4. 9. 3.
තුන්වැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්ෂාපදයයි – එකල එක්තරා භික්ෂුණියක් එක්තරා කාන්තාවකගේ නිවසට නිතර යන එන (කුලූපග) කෙනෙක් වූවා ය. එවිට ඒ කාන්තාව ඒ භික්ෂුණියට මෙසේ කීවා ය: “එන්න ආර්යාවෙනි, මේ සඞ්ඝාණිය (ඉණ පලඳනාව) අසවල් කාන්තාවට දෙන්න.” එවිට ඒ භික්ෂුණිය “මම මෙය පාත්‍රයෙහි දමා ගෙන ගියොත් මට අමතක වනු ඇතැ”යි සිතා එය පැළඳ ගෙන ගියා ය. වීදියේ දී එහි නූල කැඩුණු විට මිණි විසිරී ගියේ ය. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු සඞ්ඝාණිය පළඳින්නේ කෙසේ ද?” කියා. ඒ මිනිසුන් විසින් සමච්චල් කරනු ලැබූ ඒ භික්ෂුණිය ලැජ්ජාවට පත් වූවා ය. ඉක්බිති ඒ භික්ෂුණිය භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “භික්ෂුණියක් සඞ්ඝාණිය පළඳින්නේ කෙසේ ද?” කියා -පෙ- “මහණෙනි, භික්ෂුණියක් සඞ්ඝාණිය පැළඳි බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණියක් සඞ්ඝාණිය පළඳින්නේ කෙසේ ද? මහණෙනි, මේ කරුණ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සඞ්ඝාණිය පළඳියි නම් පාචිත්තිය ඇවැත් වේ.”
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සඞ්ඝාණිය යනු: යම් කිසි ඉණ පලඳනාවකි.
ධාරෙය්‍ය (පළඳියි නම්) යනු: එක් වරක් හෝ පළඳියි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: ආබාධයක් හේතුවෙන් පළඳින්නීට ද, ඉණ නූලක් පළඳින්නීට ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වැනි ශික්ෂාපදය යි.
4. 9. 4.
සතරවැනි ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂුණීන් ස්ත්‍රී ආභරණ පැළඳූහ. මිනිසුන් හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීන් කෙසේ නම් ස්ත්‍රී ආභරණ පළඳිත් ද?”යි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතා භික්ෂුණීන්ට ඇසුණි. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීන් කෙසේ නම් ස්ත්‍රී ආභරණ පළඳිත් ද?”යි -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීන් ස්ත්‍රී ආභරණ පළඳින බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීන් කෙසේ නම් ස්ත්‍රී ආභරණ පළඳිත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ස්ත්‍රී ආභරණ පළඳියි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ඉත්ථාලඞ්කාර (ස්ත්‍රී ආභරණ) නම්: හිසේ පළඳින ආභරණ ද, ගෙලෙහි පළඳින ආභරණ ද, අතේ පළඳින ආභරණ ද, පාදයේ පළඳින ආභරණ ද, ඉණෙහි පළඳින ආභරණ ද වේ.
ධාරෙය්‍ය (පළඳියි නම්) යනු: එක් වරක් හෝ පළඳියි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: ආබාධයක් හේතුවෙන් පළඳින්නීට ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සතරවැනි ශික්ෂාපදය යි.