3. වෝහාර වර්ගය
1. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි. කවර පහකින් ද යත්: ඇවැත නොදනියි, ඇවැත හටගන්නා ආකාරය නොදනියි, ඇවැතට අදාළ කයින් හෝ වචනයෙන් කරන ක්රියාව (ප්රයෝගය) නොදනියි, ඇවැත සංසිඳෙන ආකාරය (දේශනා කිරීමෙන් සංසිඳෙන ඇවැත, ඇවැතින් නැගී සිටීමෙන් සංසිඳෙන ඇවැත ආදිය) නොදනියි, ඇවැත විනිශ්චය කිරීමෙහි දක්ෂ නොවෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි. කවර පහකින් ද යත්: ඇවැත දනියි, ඇවැත හටගන්නා ආකාරය දනියි, ඇවැතට අදාළ කයින් හෝ වචනයෙන් කරන ක්රියාව දනියි, ඇවැත සංසිඳෙන ආකාරය දනියි, ඇවැත විනිශ්චය කිරීමෙහි දක්ෂ වෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි.
2. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි. කවර පහකින් ද යත්: අධිකරණය (සංඝයා විසින් විසඳිය යුතු කරුණ) නොදනියි, අධිකරණය හටගන්නා හේතුව (අධිකරණ සමුට්ඨානය) නොදනියි, අධිකරණයට අදාළ ප්රයෝගය (අධිකරණයට මුල් වන කරුණු) නොදනියි, අධිකරණය සංසිඳෙන ආකාරය (කවර සමථ ක්රමවලින් සංසිඳෙන්නේ ද යන්න) නොදනියි, අධිකරණය විසඳීමෙහි දක්ෂ නොවෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි. කවර පහකින් ද යත්: අධිකරණය දනියි, අධිකරණය හටගන්නා හේතුව දනියි, අධිකරණයට අදාළ ප්රයෝගය දනියි, අධිකරණය සංසිඳෙන ආකාරය දනියි, අධිකරණය විසඳීමෙහි දක්ෂ වෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි.
3. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි. කවර පහකින් ද යත්: අනුන් පහත් කොට කතා කරයි, අවසර නොගෙන කතා කරයි, ධර්මයට අනුව, විනයට අනුව, ඇවැතට අනුව චෝදනා නොකරයි, ධර්මයට අනුව, විනයට අනුව, ඇවැතට අනුව (විනය කර්ම) නොකරවයි, (තමාගේ) මතයට අනුව ප්රකාශ නොකරයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි. කවර පහකින් ද යත්: අනුන් පහත් කොට කතා නොකරයි, අවසර ගෙන කතා කරයි, ධර්මයට අනුව, විනයට අනුව, ඇවැතට අනුව චෝදනා කරයි, ධර්මයට අනුව, විනයට අනුව, ඇවැතට අනුව (විනය කර්ම) කරවයි, මතයට අනුව ප්රකාශ කරයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි.
4. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි. කවර පහකින් ද යත්: ඇවැත ද ඇවැත නොවන දෙය ද නොදනියි, සැහැල්ලු ඇවැත ද බරපතල ඇවැත ද නොදනියි, සාවසේස (ඉතිරියක් ඇති) ඇවැත ද අනවසේස (ඉතිරියක් නැති) ඇවැත ද නොදනියි, දුට්ඨුල්ල (රළු) ඇවැත ද දුට්ඨුල්ල නොවන ඇවැත ද නොදනියි, පිළියම් ඇති ඇවැත ද පිළියම් නැති ඇවැත ද නොදනියි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි. කවර පහකින් ද යත්: ඇවැත ද ඇවැත නොවන දෙය ද දනියි, සැහැල්ලු ඇවැත ද බරපතල ඇවැත ද දනියි, සාවසේස ඇවැත ද අනවසේස ඇවැත ද දනියි, දුට්ඨුල්ල ඇවැත ද දුට්ඨුල්ල නොවන ඇවැත ද දනියි, පිළියම් ඇති ඇවැත ද පිළියම් නැති ඇවැත ද දනියි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි.
5. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි. කවර පහකින් ද යත්: කර්මය (තජ්ජනීය ආදී සත් වැදෑරුම් සංඝ කර්මය) නොදනියි, කර්මය කරන ආකාරය නොදනියි, කර්මයට අදාළ වස්තුව (ඒ ඒ කර්මයට හේතු වන කරුණ) නොදනියි, කර්මයට අදාළ වත (කර්මයට ලක් වූ භික්ෂුව පිළිපැදිය යුතු වත්) නොදනියි, කර්මය සංසිඳවීම (වත් පුරා ඉල්ලා සිටින භික්ෂුවගේ කර්මය අහෝසි කළ යුතු බව) නොදනියි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි. කවර පහකින් ද යත්: කර්මය දනියි, කර්මය කරන ආකාරය දනියි, කර්මයට අදාළ වස්තුව දනියි, කර්මයට අදාළ වත දනියි, කර්මය සංසිඳවීම දනියි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි.
6. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි. කවර පහකින් ද යත්: වස්තුව (ඇවැත් කොටස් හතේ ඇවැත්වලට හේතු වූ කරුණ) නොදනියි, නිදානය (මේ ශික්ෂාපදය මේ නගරයේ පනවන ලද්දේ ය යන්න) නොදනියි, පැනවීම (ප්රඥප්තිය: මුල් පැනවීම, පසුව එකතු කළ පැනවීම, ඇවැත ඇති වීමට පෙර කළ පැනවීම යන තුන් ආකාර පැනවීම) නොදනියි, පද පෙරළිය (වචන නිවැරදි පිළිවෙළට යෙදීම; එය නොදන්නා තැනැත්තා ‘බුද්ධො භගවා’ යැයි කිව යුතු තැන ‘භගවා බුද්ධො’ යැයි පෙරළා යොදයි) නොදනියි, කතාවට ගැළපෙන වචන මග නොදනියි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය නොකළ යුතුයි.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි. කවර පහකින් ද යත්: වස්තුව දනියි, නිදානය දනියි, පැනවීම දනියි, පද පෙරළිය දනියි, කතාවට ගැළපෙන වචන මග දනියි. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් විසින් සංඝයා අතර විනිශ්චය කළ යුතුයි.