මෙය මෙහි භූමිචතුෂ්කය නම්
15. අපාය ප්රතිසන්ධිය, කාමසුගති ප්රතිසන්ධිය, රූපාවචර ප්රතිසන්ධිය, අරූපාවචර ප්රතිසන්ධිය යන මොව්හු චතුර්විධ ප්රතිසන්ධිහු නම් වෙති.
16. එහි අකුසල විපාක උපෙක්ඛාසහගත සන්තීරණ සිත අපාය භූමියෙහි උපදින කල්හි ප්රතිසන්ධිය දී ඉක්බිතිව භවඞ්ගව අවසානයෙහි චුතිය වී සිඳියයි. මේ එකම අපාය ප්රතිසන්ධිය වේ.
17. කුසල විපාක උපෙක්ඛාසහගත සන්තීරණ සිත, කාමසුගතියෙහි මනුෂ්‍යයන් කෙරෙහි ජාත්යන්ධාදීන්ට ද භූමාට විනිපාතික අසුරයන්ට ද ප්රතිසන්ධි භවඞ්ග චුතිවශයෙන් පවතිත්.
18. මහා විපාක අට වනාහී කාම සුගතියෙහි සෑම තැනම ප්රතිසන්ධි, භවඞ්ග චුති වශයෙන් පවතිත්.
19. මේ නවය කාමසුගති ප්රතිසන්ධිහු වෙත්.
20. ඒ මේ දස විධ ප්රතිසන්ධිහු කාමාවචර ප්රතිසන්ධි සඞ්ඛ්‍යාවට පැමිණේ.
21. ඔවුන් අතුරෙන් සතර අපාගත සත්වයන්ගේද මනුෂ්‍යයන් ගේද විනිපාතික අසුරයන්ගේද ආයුප්‍රමාණ ගණනායෙහි නියමයෙක් නැත.
22. චාතුර්මහාරාජික දෙවියන්ට දිව්‍ය ප්‍රමාණයෙන් අවුරුදු පන්සියයක් ආයුප්‍රමාණය වෙයි. මිනිස් ගණනින් අනූ ලක්ෂයක් පමණ වෙයි.
23. එයට වඩා සතර ගුණයක් තව්තිසා දෙවියන්ටද, එයට වඩා සතර ගුණයක් යාම දෙවියන්ටද, එයට වඩා සතර ගුණයක් තුසිත දෙවියන්ටද එයට වඩා සතර ගුණයක් නිම්මාණරතී දෙවියන්ටද, එයට වඩා සතර ගුණයක් පරනිම්මිත වසවර්ති දෙවියන්ට ද ආයු ප්‍රමාණය වෙයි.
24. මනුෂ්‍ය ගණනින් අවුරුදු නවසිය විසිඑක්කොටි හැට ලක්ෂයක් පරනිම්මිත වසවත්ති දෙව්ලොව ආයුෂය වෙයි.
25. ප්‍රථමධ්‍යාන විපාකසිත ප්‍රථමධ්‍යාන භූමියෙහි ප්රතිසන්ධි, භවඞ්ග, චුති වශයෙන් පවතී.
26. එ සේම දුතියධ්‍යාන විපාකසිතත්, තෘතියධ්‍යාන විපාකසිතත් ද්විතිය ධ්‍යාන භූමියෙහි ද,
27. චතුර්ථධ්යාන විපාක සිත තෘතියධ්‍යාන භූමියෙහි ද
28. පඤ්චමධ්‍යාන විපාක සිත චතුර්ථධ්යාන භූමියෙහිද ප්රතිසන්ධි, භවඞ්ග, චුති වශයෙන් පවතී.
29. අසඤ්ඤසත්වයන්ට වනාහී රූපයම ප්රතිසන්ධිය වෙයි. ඉන් පසු ප්‍රවෘත්තිකාලයෙහි ද චුති කාලයෙහි ද රූපයම පැවත නිරුද්ධ වෙයි.
30. මේ සය රූපාවචර ප්රතිසන්ධිහු නම් වෙත්.
31. ඔවුන් අතුරෙන් බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ට අසඞ්ඛ්‍ය කල්පයා ගේ තෘතීය භාගය ආයු ප්‍රමාණය වෙයි බ්රහ්මපුරොහිත බ්‍රහ්මයන්ට අර්ධකල්පයක් ද මහා බ්‍රහ්මයන්ට එක් අසඞ්ඛ්යා කල්පයක් ද ආයු ප්‍රමාණය වෙත්
32. පරිත්තාභ බ්‍රහ්මයින්ට කල්ප දෙකක් ද, අප්පමාණභයින්ට, කල්ප සතරක් ද, ආභස්සරයින්ට කල්ප අටක් ද ආයු ප්‍රමාණය වෙත්
33. පරිත්තසුභ බ්‍රහ්මයින්ට සොළොස් කපක්ද අප්පමාණ සුභ බ්‍රහ්මයින්ට දෙතිස් කපක්ද, සුභකිණ්හ බ්‍රහ්මයින්ට සිව් සැට (64) කපක් ද ආයුප්‍රමාණය වෙත්
34. වෙහප්ඵල බ්‍රහ්මයින්ට හා අසඤ්ඤසත්ත්ව බ්‍රහ්මයින්ට ද කල්ප පන්සියයක් ආයුප්‍රමාණය වෙත්
35. අවිහ බ්‍රහ්මයින්ට දහස් කපක්ද, අතප්ප බ්‍රහ්මයින්ට දෙදහස් කපක්ද, සුදස්ස බ්‍රහ්මයින්ට සාර (4000) දහස් කපක්ද, සුදස්සි බ්‍රහ්මයින්ට කල්ප අට දහසක් ද අකනිට්ඨ බ්‍රහ්මයින්ට කප් සොළොස් දහසක් ද ආයුප්‍රමාණය වෙත්
36. ප්‍රථම අරූපාවචර ආදී විපාකසිත් ප්‍රථම අරූපාදී භූමින්හි ප්රතිසන්ධි භවඞ්ග චුති වශයෙන් පවතිත්. මේ සතර අරූපාවචර ප්රතිසන්ධීහු නම් වෙත්
37. ඔවුන් අතුරෙන් ආකාසානඤ්චායතනයෙහි උපන් බ්‍රහ්ම යින්ට කල්ප විසි දහසක් ආයු ප්‍රමාණය වෙයි
38. විඤ්ඤාණඤ්චායතනයෙහි උපන් බ්‍රහ්මයින්ට කල්පසතළිස් දහසක් (40000) ද,
39. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපන් බ්‍රහ්මයන්ට කල්ප සැට දහසක් ද
40. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපන් බ්‍රහ්මයින්ට කල්ප අසූහාර දහසක්ද (84000) ආයුප්‍රමාණය වෙත්
41. එක් භවයක දී ප්රතිසන්ධි, භවඞ්ග, චුති සිත් එකක්ම වෙයි එසේ ම එකම අරමුණක එල්බ පවතිත්
මේ මෙහි ප්රතිසන්ධි චතුෂ්කය වෙයි
42. ජනකය, උපත්ථම්භකය, උපපීළකය, උපඝාතකය යයි කෘත්‍ය වශයෙන් කර්ම සතරක් වෙත්.
43. ගරුකය, ආසන්නය, ආචීර්ණය, කටත්තා කර්ම යයි විපාක දෙන පිළිවෙලින් ද කර්ම සතරක් වෙත්.
44. දිට්ඨ ධම්ම වෙදනීය, උපපජ්ජ වෙදනීය අපරාපරිය වෙදනීය අහොසිකම්ම යයි විපාක දෙන කාලවශයෙන් කර්මසතරක් වෙත්.
45. එසේම අකුසලය, කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලයයි යයි විපාක දෙන ස්ථාන වශයෙන් කර්ම සතරක් වේ.
46. එහි අකුසලය, කායකර්ම, වචීකර්ම, මනොකර්ම යයි කර්ම ද්වාර වශයෙන් ත්‍රිවිධ වෙයි.
47. කෙසේ ද? පාණාතිපාතය, අදින්නාදානය, කාමමිථ්‍යාචාරය යන මෙය කාය විඤ්ඤත්ති සඞ්ඛ්‍යාත වූ කායද්වාරයෙහි බහුලවශයෙන් පවතින බැවින් කාය කර්ම නම් වේ.
48. මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප යන මේ සතර වචී විඤ්ඤත්ති සඞ්ඛ්‍යාත වූ වාග්ද්වාරයෙහි බහුල වශයෙන් පවත්නා බැවින් වචී කර්ම නම් වේ.
49. අභිධ්යාව්යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන මෙය විඤ්ඤත්තියෙන් තොරව සිතෙහි ම බහුලව පවත්නා බැවින් මනොකර්ම නම් වේ.
50. එයින් පාණාතිපාතය, ඵරුසාවාචය, ව්‍යාපාදය යන මෙය දොෂමූලයෙන් උපදිත්.
51. කාමමිථ්‍යාචාරය, අභිධ්යාවය, මිථ්‍යාදෘෂ්ටිය ලොහමූලයෙන් උපදිත්.
52. ඉතිරි සතර මුල් දෙකකින් උපදිත්.
53. චිත්තොත්පාද වශයෙන් ඒ අකුසලය සර්වප්‍රකාරයෙන්ම දොළොස් වැදෑරුම් වෙයි.
54. කාමාවචර කුසලයද කායද්වාරයෙහි පවත්නා කල්හි කාය කර්මය, වාග් ද්වාරයෙහි පවත්නා කල්හි වචී කර්මය, මනොද්වාරයෙහි පවත්නා කල්හි මනොකර්මය යයි මෙසේ කර්මද්වාර වශයෙන් ත්‍රිවිධ වෙයි.
55. එසේම දාන, සීල, භාවනා වශයෙන් ත්‍රිවිධ වෙයි.
56. එය චිත්තොත්පාද වශයෙන් අටවැදෑරුම් වේ.
57. දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්මසවණ, ධම්මදෙශනා, දිට්ඨුජ්ජුකම්ම යන මොවුන්ගේ වශයෙන් දස වැදෑරුම් වේ.
58. ඒ මේ විසිවැදෑරුම් කර්මය කාමාවචර කර්ම සඞ්ඛ්‍යාවටම පැමිණේ.
59. රූපාවචර කුසලය මනොකර්මමය, එයද භාවනාමය වේ. අර්පණාවටද පැමිණියේ වෙයි. ධ්‍යානාඞ්ග භේදයෙන් පස්වැදෑරුම් වේ.
60. එසේම අරූපාවචර කුසලයද මනොකර්මයකි. එයද භාවනාමය වේ. අර්පණාවටද පැමිණියේ වෙයි. ආරම්මණ භේදයෙන් චතුර්විධ වෙයි.
61. එහි උද්ධච්ච සහගත අකුසල කර්මය හැර සෙසු අකුසල කර්ම අපාය භූමියෙහි ප්රතිසන්ධිය උපදවත්. ප්‍රවෘත්තිකාලයෙහි සියලු ද්වාදස විධ අකුසල කර්මයම කාමලොක රූප ලොකයන්හි අකුසල විපාක සත සුදුසු පරිදි උපදවයි.
62. කාමාවචර කුසලයද කාමසුගතියෙහි ම ප්රතිසන්ධිය උපදවයි. එසේම ප්රවෘත්ති කාලයෙහි මහා විපාකයන් උපදවයි. කාමලොක රූප ලොක යන සියලු තන්හි අහේතුක කුසල විපාක අටත් සුදුසු පරිද්දෙන් උපදවයි.
63. එහි ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලය ත්‍රිහේතුක ප්රතිසන්ධිය දී ප්රවෘත්ති කාලයෙහි සොළොස් විපාකයන් උපදවයි.
64. ත්‍රිහේතුක ඕමක කුසලයන් සහ ද්විහේතුක උත්කෘෂ්ට කුසලයන් ද්විහේතුක ප්රතිසන්ධිය දී ප්රවෘත්ති කාලයෙහි ත්‍රිහේතුක හැර දොළොස් විපාකයන් උපදවයි.
65. ද්විහේතුක ඕමක කුසලය අහේතුක ප්රතිසන්ධියම දෙයි. ප්රවෘත්තිකාලයෙහිද අහේතුක විපාකයන්ම උපදවයි.
66. අසඞ්ඛාරික කුසල කර්මය සසඞ්ඛාරික විපාකයද, සසඞ්ඛාරික කුසල කර්මය අසඞ්ඛාරික විපාකයද නොදේයයි ඇතැම්කෙනෙක් කියති. ඔවුන්ගේ අදහස් අනුව විපාක දොළොසක්ද (12), දසයක්ද, අටක්ද, සම්භවන පරිදි පිළිවෙලින් දක්වන්නේය.
67. රූපාවචර කුසලය වූ ප්‍රථම ධ්‍යානය පරිත්ත වශයෙන් වඩා බ්‍රහ්මපාරිසජ්ජයෙහි උපදී.
68. එයම මධ්‍යම වශයෙන් වඩා බ්රහ්මපුරොහිතයන් කෙරෙහි උපදී.
69. ප්‍රණීත වශයෙන් වඩා මහා බ්‍රහ්මයන් කෙරෙහි උපදී.
70. එසේම දුතිය තෘතියධ්යානයන් පරිත්ත වශයෙන් වඩා පරිත්තාභයන් කෙරෙහි උපදී.
71. මධ්‍යම වශයෙන් වඩා අප්පමාණාභයන් කෙරෙහි උපදී.
72. ප්‍රණීත වශයෙන් වඩා ආභස්සරයන් කෙරෙහි උපදී.
73. චතුර්ථධ්යානය පරිත්ත වශයෙන් වඩා පරිත්තසුභයන් කෙරෙහි උපදී.
74. මධ්‍යම වශයෙන් වඩා අප්පමාණසුභයන් කෙරෙහි උපදී.
75. ප්‍රණීත වශයෙන් වඩා සුභකිණ්හයන් කෙරෙහි උපදී.
76. පඤ්චමධ්‍යාන වඩා වේහප්ඵලයන් කෙරෙහි උපදී.
77. එයම සඤ්ඤා විරාග වශයෙන් වඩා අසඤ්ඤසත්තයන් කෙරෙහි උපදී.
78. අනාගාමීහු වනාහී සුද්ධාවාසයන් කෙරෙහි උපදිත්.
79. අරූපාවචර කුසලය ද පිළිවෙලින් වඩා අරූපභූමින්හි උපදිත්.
80. මෙසේ මහග්ගත කුසලය ඒ ඒ භූමියට නියමිත වූ පරිද්දෙන් ප්රතිසන්ධි ප්රවෘත්ති කාලයන්හි තමා හා සමාන විපාක උපදවයි.