4. 9. 2.
දෙවැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු යානයෙන් යන්නේ කෙසේ ද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යන්නේ කෙසේ ද?” කියා -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු යානයෙන් යන්නේ කෙසේ ද? මහණෙනි, මේ කරුණ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය මෙසේ පනවන ලදී.
2. එකල එක්තරා භික්ෂුණියක් ගිලන් වූවා ය. ඇයට පයින් යන්නට නොහැකි විය -පෙ- භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ -පෙ- “මහණෙනි, ගිලන් භික්ෂුණියට යානය අනුමත කරමි. මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිලන් නොවී සිට යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අගිලාන (ගිලන් නොවූ) යනු: පයින් යන්නට හැකි වූවා ය.
ගිලාන (ගිලන් වූ) යනු: පයින් යන්නට නොහැකි වූවා ය.
යානය යනු: වය්හය (වසා ඇති ගැල), රථය, කරත්තය, සන්දමානිකාව (සැරසූ කුඩා රථය), සිවිකාව (දෝලාව), පාටඞ්කිය (උණ බටයක එල්ලා ගෙන යන දෝලාව) යි.
යායෙය්ය (යයි නම්) යනු: එක් වරක් හෝ යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ගිලන් නොවූවා ගිලන් නොවූවා යැයි හඟිමින් යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ. ගිලන් නොවූවා සැක ඇත්තී යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ. ගිලන් නොවූවා ගිලන් වූවා යැයි හඟිමින් යානයෙන් යයි නම් පාචිත්තිය ඇවැත් වේ. ගිලන් වූවා ගිලන් නොවූවා යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූවා සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූවා ගිලන් වූවා යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: ගිලන් වූවාට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවැනි ශික්ෂාපදය යි.
4. 9. 3.
තුන්වැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එකල එක්තරා භික්ෂුණියක් එක්තරා කාන්තාවකගේ නිවසට නිතර යන එන (කුලූපග) කෙනෙක් වූවා ය. එවිට ඒ කාන්තාව ඒ භික්ෂුණියට මෙසේ කීවා ය: “එන්න ආර්යාවෙනි, මේ සඞ්ඝාණිය (ඉණ පලඳනාව) අසවල් කාන්තාවට දෙන්න.” එවිට ඒ භික්ෂුණිය “මම මෙය පාත්‍රයෙහි දමා ගෙන ගියොත් මට අමතක වනු ඇතැ”යි සිතා එය පැළඳ ගෙන ගියා ය. වීදියේ දී එහි නූල කැඩුණු විට මිණි විසිරී ගියේ ය. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු සඞ්ඝාණිය පළඳින්නේ කෙසේ ද?” කියා. ඒ මිනිසුන් විසින් සමච්චල් කරනු ලැබූ ඒ භික්ෂුණිය ලැජ්ජාවට පත් වූවා ය. ඉක්බිති ඒ භික්ෂුණිය භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “භික්ෂුණියක් සඞ්ඝාණිය පළඳින්නේ කෙසේ ද?” කියා -පෙ- “මහණෙනි, භික්ෂුණියක් සඞ්ඝාණිය පැළඳි බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණියක් සඞ්ඝාණිය පළඳින්නේ කෙසේ ද? මහණෙනි, මේ කරුණ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සඞ්ඝාණිය පළඳියි නම් පාචිත්තිය ඇවැත් වේ.”