පඤ්චමජ්ඣාන මහග්ගත සිත් පසළොස
සතරවැනි ධ්‍යාන සිතෙහි යෙදෙන සුඛවේදනාව හෙවත් සුඛ ධ්‍යානාඞ්ගය වෙනුවට පඤ්චමධ්‍යාන සිතෙහි යෙදෙන්නේ උපෙක්ඛාවයි. උපෙක්ඛාව යෙදෙන සිත්වලින් සුඛිත දුක්ඛිත සත්ත්වයන් අරමුණු කළ නොහැකි බැවින්, කරුණා මුදිතා නම් වූ අප්‍රමාණ්‍යයෝ දෙදෙනා ද පඤ්චමධ්‍යාන සිතෙහි නො යෙදේ. එවිට අඤ්ඤසමානයන්ගෙන් විතර්ක, විචාර, ප්‍රීති, යන චෛතසික තුන ද විරතිත්‍රය සහ අප්‍රමාණ්‍ය ධර්ම දෙක ද අකුසලයන් තුදුස ද යන (22) දෙවිසි චෛතසිකයෝ මේ පඤ්චමජ්ඣානසිත්හි නො ලැබේ. ඉතිරි තිහ (30) ලැබේ.
මහග්ගත සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහ නය පස මෙසේ දත යුතුයි.
| නය | සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික |
|---|---|---|---|
| 1 | ප්‍රථමධ්‍යාන මහග්ගත 3 | අඤ්ඤසමාන 13, විරති 3 හැර ඉතිරි සොභන 22 = 35 | අකුසල 14, විරති 3 = 17 |
| 2 | දුතියධ්‍යාන මහග්ගත 3 | ඉහත 35 න් විතර්කය හැර ඉතිරි 34 | ඉහත 17, විතර්කය 1 = 18 |
| 3 | තතියධ්‍යාන මහග්ගත 3 | ඉහත 34 න් විචාරය හැර ඉතිරි 33 | ඉහත 18, විචාරය 1 = 19 |
| 4 | චතුර්ථධ්‍යාන මහග්ගත 3 | ඉහත 33 න් පීතිය හැර ඉතිරි 32 | ඉහත 19, පීතිය 1 = 20 |
| 5 | පඤ්චමධ්‍යාන මහග්ගත 15 | ඉහත 32 න් කරුණා මුදිතා දෙක හැර ඉතිරි 30 (සුඛය වෙනුවට උපෙක්ඛාව) | ඉහත 20, අප්පමඤ්ඤා 2 = 22 |