9. ඡත්තුපාහන වර්ගය
4. 9. 1.
පළමු ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ෂඩ්වර්ගික (සය දෙනෙකුගේ පිරිසක් වූ) භික්ෂුණීහු කුඩ (ඡත්‍ර) හා පාවහන් භාවිත කරති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු කුඩ හා පාවහන් භාවිත කරන්නේ කෙසේ ද?”යි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතාව භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීහු කුඩ හා පාවහන් භාවිත කරන්නේ කෙසේ ද?”යි -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු කුඩ හා පාවහන් භාවිත කරති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු කුඩ හා පාවහන් භාවිත කරන්නේ කෙසේ ද? මහණෙනි, මේ කරුණ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් කුඩ හා පාවහන් භාවිත කරයි නම් පාචිත්තිය වේ” යනුයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය මෙසේ පනවන ලද්දේ වේ.
2. ඒ කාලයෙහි එක්තරා භික්ෂුණියක් ගිලන් වූවා වෙයි. ඇයට කුඩ හා පාවහන් නැතිව පහසු නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ -පෙ- “මහණෙනි, ගිලන් භික්ෂුණියට කුඩ හා පාවහන් අනුමත කරමි. මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිලන් නොවී කුඩ හා පාවහන් භාවිත කරයි නම් පාචිත්තිය වේ” යනුයි.
3. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අගිලානා (ගිලන් නොවූවා) නම්: කුඩ හා පාවහන් නැතිව යමෙකුට පහසු වේ ද ඇය ය.
ගිලානා (ගිලන් වූවා) නම්: කුඩ හා පාවහන් නැතිව යමෙකුට පහසු නොවේ ද ඇය ය.
ඡත්ත (කුඩය) නම්: කවයක් බැඳි, කූරු බැඳි සුදු කුඩය ද, පැදුරු කුඩය ද, කොළ කුඩය ද යන කුඩ තුනකි.
ධාරෙය්‍ය (භාවිත කරයි නම්) යනු: එක් වරක් වුව ද භාවිත කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ගිලන් නොවූවා ගිලන් නොවූවා යැයි හඟිමින් කුඩ හා පාවහන් භාවිත කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. ගිලන් නොවූවා සැක ඇතිව කුඩ හා පාවහන් භාවිත කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. ගිලන් නොවූවා ගිලන් වූවා යැයි හඟිමින් කුඩ හා පාවහන් භාවිත කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
කුඩය භාවිත කර පාවහන් භාවිත නොකරයි නම් දුක්කට ඇවැත් වේ. පාවහන් භාවිත කර කුඩය භාවිත නොකරයි නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූවා ගිලන් නොවූවා යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූවා සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූවා ගිලන් වූවා යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: ගිලන් වූවාට ද, ආරාමයෙහි හෝ ආරාමය අවට ප්‍රදේශයෙහි (ආරාමූපචාරයෙහි) භාවිත කරයි නම් ඇයට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවැනි ශික්ෂාපදය යි.
4. 9. 2.
දෙවැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු යානයෙන් යන්නේ කෙසේ ද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යන්නේ කෙසේ ද?” කියා -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යන්නේ කෙසේ ද? මහණෙනි, මේ කරුණ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය මෙසේ පනවන ලදී.
2. එකල එක්තරා භික්ෂුණියක් ගිලන් වූවා ය. ඇයට පයින් යන්නට නොහැකි විය -පෙ- භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ -පෙ- “මහණෙනි, ගිලන් භික්ෂුණියට යානය අනුමත කරමි. මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිලන් නොවී සිට යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ.”