අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාමසෝභන සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහ නය

කාමසෝභන සිත් සූවිස්සකි (24). එයින් සිත් අටක් කුසල්ය, අටක් විපාකය, ඉතිරි අට ක්‍රියා සිත්ය. දාන සීලාදී පුණ්‍යකර්ම යන් සිදුකරන කල්හි ඒ ඒ පින්කම් වලට සුදුසු පරිදි අන්‍යසමාන චෛතසික හා සොභන චෛතසික ද යෙදෙන්නාහ. සතුටු සිතින් පින්කම් කරන කල්හි ප්‍රීතිය ලැබේ. මධ්‍යස්ථව පින්කම් කිරීමේදී ප්‍රීතිය නො ලැබේ. සීලමය පින්කම් කරන කල්හි පමණක් විරතිත්‍රය වෙන් වෙන්ව ලැබෙන්නේය. ශීලමය පින්කම් නොවන දානාදී අනිකුත් කුසල් කරන විට විරතිත්‍රය නො ලැබෙන්නේය. දුක්ඛිත සත්ත්වයන් කෙරෙහි අනුකම්පාව දක්වන කල්හි කරුණාව ද, සුඛිත සත්ත්වයන් අරමුණ කරණ කල්හි මුදිතාව ද ලැබේ. එසේ නොවන කල්හි මේ අප්‍රමාණ්‍යයෝ නො ලැබෙන්නාහ. නුවණින් යුක්තව කුසල් කරන කල්හි පඤ්ඤින්ද්‍රිය ලැබේ. එසේ නුව ණින් යුක්තනොවූ කල්හි පඤ්ඤින්ද්‍රිය නොලැබේ. මල් පිදීම, වන්දනා කිරීම, බණ ඇසීම යනාදී පින් කම් කිරීමේ දී විරතිත්‍රයත්, අප්‍රමාණ්‍යයෝත් නො යෙදේ. සොභන චිත්තයන්හි අකුසල චෛතසිකයෝ කිසිසේත් නො ලැබේ.

කාමසෝභන සිත්හි යෙදෙන චෛතසිකයන් දැක්වීමේ පහසුව සඳහා සිත් දෙක බැගින් ගෙන යුගල හෙවත් දුක වශයෙන් බෙදා දක්වනු ලැබේ. සොමනස්ස ඤාණසම්ප්‍රයුක්ත සිත් දෙක ප්‍රථම යුගලය හෙවත් දුකය වශයෙන් ද, සොමනස්ස ඤාණවිප්පයුත්ත සිත් දෙක දෙවෙනි දුකය වශයෙන් ද, උපෙක්ඛා ඤාණසම්ප්‍රයුක්ත සිත් දෙක තෙවැනි දුකය වශයෙන් ද උපෙක්ඛා ඤාණවිප්‍රයුත්ත සිත් දෙක සිව්වැනි දුකය වශයෙන් ද සළකනු ලැබේ. මෙසේ කුසල් සිත් අටත්, විපාක සිත් අටත්, ක්‍රියා සිත් අටත් දුකයන්ගේ වශයෙන් සතර සතර කොටස්වලට බෙදා එහි යෙදෙන චෛතසිකයන් වෙන් වෙන්ව දක්වනු ලැබේ.

කාමසෝභන ක්‍රියා සිත් අට රහතන්වහන්සේලාට පමණක් ලැබෙන සිත් බැවින්, ඒකාන්ත කුසල් වශයෙන් යෙදෙන විරති ධර්ම තුන මේ ක්‍රියා සිත්හි නො ලැබේ.

කාම සෝභන විපාක සිත් අට, කුසලකර්මයන්ගේ විපාක වශයෙන් ලැබෙන හෙයින් එහි විරතිත්‍රය නො ලැබේ. සුඛිත දුක්ඛිත සත්ත්වයන් ද අරමුණ නො කළ හැකි බැවින් අප්‍රමාණ්‍යයෝ ද නො ලැබේ.