෙහි හා අසංඥ තලය හැර ඉතිරි රූප භවයන්හි සවත්ථුකව හෙවත් හදයවස්තු රූපය ඇසුරු කොටගෙණ ප්‍රතිසන්ධි චිත්ත පහළවේ.

චතුවෝකාර භවයෙහි හෙවත් අරූප තලයන්හි රූප හටනොගන්නා හෙයින් පටිසන්ධි චිත්තය හටගන්නේ අවත්ථුකවය හෙවත් වස්තු රූපයක් ඇසුරුකොට නො ගෙණය.

අසංඥා තලයෙහි රූපස්කන්ධයෙන් පමණක් ප්‍රතිසන්ධිය ලබන හෙයින්, නාමස්කන්ධයට අයත් ප්‍රතිසන්ධි විපාක සිතක් පහළ නොවන්නේය.

මෙසේ සවත්ථුකව හෝ අවත්ථුකව හෝ අනතුරු භවයෙහි පහළවන්නාවූ පටිසන්ධි චිත්තය, එයට පූර්ව භවයෙහි මරණාසන්න චිත්ත වීථියෙහි මරණාසන්න ජවනයන් විසින් ගන්නා ලද කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ත්‍රිවිධ අරමුණු අතුරෙන් යම් අරමුණක් වේද, එම අරමුණම ගෙණ පහළ වන්නේය. පූර්ව භවයෙහි මරණාසන්න ජවනයන් විසින් අකුසල කර්මයක් අරමුණු කෙළේ වීනම්, අනතුරු භවයෙහි ප්‍රතිසන්ධි සිතත් එම අකුසල කර්මයම අරමුණු කරමින් උපදී. අකුසල කර්ම නිමිත්තක් හෝ අකුසල ගති නිමිත්තක් හෝ අරමුණු කෙළේ වීනම්, ප්‍රතිසන්ධි චිත්තයද එම අකුසල කම්ම නිමිත්ත හෝ අකුසල ගති නිමිත්ත හෝ අරමුණු කරන්නේය. කුසල පක්ෂයෙහි ද එසේමය. මේ පටි සන්ධි චිත්තයාගේ හෙවත් නාමස්කන්ධයාගේ පහළවීමත් සමඟම, එනම් එහි උත්පාදක්ෂණයේ දී ම, අළුත් භවයට අයත් කර්මජ රූප සන්තතිය එහි පාලනය සඳහා රූප ජීවිතේන්ද්‍රියයත් සමඟම, එම කර්මානු භාවයෙන්ම පහළ වන්නේය. පූර්ව භවයට අයත්, නාම ධර්මයක්වත්, රූප ධර්මයක්වත් අනතුරු භවයට ගෙණ නො යන බවත්, එම සත්ත්ව සන්තානයෙහි රැස් කරණ ලද කුසලා කුසල කර්මයක්හුගේ විපාක ශක්තියෙන්ම දෙවන භවයෙහි නාම රූප ධර්මයන් පහළ කරවන බවත් දත යුතුයි.

මෙසේ අළුත් භවයෙහි පටිසන්ධි චිත්තය ඉපිද නිරුද්ධ වූ කල්හි, එයට අනතුරුව එම පටිසන්ධි චිත්තය විසින් ගන්නා ලද අරමුණම ගෙණ භවඞ්ග චිත්තය පහළ වන්නේය. මිනිස් ලොව මව් කුස උපදනා පුද්ගලයන්ට ප්‍රතිසන්ධි චිත්තයට අනතුරුව භවංග සිත් දහසයක් පමණ ඉපිද නිරුද්ධ වූ කල්හි මනොද්වාරාවජ්ජන සිතක් හා භවනිකාන්ති ලොහ ජවන් පසකින් යුක්තවූ චිත්ත වීථියක් ඉපිද, එයට අනතුරුව භවඞ්ග සිත් උපදී. යම්තාක් කල් වීථි සිත් නූපදිද් ද, ඒතාක් කල් භවඞ්ග සන්තතිය ජලප්‍රවාහයක් මෙන් නොබිඳි පවත්නේය. මව් කුසින් නික්මුණු කල්හි පළමු කොට සූර්‍ය්‍යාලෝකය හෝ පහන් ආලෝකය ආදිය හෝ, දැකී මෙන් චක්ෂුර්විඥානාදී වීථි සිත් ඉපදීමට පටන් ගනිති. එතැන් සිට ඒ සත්ත්වයාගේ ඉන්ද්‍රියයන් වැඩීම කරණකොටගෙන භවඞ්ග චිත්ත පරම්පරාව ද ක්‍රමයෙන් අඩු වී රූපාදී ආරම්මණයන් එල්බ ගෙන වීථි සිත් උපදී. වයස් ගත වන්නාවූ කල්හිද ඉන්ද්‍රියයන්ගේ දුර්වලත්වය නිසා නැවතත් භවඞ්ග සිත් වැඩි වැඩිව හටගනී. මෙසේ පැවත ආවාවූ මේ භවයට අයත් චිත්ත සන්තතිය භවඞ්ග සිතෙහි අරමුණම ගෙන පහළවන්නාවූ චුති චිත්තයෙන් අවසන් වේ. එකම භවයෙක්හි පහළ වන්නාවූ පටිසන්ධි, භවඞ්ග චුති චිත්තයන්ගේ අරමුණ එකක්මය.

මෙතෙකින් පරිච්ඡේද පසකින් යුත් අභිධර්මාර්ථප්‍රදීපිකායෙහි ප්‍රථම කාණ්ඩය නිමි.