උපාලිපඤ්චකය
1. අනිස්සිත වර්ගය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “ස්වාමීනි, කොපමණ අංගයන්ගෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය (ගුරුවරයකුගේ ඇසුර) නොගෙන නොවිසිය යුතු ද?”
“උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන නොවිසිය යුතු ය. කවර පහකින් ද යත්: උපෝසථය (නව ආකාර වූ උපෝසථය) නොදනී, උපෝසථ කර්මය (අධර්මයෙන් හා සංඝයා සම්පූර්ණ නොවී (වර්ග ලෙස) කිරීම ආදී වශයෙන් සතර ආකාර වූ උපෝසථ කර්මය) නොදනී, පාතිමොක්ඛය (භික්ෂු, භික්ෂුණී මාතිකා දෙක) නොදනී, පාතිමොක්ඛය උදෙසීම (භික්ෂූන්ට පස් ආකාර ද භික්ෂුණීන්ට සතර ආකාර ද වශයෙන් නව ආකාර වූ පාතිමොක්ඛය උදෙසීම) නොදනී, වස් පහකට අඩු වූයේ වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන නොවිසිය යුතු ය.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන විසිය යුතු ය. කවර පහකින් ද යත්: උපෝසථය දනී, උපෝසථ කර්මය දනී, පාතිමොක්ඛය දනී, පාතිමොක්ඛය උදෙසීම දනී, වස් පහක් ඇත්තේ හෝ වස් පහකට වැඩි ඇත්තේ හෝ වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන විසිය යුතු ය.
2. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන නොවිසිය යුතු ය. කවර පහකින් ද යත්: පවාරණය (නව ආකාර වූ පවාරණය) නොදනී, පවාරණ කර්මය (අධර්මයෙන් හා සංඝයා සම්පූර්ණ නොවී (වර්ග ලෙස) කිරීම ආදී වශයෙන් සතර ආකාර වූ පවාරණ කර්මය) නොදනී, පාතිමොක්ඛය නොදනී, පාතිමොක්ඛය උදෙසීම නොදනී, වස් පහකට අඩු වූයේ වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන නොවිසිය යුතු ය.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන විසිය යුතු ය. කවර පහකින් ද යත්: පවාරණය දනී, පවාරණ කර්මය දනී, පාතිමොක්ඛය දනී, පාතිමොක්ඛය උදෙසීම දනී, වස් පහක් ඇත්තේ හෝ වස් පහකට වැඩි ඇත්තේ හෝ වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන විසිය යුතු ය.
3. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන නොවිසිය යුතු ය. කවර පහකින් ද යත්: ඇවැත හා නොඇවැත (ඒ ඒ ශික්‍ෂාපදයෙහි දක්වා ඇති ඇවැත හා නොඇවැත) නොදනී, සැහැල්ලු ඇවැත් හා බරපතළ ඇවැත් නොදනී, සාවසේස (පිළියම් කළ හැකි) හා අනවසේස (පිළියම් කළ නොහැකි) ඇවැත් නොදනී, දුට්ඨුල්ල (දරුණු) හා දුට්ඨුල්ල නොවන ඇවැත් නොදනී, වස් පහකට අඩු වූයේ වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන නොවිසිය යුතු ය.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන විසිය යුතු ය. කවර පහකින් ද යත්: ඇවැත හා නොඇවැත දනී, සැහැල්ලු ඇවැත් හා බරපතළ ඇවැත් දනී, සාවසේස හා අනවසේස ඇවැත් දනී, දුට්ඨුල්ල හා දුට්ඨුල්ල නොවන ඇවැත් දනී, වස් පහක් ඇත්තේ හෝ වස් පහකට වැඩි ඇත්තේ හෝ වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් දිවි ඇති තෙක් නිස්සය නොගෙන විසිය යුතු ය.”
4. “ස්වාමීනි, කොපමණ අංගයන්ගෙන් යුක්ත භික්ෂුවක් උපසම්පදා නොකළ යුතු ද, නිස්සය නොදිය යුතු ද, සාමණේරයකු ලවා උවටැන් නොකරවා ගත යුතු ද?”
“උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් උපසම්පදා නොකළ යුතු ය, නිස්සය නොදිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් නොකරවා ගත යුතු ය. කවර පහකින් ද යත්: ගිලන් වූ අතවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවටැන් කිරීමට හෝ උවටැන් කරවීමට හෝ, උපන් අනභිරතිය (උකටලී බව) දුරු කිරීමට හෝ දුරු කරවීමට හෝ, උපන් කුකුස (සැකය) ධර්මයෙන් හා විනයෙන් දුරු කිරීමට හෝ දුරු කරවීමට හෝ, අභිධර්මයෙහි (නාම රූප වෙන් කොට දැනීමෙහි) හික්මවීමට, අභිවිනයෙහි (සියලු විනය පිටකයෙහි) හික්මවීමට සමත් නොවේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් උපසම්පදා නොකළ යුතු ය, නිස්සය නොදිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් නොකරවා ගත යුතු ය.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් උපසම්පදා කළ යුතු ය, නිස්සය දිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් කරවා ගත යුතු ය. කවර පහකින් ද යත්: ගිලන් වූ අතවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවටැන් කිරීමට හෝ උවටැන් කරවීමට හෝ, උපන් උකටලී බව දුරු කිරීමට හෝ දුරු කරවීමට හෝ, උපන් කුකුස ධර්මයෙන් හා විනයෙන් දුරු කිරීමට හෝ දුරු කරවීමට හෝ, අභිධර්මයෙහි හික්මවීමට, සියලු විනය පිටකයෙහි හික්මවීමට සමත් වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් උපසම්පදා කළ යුතු ය, නිස්සය දිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් කරවා ගත යුතු ය.
5. උපාලි, තවත් අංග පහකින් යුක්ත භික්ෂුවක් උපසම්පදා නොකළ යුතු ය, නිස්සය නොදිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් නොකරවා ගත යුතු ය. කවර පහකින් ද යත්: අතවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂාවන්හි (ස්කන්ධකයෙහි එන වත් පිළිවෙත්හි) හික්මවීමට, ආදිබ්‍රහ්මචරිය නම් වූ සේඛපණ්ණත්ති ශික්ෂාවන්හි (පාරාජිකා, සංඝාදිසේස ආදී ශික්ෂාපදයන්හි) හික්මවීමට, අධිශීලයෙහි (පාතිමොක්ඛ සීලයෙහි) හික්මවීමට, අධිචිත්තයෙහි (ලෞකික සමාධි භාවනාවෙහි) හික්මවීමට, අධිප්‍රඥාවෙහි (ලෝකෝත්තර මාර්ග භාවනාවෙහි) හික්මවීමට සමත් නොවේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් උපසම්පදා නොකළ යුතු ය, නිස්සය නොදිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් නොකරවා ගත යුතු ය.
උපාලි, අංග පහකින් යුක්ත භික්ෂුවක් උපසම්පදා කළ යුතු ය, නිස්සය දිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් කරවා ගත යුතු ය. කවර පහකින් ද යත්: අතවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂාවෙහි හික්මවීමට, ආදිබ්‍රහ්මචරිය ශික්ෂාවෙහි හික්මවීමට, අධිශීලයෙහි හික්මවීමට, අධිචිත්තයෙහි හික්මවීමට, අධිප්‍රඥාවෙහි හික්මවීමට සමත් වේ. උපාලි, මේ අංග පහෙන් යුක්ත භික්ෂුවක් උපසම්පදා කළ යුතු ය, නිස්සය දිය යුතු ය, සාමණේරයකු ලවා උවටැන් කරවා ගත යුතු ය.”