ඕඝ හා යෝග

කාමෝඝය - භවෝඝය - දිට්ඨෝඝය - අවිජ්ජේඝය යි ඕඝ සතරෙකි.

කාම යෝගය-භව යෝගය-දිට්ඨි යෝගය-අවිජ්ජා යෝගය යි යෝග සතරෙකි.

කාමෝඝ - කාමයෝගාදිය ආශ්‍ර‍වයන් අනුව තේරුම් ගත හැකි වනු ඇත. කෙත් - වතු - ගම් යට කොට ගලා යන්නා වූ මහා ජලස්කන්ධය ‘ඕඝ’ නම් වේ. හසුවුනු සත්ත්වයා ගිල්වා දැමීම, ඔහුට ලෙහෙසියෙන් ගැලවී යන්නට නො දීම ඕඝයේ ස්වභාවය ය. ලෝභාදි ධර්ම තුන ද ගලා යන ජලස්කන්ධය මෙන් සත්ත්වයන් සංසාරයෙහි ගිල්වන බැවින් ද, ඒ ධර්ම සත්ත්ව සන්තානයෙහි ඇති තාක් ඔහුට ගැලවී යන්නට නො දෙන බැවින් ද, ජලස්කන්ධයක් වැනි නිසා “ඕඝය” යි කියනු ලැබේ. සසර සයුරෙහි ගිල්වන සත්ත්වයනට සසර සයුරෙන් ගොඩවෙන්නට නො දෙන ධර්ම ඕඝයෝ ය. ඒ ධර්මයෝ ම සත්ත්වයන් සංසාර චක්‍රයෙහි නැවත නැවත යොදවන බැවින් යෝග නම් වෙති. එක ම ධර්මයට මත් කරවීම් ආදි අර්ථවලින් “ආසවය” යි ද, සත්ත්වයන් සසර සයුරෙහි ගිල්වන බැවින් “ඕඝය” යි ද, සංසාර චක්‍රයෙහි යොදවන බැවින් “යෝගය” යි ද කියනු ලැබේ.