කාමසෝභන කුසල් සිත් අටෙහි සංග්‍රහ නය
පළමුවෙනි දුකය (1)
සොමනස්ස ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික සිත්දෙකෙහි තෙළෙස් අන්යසමානයන් හා පස්විසි (25) සෝභන චෛතසික ද යන අටතිසක් (38) චෛතසිකයන් ලැබෙන්නාහ. අකුසල් තුදුස (14) පමණක් නො ලැබේ. විරතිත්රය සහ අප්රමාණ්යයෝ දෙදෙනා ද මේ සිත්හි යෙදෙන්නේ අනියත වශයෙනි. එහෙත් එක සිතක එකවර යෙදෙන්නේ ඒ චෛතසික පසෙන් එක් චෛතසිකයක් පමණය. සීලමය පින්කමක් සිදුවන කල්හි විරතිත්රයන්ගෙන් එකක්ම ලැබේ. දුක්ඛිත සත්ත්වයන් අරමුණු කරන කල්හි කරුණාව ද, සුඛිත සත්ත්වයන් අරමුණු වන කල්හි මුදිතාව ද යෙදේ. ඉහතකී පින් කම් නොව වෙනත් දන්දීම් බණ ඇසීම් ආදිය ඇතිවන කල්හි මේ කුසල් සිත්වල යෙදෙන් නේ තෙළෙස් අන්යසමානයෝ හා සෝභන චෛතසිකයන් අතුරෙන් සෝභන සාධාරණ දහ නවයත් (19) පඤ්ඤින්ද්රියත් යන තෙතිස් (33) චෛතසිකයෝ පමණය.
දෙවෙනි දුකය (2)
සොමනස්ස ඤාණ විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික සිත් දෙකෙහි ඤාණය නො යෙදෙන හෙයින්, පළමු දුකයට දක්වන ලද අටතිස් (38) චෛතසිකයන් අතුරෙන් පඤ්ඤින්ද්රිය හැර ඉතිරි සත්තිස් (37) චෛතසිකයෝ යෙදෙන්නාහ. නොයෙදෙන්නේ පඤ්ඤින්ද්රියත්, තුදුස් (14) අකුසල චෛතසිකත් පමණය.
තෙවැනි දුකය (3)
උපෙක්ඛා සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික සිත්දෙකෙහි උපෙක්ඛාව යෙදෙන හෙයින් ප්‍රීතිය නො ලැබේ. පළමු දුකයෙහි සඳහන් කළ චෛතසිකයන් අතුරෙන් ප්‍රීතිය හැර ඉතිරි සත්තිස් චෛතසිකයෝ ලැබෙන්නාහ. එවිට මෙහි නො ලැබෙන්නේ ප්‍රීතියත්, තුදුස් අකුසලයනුත් පමණය.
සිව්වැනි දුකය (4)
උපෙක්ඛා සහගත ඤාණ විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික සිත් දෙකෙහි ප්‍රීතියත්, ඤාණයත් නැති හෙයින් පළමු දුකයෙහි යෙදෙන අටතිස් චෛතසිකයන් අතුරෙන් පීතිය සහ පඤ්ඤින්ද්රිය හැර ඉතිරි සතිස් (36) චෛතසිකයෝ ලැබෙන්නාහ. තුදුස් අකුසලයන් හා පීති පඤ්ඤින්ද්රිය යන සොළොස් චෛතසිකයෝ නොලැබෙති.
කාම සොහන කුසල් සිත් අටෙහි චෛතසිකයන්ගේ සංග්‍රහ නය සතර මෙසේ දත යුතුයි.
| නය | කුසල් සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික |
|---|---|---|---|
| 1 | පළමුවෙනි දුකය | අන්‍යසමාන 13 + සොහන 25 = 38 (විරති සහ අප්රමාණ්යයෝ අනියතයෝගී වේ.) | අකුසල් 14 |
| 2 | දෙවෙනි දුකය | අන්‍යසමාන 13 + පඤ්ඤින්ද්රිය හැර ඉතිරි සොහන 24 = 37 | අකුසල 14 + පඤ්ඤින්ද්රිය 1 = 15 |
| 3 | තෙවෙනි දුකය | අන්‍යසමාන (පීතිය හැර) 12 + සොහන 25 = 37 | අකුසල 14 + පීතිය 1 = 15 |
| 4 | සිව්වැනි දුකය | පීති හැර අන්‍යසමාන 12 + පඤ්ඤින්ද්රිය හැර සොහන 24 = 36 | අකුසල 14 + පීති සහ පඤ්ඤින්ද්රිය 2 = 16 |