4. දිට්ඨාවීකම්ම වර්ගය
1. ස්වාමීනි, නොදැහැමි දිට්ඨාවීකම්ම (ඇවැත් දෙසීම්) කීයක් තිබේ ද?
උපාලි, නොදැහැමි දිට්ඨාවීකම්ම (ඇවැත් දෙසීම්) පහක් තිබේ. කවර පහක් ද යත්: ඇවැතක් නොවූ දෙයක් ඇවැතක් යැයි දෙසයි, දේසනාගාමිනී නොවූ (දෙසීමෙන් පිරිසිදු නොවන) බරපතල ඇවැතක් (සංඝාදිසේස හෝ පාරාජිකා ඇවැතක්) දෙසයි, දැනටමත් දෙසූ ඇවැතක් (නැවත) දෙසයි, හතර පස් දෙනෙකු සමඟ එකතු වී ඇවැත දෙසයි, (වචනයෙන් නොකියා) සිතින් පමණක් ඇවැත දෙසයි. උපාලි, මේ නොදැහැමි ඇවැත් දෙසීම් පහයි.
උපාලි, දැහැමි ඇවැත් දෙසීම් පහක් තිබේ. කවර පහක් ද යත්: ඇවැතක් වූ දෙයක් ඇවැත ලෙස දෙසයි, දේසනාගාමිනී (දෙසීමෙන් පිරිසිදු වන) ඇවැතක් දෙසයි, නොදෙසූ ඇවැතක් දෙසයි, හතර පස් දෙනෙකු සමඟ එකතු නොවී ඇවැත දෙසයි, සිතින් පමණක් නොව වචනයෙන් කියා ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පහයි.
2. උපාලි, තවත් නොදැහැමි ඇවැත් දෙසීම් පහක් තිබේ. කවර පහක් ද යත්: (මතය නිසා හෝ විනය කර්මයක් නිසා හෝ) නානාසංවාසක (තමා සමඟ එක්ව සංඝකර්ම නොකරන) භික්ෂුවක් ඉදිරියේ ඇවැත දෙසයි, වෙනත් සීමාවක සිටින භික්ෂුවක් ඉදිරියේ ඇවැත දෙසයි, ප්රකෘති තත්ත්වයේ නොසිටින භික්ෂුවක් (උක්ඛේපනීය කර්මය කරන ලද හෝ පොහොය හා පවාරණය නතර කරන ලද භික්ෂුවක්) ඉදිරියේ ඇවැත දෙසයි, හතර පස් දෙනෙකු සමඟ එකතු වී ඇවැත දෙසයි, (වචනයෙන් නොකියා) සිතින් පමණක් ඇවැත දෙසයි. උපාලි, මේ නොදැහැමි ඇවැත් දෙසීම් පහයි.
උපාලි, දැහැමි ඇවැත් දෙසීම් පහක් තිබේ. කවර පහක් ද යත්: සමානසංවාසක (තමා සමඟ එක්ව සංඝකර්ම කරන) භික්ෂුවක් ඉදිරියේ ඇවැත දෙසයි, එකම සීමාවේ සිටින භික්ෂුවක් ඉදිරියේ ඇවැත දෙසයි, ප්රකෘති තත්ත්වයේ සිටින භික්ෂුවක් ඉදිරියේ ඇවැත දෙසයි, හතර පස් දෙනෙකු සමඟ එකතු නොවී ඇවැත දෙසයි, සිතින් පමණක් නොව වචනයෙන් කියාම ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පහයි.
3. ස්වාමීනි, නොදැහැමි පිළිගැනීම් කීයක් තිබේ ද?
උපාලි, නොදැහැමි පිළිගැනීම් පහක් තිබේ. කවර පහක් ද යත්: (අනෙකා) කයින් දෙන දෙයක් (තමාගේ) කයින් නොපිළිගැනීම ය, (අනෙකා) කයින් දෙන දෙයක් (තමාගේ) කයට සම්බන්ධ දෙයකින් නොපිළිගැනීම ය, (අනෙකා) කයට සම්බන්ධ දෙයකින් දෙන දෙයක් (තමාගේ) කයින් නොපිළිගැනීම ය, (අනෙකා) කයට සම්බන්ධ දෙයකින් දෙන දෙයක් (තමාගේ) කයට සම්බන්ධ දෙයකින් නොපිළිගැනීම ය, අතහැර (විසිකර) දෙන දෙයක් (තමාගේ) කයින් හෝ කයට සම්බන්ධ දෙයකින් හෝ නොපිළිගැනීම ය. උපාලි, මේ නොදැහැමි පිළිගැනීම් පහයි.
උපාලි, දැහැමි පිළිගැනීම් පහක් තිබේ. කවර පහක් ද යත්: කයින් දෙන දෙයක් කයින් පිළිගැනීම ය, කයින් දෙන දෙයක් කයට සම්බන්ධ දෙයකින් පිළිගැනීම ය, කයට සම්බන්ධ දෙයකින් දෙන දෙයක් කයින් පිළිගැනීම ය, (අනෙකා) කයට සම්බන්ධ දෙයකින් දෙන දෙයක් (තමාගේ) කයට සම්බන්ධ දෙයකින් පිළිගැනීම ය, අතහැර (විසිකර) දෙන දෙයක් කයින් හෝ කයට සම්බන්ධ දෙයකින් හෝ පිළිගැනීම ය. උපාලි, මේ දැහැමි පිළිගැනීම් පහයි.
4. ස්වාමීනි, අනතිරික්ත (අතිරේක ලෙස සුදුසු කර නොදුන්) දෑ කීයක් තිබේ ද?
උපාලි, අනතිරික්ත දෑ පහක් තිබේ. කවර පහක් ද යත්: කැප කර නැත, පිළිගෙන නැත, ඔසවා පෙන්වා නැත, අත්පසෙහි (අතට ළඟා විය හැකි දුරෙහි) කර නැත, ‘මේ සියල්ල ඇති’ යි (වචනයෙන්) කියා නැත. උපාලි, මේ අනතිරික්ත දෑ පහයි.
උපාලි, අතිරික්ත දෑ පහක් තිබේ. කවර පහක් ද යත්: කැප කර ඇත, පිළිගෙන ඇත, ඔසවා පෙන්වා ඇත, අත්පසෙහි කර ඇත, ‘මේ සියල්ල ඇති’ යි කියා ඇත. උපාලි, මේ අතිරික්ත දෑ පහයි.
5. ස්වාමීනි, ආකාර කීයකින් පවාරණය (ආහාරය ප්රතික්ෂේප කිරීම) පෙනේ ද?
උපාලි, ආකාර පහකින් පවාරණය පෙනේ. කවර පහකින් ද යත්: (අනුභව කරමින් සිටින) ආහාරයක් පෙනේ, (ආහාර වර්ග පහ අතුරෙන්) එක් ආහාරයක් පෙනේ, (රියන් දෙකහමාරක් ඇතුළත) අත්පසෙහි සිටියි, (කයින්) ළඟට ගෙන එයි, (කයින් හෝ වචනයෙන්) ප්රතික්ෂේප කිරීම පෙනේ. උපාලි, මේ ආකාර පහෙන් පවාරණය පෙනේ.
6. ස්වාමීනි, නොදැහැමි පටිඤ්ඤාතකරණ (භික්ෂුව පිළිගත් පරිදි විනය කර්මය කිරීම) කීයක් තිබේ ද?
උපාලි, නොදැහැමි පටිඤ්ඤාතකරණ පහක් තිබේ. කවර පහක් ද යත්: භික්ෂුව පාරාජිකා ඇවැතකට පත් වී සිටියි, පාරාජිකා ඇවැතින් චෝදනා කරන විට ‘සංඝාදිසේස ඇවැතකට පත් වුණෙමි’ යි පිළිගනියි, සංඝයා ඔහුට සංඝාදිසේස ඇවැතට අනුව විනය කර්මය කරයි නම් එය නොදැහැමි පටිඤ්ඤාතකරණයකි. භික්ෂුව පාරාජිකා ඇවැතකට පත් වී සිටියි, පාරාජිකා ඇවැතින් චෝදනා කරන විට පාචිත්තිය ඇවැතක් -පෙ- පාටිදේසනීය ඇවැතක් -පෙ-