භාවය
1. මෙසේ ප්රවෘත්ති කාලයෙහි වීථිචිත්තයන්ගේ වශයෙන් ප්රවෘත්ති සංග්‍රහය කියන ලදී. දැන් ප්රතිසන්ධි චුති කාලයන්හි ප්රවෘත්ති සංග්‍රහය කියනු ලැබේ.
2. භූමිසතරය, ප්රතිසන්ධි සතරය, කර්ම සතරය, මරණොත්පත්ති සතරය යයි වීථිමුක්ත සංග්රහයෙහි චතුෂ්ක සතරක් දතයුත්තාහ.
3. එහි අපාය භූමියද, කාම සුගති භූමියද, රූපාවචර භූමියද, අරූපාවචර භූමියදැයි යන මොවූහු සතර භූමි නම් වේ.
4. එහි නිරය, තිරිසන්යොනිය, ප්‍රේතවිෂය, අසුරකාය යයි අපාය භූමි සතර වැදෑරුම් වේ.
5. මනුෂ්‍ය භූමිය, චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිර්මීතවසවර්තිය දැයි කාම සුගති භූමිය සත් වැදෑරුම් වේ.
6. එකොළොස් වැදෑරුම් වූ ඒ භූමිය කාමාවචර භූමි සඞ්ඛ්‍යාවටම යයි.
7. බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරොහිතය, මහාබ්‍රහ්මය යන තුන ප්‍රථමධ්‍යාන භූමි නමි.
8. පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යන තුන දුතියධ්‍යාන භූමි නමි.
9. පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හය යන තුන තෘතියධ්‍යාන භූමි නමි.
10. වෙහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය යන භූමි තුන චතුර්ථධ්යාන භූමි නම්. මෙසේ රූපාවචර භූමිය සොළොස් වැදෑරුම් වේ.
11. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය යයි සුද්ධාවාස භූමි පඤ්චවිධවේ.
12. ආකාසානඤ්චායතන භූමිය, විඤ්ඤාණඤ්චායතන භූමිය ආකිඤ්චඤ්ඤායතන භූමිය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන භූමිය යයි අරූපාවචර භූමිය සිව්වැදෑරුම් වේ.
13. සුද්ධාවාසයන්හි පෘථග්ජනයෝ ද සොවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද සර්වප්රකාරයෙන් නොලැබෙති.
14. ආර්‍ය්‍යයෝ අසඤ්ඤ සත්තයෙහි සහ අපායයන්හි නො ලැබෙති. ආර්‍ය්‍යයෝ ද අනාර්‍ය්‍යයෝ ද සෙසුතන්හි ලැබෙත්.