මෙය මෙහි කර්ම චතුෂ්කය යි
81. ආයුක්ෂය, කර්මක්ෂය, උභයක්ෂය, උපච්ඡෙදක යයි මරණොත්පත්ති සතර විධවේ.
82. එසේ මැරෙන්නවුන්ට මරණ කාලයෙහි සුදුසු පරිද්දෙන් අභිමුඛ වූ අනතුරු භවයෙහි ප්රතිසන්ධි ජනක කර්මය හෝ ඒ කර්මය කරණ කල්හි ලබන ලද රූපාදිය හා කර්මයට උපකරණ වූ කර්ම නිමිත්ත හෝ මතු භවයෙහි ලැබිය යුතු වූ ද අනුභව කටයුතු වූද, ගතිනිමිත්ත හෝ කර්ම බලයෙන් සදොරින් එක්තරා ද්වාරයෙක්හි වැටහෙයි.
83. ඉන් පසු එසේ වැටහුණු ඒ අරමුණේ එල්බගත් චිත්ත සන්තානය, විපාක උපදවන කර්මයට අනුරූපව පිරිසුදුව හෝ කිළිටුව හෝ උපදිනු ලබන භවයට අනුරූපව ඒ භවයට නැඹුරුව ම බොහෝ සෙයින් නිරතුරුව පවතී.
84. ඒ ප්රතිසන්ධි ජනක කර්මයම හෝ අභිනව කරණයක් වශ යෙන් මනොද්වාරයට පැමිණියේ වෙයි.
85. මරණාසන්නයෙහිවූ ඔහුට වීථිචිත්තයන්ගේ අවසාන යෙහි හෝ භවඞ්ගයන්ට අනතුරුව හෝ චුතවීම් වශයෙන් ප්‍රත්‍යුත්පන්න භවයාගේ අවසානය වූ චුති චිත්තය ඉපිද නිරුද්ධ වෙයි.
86. එය නිරුද්ධ වූ පසු එයට අනතුරුව එසේ ගන්නා ලද අරමුණක් ගෙන හදයවස්තුව ඇසුරු කොට හෝ නොකොට හෝ සුදුසු පරිද්දෙන් අවිජ්ජානුසය විසින් පිරිවරන ලද තණ්හානුසය මුල්කොට ඇති කර්මයෙන් උපදවන ලද සම්ප්‍රයුක්ත ධර්මයන් විසින් පරිග්‍රහණය කරන ලද සහජාත ධර්මයන්ට ආධාර වීමෙන් පූර්වාඞ්ගමවූ භවයන්ගේ අතර ගැලපීම් වශයෙන් ප්රතිසන්ධිනම් වූ සිත භවාන්තරයෙහි උපදවමින් ම පිහිටයි.
87. මේ මරණාසන්න වීථියෙහි දුර්වලව පැවැති ජවන් පසක්ම කැමැති විය යුතුය. එහෙයින් ප්‍රත්‍යුත්පන්න අරමුණු හමුවූ කල්හි එ අරමුණු පවතිද්දීම මරණය වෙයි නම් එකල්හි ප්රතිසන්ධි භවාංගයන්ටද ප්‍රත්‍යුත්පන්න අරමුණු ලැබෙන බැවින් කාමාවචර ප්රතිසන්ධියට සදොරින් ගන්නා ලද කම්මනිමිත්තත්, ගති නිමිත්තත් ප්‍රත්‍යුත්පන්න අරමුණක් හෝ අතීත අරමුණක්ව ලැබෙන්නේය. කර්මය අතීත අරමුණක් මය. එය ද මනෝද්වාරයෙන් ගන්නා ලදී. ඒ සියල්ලම කාමධර්ම අරමුණුම වෙත්.
88. රූපාවචර ප්රතිසන්ධියට ප්රඥප්තිවූ කර්මනිමිත්තම අරමුණු වෙයි.
89. එසේම අරූප ප්රතිසන්ධියටද මහද්ගත වූද ප්රඥප්ති වූද කර්ම නිමිත්තම සුදුසු පරිද්දෙන් අරමුණු වෙයි.
90. අසංඥසත්වයන්ට ජීවිත නවක රූපකලාපයම ප්රතිසන්ධි භාවයෙන් පිහිටයි. එහෙයින් ඔව්හු රූප ප්‍රතිසන්ධික යෝ නම් වෙත්.
91. අරූප භූමිකයෝ අරූපප්රතිසන්ධිකයෝය. සෙස්සෝ රූපා රූප ප්රතිසන්ධිකයෝය.
92. අරූපාවචර චුතියෙන් පසුව යට යට අරූපප්‍රතිසන්‍ධි හැර සෙසු අරූප ප්රතිසන්ධිහුද, කාම ත්‍රිහේතුක ප්රතිසන්ධිහුද වෙත්. රූපාවචර චුතියෙන් පසුව අහේතුක ප්රතිසන්ධින් හැර ඉතිරි ප්රතිසන්ධිහු වෙත්. කාමත්‍රිහේතුක චුතියෙන් පසුව සියලු ප්රතිසන්ධීහුම වෙත්. ඉතිරි චුතීන්ගෙන් පසු කාමප්රතිසන්ධිහුම වෙත්.