4. 9. 8-10.
අටවැනි, නවවැනි, දසවැනි ශික්ෂාපද
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එකල භික්ෂුණීහු සික්ඛමානාවක (උපසම්පදාවට පෙර හික්මෙන තැනැත්තියක) ලවා ඇඟ ඉලීම (ඇඟ පිරිමැදීම) ද කරවති, සම්බාහනය (ඇඟ තෙරපීම) ද කරවති -පෙ- සාමණේරියක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහනය ද කරවති -පෙ- ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහනය ද කරවති. විහාර බලමින් ඇවිදින මිනිස්සු එය දැක, “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලීම ද සම්බාහනය ද කෙසේ නම් කරවත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතා භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලීම ද සම්බාහනය ද කෙසේ නම් කරවත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණීහු ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලීම ද සම්බාහනය ද කරවති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණීහු ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලීම ද සම්බාහනය ද කෙසේ නම් කරවත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සික්ඛමානාවක ලවා -පෙ- සාමණේරියක ලවා -පෙ- ගිහි කාන්තාවක ලවා ඇඟ ඉලීම හෝ කරවයි නම්, සම්බාහනය හෝ කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සික්ඛමානා නම්: දෙවසරක් ශික්ෂාපද සයෙහි හික්මුණු තැනැත්තිය යි.
සාමණේරා නම්: ශික්ෂාපද දහයක් රකින තැනැත්තිය යි.
ගිහිනී නම්: ගිහි ගෙයි වසන කාන්තාවට කියනු ලැබේ.
උම්මද්දාපෙය්ය වා යනු: ඇඟ ඉලීම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
පරිමද්දාපෙය්ය වා යනු: සම්බාහනය කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: ගිලන් වූවාට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවැනි, නවවැනි, දසවැනි ශික්ෂාපද යි.
4. 9. 11.
එකොළොස්වැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එකල භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල හිඳ ගනිති. භික්ෂූහු “භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල කෙසේ නම් හිඳ ගනිත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල හිඳ ගනිති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල කෙසේ නම් හිඳ ගනිත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනයක හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුස්ස පුරතො යනු: උපසම්පදාව ලැබූ භික්ෂුවක් ඉදිරියෙහි.
අනාපුච්ඡා යනු: අවසර නොවිමසා.
ආසනෙ නිසීදෙය්ය යනු: අඩු තරමින් බිම හිඳ ගත්තත් පාචිත්තිය ඇවැත් වේ.
අවසර නොවිමසූ විට නොවිමසූ බව හඟිමින් ආසනයෙහි හිඳී නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොවිමසූ විට සැකයෙන් යුතුව ආසනයෙහි හිඳී නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොවිමසූ විට විමසූ බව හඟිමින් ආසනයෙහි හිඳී නම් පාචිත්තිය ඇවැත් වේ.
අවසර විමසූ විට නොවිමසූ බව හඟී නම් දුක්කට ඇවැත් වේ. අවසර විමසූ විට සැකයෙන් යුතු වේ නම් දුක්කට ඇවැත් වේ. අවසර විමසූ විට විමසූ බව හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අවසර විමසා ආසනයෙහි හිඳින්නීට ද, ගිලන් වූවාට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
එකොළොස්වන ශික්ෂාපදය යි.