4. 9. 11.
එකොළොස්වැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එකල භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල හිඳ ගනිති. භික්ෂූහු “භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල කෙසේ නම් හිඳ ගනිත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල හිඳ ගනිති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණීහු භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනවල කෙසේ නම් හිඳ ගනිත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් භික්ෂුවක් ඉදිරියෙහි අවසර නොවිමසා ආසනයක හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුස්ස පුරතො යනු: උපසම්පදාව ලැබූ භික්ෂුවක් ඉදිරියෙහි.
අනාපුච්ඡා යනු: අවසර නොවිමසා.
ආසනෙ නිසීදෙය්ය යනු: අඩු තරමින් බිම හිඳ ගත්තත් පාචිත්තිය ඇවැත් වේ.
අවසර නොවිමසූ විට නොවිමසූ බව හඟිමින් ආසනයෙහි හිඳී නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොවිමසූ විට සැකයෙන් යුතුව ආසනයෙහි හිඳී නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොවිමසූ විට විමසූ බව හඟිමින් ආසනයෙහි හිඳී නම් පාචිත්තිය ඇවැත් වේ.
අවසර විමසූ විට නොවිමසූ බව හඟී නම් දුක්කට ඇවැත් වේ. අවසර විමසූ විට සැකයෙන් යුතු වේ නම් දුක්කට ඇවැත් වේ. අවසර විමසූ විට විමසූ බව හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අවසර විමසා ආසනයෙහි හිඳින්නීට ද, ගිලන් වූවාට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
එකොළොස්වන ශික්ෂාපදය යි.
4. 9. 12.
දොළොස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එසමයෙහි භික්ෂුණීහු භික්ෂුවකගෙන් අවසර නොගෙන ඒ භික්ෂුවගෙන් ප්‍රශ්න අසති. භික්ෂූහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසන්නාහු ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණීහු අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අනෝකාසකතං යනු: අවසර නොවිමසා (‘අසවල් කරුණ ගැන අසමි’ යි අවසර නොගෙන).
භික්ඛුං යනු: උපසම්පදාව ලත් භික්ෂුවකගෙන්.
පඤ්හං පුච්ඡෙය්ය යනු: සූත්‍රාන්තය ගැන අසන්නට අවසර ගෙන විනය හෝ අභිධර්මය හෝ ගැන අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. විනය ගැන අසන්නට අවසර ගෙන සූත්‍රාන්තය හෝ අභිධර්මය හෝ ගැන අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. අභිධර්මය ගැන අසන්නට අවසර ගෙන සූත්‍රාන්තය හෝ විනය හෝ ගැන අසයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අවසර නොගත් විට අවසර නොගත් බව හඟිමින් ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොගත් විට සැකයෙන් යුතුව ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොගත් විට අවසර ගත් බව හඟිමින් ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අවසර ගත් විට අවසර නොගත් බව හඟී නම් දුක්කට ඇවැත් වේ. අවසර ගත් විට සැකයෙන් යුතු වේ නම් දුක්කට ඇවැත් වේ. අවසර ගත් විට අවසර ගත් බව හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අවසර ගෙන අසන්නීට ද, කරුණක් වෙන් කොට නොකියා අවසර ගෙන කවර කරුණක් ගැන හෝ අසන්නීට ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දොළොස්වන ශික්ෂාපදය යි.