අභිධර්මාර්ථ ප්‍රදීපිකා

9. උපනිශ්‍රය ප්‍රත්‍යය

චිත්ත චෛතසික ධර්‍මයන් ඇතිවීමට අතිශයින් උපකාර වූ බලවත් වූ හේතුවට උපනිශ්‍රය ප්‍රත්‍යය යි කියනු ලැබේ. හේතු, ආරම්මණාදී ප්‍රත්‍යය ධර්‍මයන් ඇතත් උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය නොලද හොත් චිත්ත චෛතසිකයන්ගේ පහළවීමක් ඇති නො වේ. එහෙයින් අන් හැම උපකාරක ධර්‍මයටම වඩා බලවත් වූ උපකාරක ධර්‍මය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය යි.

ප්‍රභෙද වශයෙන් උපනිශ්‍රය ප්‍රත්‍යය ත්‍රිවිධ වේ. එනම්-

  1. ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය ය
  2. අනන්තරූපනිශ්‍රය ප්‍රත්‍යය ය
  3. පකතූපනිශ්‍රය ප්‍රත්‍යය යන තුනය.

1. ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය - ගරුකළ යුතු ධර්‍මයෝ බොහෝ චිත්ත චෛතසික ධර්‍මයන්ගේ උත්පත්තියට උපකාර වෙති. එසේ ගරු කරනු ලබන අරමුණු චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට ආරම්මණූපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන්නේ යයි කියනු ලැබේ.

දන් දීම, සිල්සමාදන් වීම, පෙහෙවස් විසීම, බණ ඇසීම, පින්දීම, වතාවත් කිරීම යනාදි නොයෙක් පින්කම් කොට නැවත ඒ පින්කම් ගරු කොට මෙනෙහි කිරීමේදී උපදනා කුසල් සිත් වලට පළමු කුසලය ආරම්මණූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එසේම ධ්‍යාන වඩා, ධ්‍යාන සමවතින් නැගී, එය ගරු කොට මෙනෙහි කරන කල්හිද, ලොකොත්තර මගඵල ලබා එය ගරු කොට මෙනෙහි කරන කල්හිද උපදනා කුසල චිත්තයන්ට ඒ මහග්ගත ලොකොත්තර කුසලය ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

එපරිද්දෙන්ම දානාදි පින්කම් කොට නැවත එය ගරුකොට තෘෂ්ණාවෙන් ආස්වාදනය කරන කල්හිද, තෘෂ්ණා සහගත සිතින් එයට සතුටුවන කල්හිද, වැරදි දෘෂ්ටි උපදවා ගන්නා කල්හිද උපදනා අකුසල් සිත්වලට ඒ කුසලය ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

තවද රාගයත්, දෘෂ්ටියත් ගරු කොට ආස්වාදනය කරන කල්හිද එයට සතුටුවන කල්හිද, උපදනා අකුසල චිත්තයන්ට පළමු අකුසලය ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

  1. අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය - සෑම සිතක්ම උපදනේ චිත්ත පරම්පරාවකය. ඒ ඒ චිත්ත පරම්පරාවල එක් චිත්තයක් ඉපිද නිරුද්ධ වූ පසු එයට අනතුරුවම අන්‍ය සිතක් උපදී. පූර්‍ව චිත්තය ඇති නුවුවහොත් පසු චිත්තය ඇතිවීමට ඉඩක් නැත. එබැවින් පූර්‍ව චිත්තය එයට අනතුරුව උපදනා චිත්තයට බලවත් හේතුවක් වේ. එහෙයින් අනතුරුව උපදනා චිත්තයට පූර්‍ව චිත්තය අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. පූර්‍ව පූර්‍ව චිත්තයන්හි ඇති, තම තමාට අනතුරුව චිත්ත පරම්පරාව නොසිඳෙනු පිණිස තැනට සුදුසු සිතක් ඉපදවීමේ ශක්තියට අනන්තර ප්‍රත්‍යය ශක්තිය යයි කියනු ලැබේ. පශ්චිම චිත්තය ඉපදීමට පූර්‍ව චිත්තයෙහි ඇති බලවත් හේතු ශක්තියට අනන්තරූපනිශ්‍රය ශක්තිය යයි කියනු ලැබේ.
  2. පකතුපනිශ්‍රය ප්‍රත්‍යය - ඒ ඒ සත්ත්‍ව සන්තාන යන්හි ඉපදවීම්, සෙවනය කිරීම් වශයෙන් කරන ලදශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥාදී කුසල ධර්‍මයෝ දන්දීම, සිල් සමාදන් වීම, පෙහෙවස් විසීම, ධ්‍යාන ඉපදවීම, විදසුන් වැඩීම, මාර්‍ග ඵලයන්ට පැමිණීම අභිඥා ඉපදවීම, සමාපත්තියට සමවැදීම යනාදි කුසල කර්‍මයන්ට බලවත් හේතු ශක්තියෙන් උපකාර වන බැවින් ඒ ශ්‍රද්ධාදී ධර්‍මයන්ට පකතුපනිශ්‍රය ප්‍රත්‍යය යයි කියනු ලැබේ. එසේම ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥාදී කුසලයන් නිසා රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි ආදී අකුසලයන් ඇතිවන කල්හි ඒවාට එකී ශ්‍රද්ධාදී කුසලයෝ පකතුපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්. රාග ද්වේෂාදීහුද, ප්‍රාණඝාතාදී අකුසල කර්‍මයෝද නැවත නැවතත් රාගාදීන්ද ප්‍රාණඝාතාදී අකුසල කර්‍මයන්ද කිරීමට බලවත්ව උපකාර වන හෙයින් ඒවාටද පකතුපනිශ්‍රය ප්‍රත්‍යය යයි කියනු ලැබේ. මේ ආදී වශයෙන් ස්වසන්තානයෙහි උපදවන ලද සෙවනය කරනලද කුසලාකුසල ධර්‍මයෝ නැවතත් කුසලාකුසල ධර්‍මයන්ගේ ඉපැදීමට පකතුපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දත යුතු.