කාමාශ්‍රවය - භවාශ්‍රවය - දෘෂ්ට්‍යාශ්‍රවය - අවිද්‍යාශ්‍රවය යි ආශ්‍රව සතරෙකි.
රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන පඤ්ච කාමයන් ගැන ඇති ආශාව වූ ඖදාරික ලෝභය කාමාශ්‍රව නම් වේ.
රූපාවචර - අරූපාවචර කුශලයන් ගැන හා ඒවායේ විපාක වශයෙන් ලැබෙන රූපාරූප භවයන් ගැන ද පවත්නා ආශාව භවාශ්‍රව නම් වේ. කාමාශ්‍රව භවාශ්‍රව යන දෙකින් ම ගැනෙන්නේ ලෝභ චෛතසිකය ය.
දෘෂ්ටි සියල්ල ම දෘෂ්ට්‍යාශ්‍රව නම් වේ.
ධර්‍මයන් ගේ සැබෑ තත්ත්වය වසන මෝහ චෛතසිකය අවිද්‍යාශ්‍රව නම් වේ.
ධර්‍ම වශයේන ගන්නා කල්හි ආශ්‍රවය යි කියනුයේ ලෝභ - දිට්ඨි - මෝහ යන චෛතසික තුනට ය.
ද්‍රව්‍යයෙන් යුක්ත කොට සැළක ලා කලක් පල් කළ ජලයට ආසවය යි කියනු ලැබේ. පානය කළවුන් මත් කරවන ස්වභාවය ද ඒ ජලයෙහි ඇත්තේ ය. බොහෝ කල් පල් වූ නිසාත් මත් කරවන නිසාත් ආසවයට සමාන බැවින් ඉහත කී ලෝභාදි ධර්‍මයන්ට “ආසව” යන නම කියනු ලැබේ. ඒ ලෝභාදි ධර්‍ම තුන සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සත්ත්ව සන්තානයෙහි පල් වී ඇති බැවින් ද, සත්ත්වයන් මත් කරවන බැවින් ද ආසවයට සමාන ය.
තව ද වැගිරෙන දෙය ය, ගලා යන දෙයය යන අර්ථයෙන් ද ඒ ධර්මයන්ට “ආශ්‍රව” යන නම කියනු ලැබේ. වණයකින් සැරව වැගිරෙන්නාක් මෙන් චක්ෂුරාදි ද්වාරයන්ගෙන් ඒ ලෝභාදි ධර්ම වැගිරේ. ගෝත්‍රභූ චිත්තය තෙක් ඇති ලෞකික ධර්මයන් යට කොට ද, භවාග්‍රය දක්වා ලෝකය යට කොට ද ඒ ධර්‍ම ගලා යන්නේ ය.