4. 9. 12.
දොළොස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්‍ෂාපදයයි – එසමයෙහි භික්ෂුණීහු භික්ෂුවකගෙන් අවසර නොගෙන ඒ භික්ෂුවගෙන් ප්‍රශ්න අසති. භික්ෂූහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසන්නාහු ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණීහු අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අනෝකාසකතං යනු: අවසර නොවිමසා (‘අසවල් කරුණ ගැන අසමි’ යි අවසර නොගෙන).
භික්ඛුං යනු: උපසම්පදාව ලත් භික්ෂුවකගෙන්.
පඤ්හං පුච්ඡෙය්ය යනු: සූත්‍රාන්තය ගැන අසන්නට අවසර ගෙන විනය හෝ අභිධර්මය හෝ ගැන අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. විනය ගැන අසන්නට අවසර ගෙන සූත්‍රාන්තය හෝ අභිධර්මය හෝ ගැන අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. අභිධර්මය ගැන අසන්නට අවසර ගෙන සූත්‍රාන්තය හෝ විනය හෝ ගැන අසයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අවසර නොගත් විට අවසර නොගත් බව හඟිමින් ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොගත් විට සැකයෙන් යුතුව ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ. අවසර නොගත් විට අවසර ගත් බව හඟිමින් ප්‍රශ්න අසයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අවසර ගත් විට අවසර නොගත් බව හඟී නම් දුක්කට ඇවැත් වේ. අවසර ගත් විට සැකයෙන් යුතු වේ නම් දුක්කට ඇවැත් වේ. අවසර ගත් විට අවසර ගත් බව හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අවසර ගෙන අසන්නීට ද, කරුණක් වෙන් කොට නොකියා අවසර ගෙන කවර කරුණක් ගැන හෝ අසන්නීට ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දොළොස්වන ශික්ෂාපදය යි.
4. 9. 13.
දහතුන්වන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක්තරා භික්ෂුණියක් සංකච්චිකාව (ඇඟ වසන සැට්ටය) නැතිව පිණ්ඩපාතය පිණිස ගමට ගියා ය. වීථියේ දී සුළි සුළඟක් ඇගේ සඟළ සිවුරු (දෙපට සිවුරු) ඉහළට ඔසවා දැමී ය. මිනිස්සු “ආර්යාවගේ පියයුරු හා උදරය ලස්සන ය” යි කෑ ගැසූහ. ඒ මිනිසුන් විසින් සමච්චල් කරනු ලැබූ ඒ භික්ෂුණිය ලැජ්ජාවට පත් වූවා ය. ඉක්බිති ඒ භික්ෂුණිය භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් සංකච්චිකාව නැතිව ගමට ඇතුළු වන්නී ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණියක් සංකච්චිකාව නැතිව ගමට ඇතුළු වූවා යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් සංකච්චිකාව නැතිව ගමට ඇතුළු වන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සංකච්චිකාව නැතිව ගමට ඇතුළු වෙයි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛුනී යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අසඞ්කච්චිකා යනු: සංකච්චිකාව නැතිව.
සඞ්කච්චිකා නම්: අකු ඇටයට පහළින් ද පෙකණියට ඉහළින් ද ඇති ශරීර කොටස වසනු සඳහා වූ වස්ත්‍රය යි.
ගාමං පවිසෙය්ය යනු: වැටකින් හෝ තාප්පයකින් වට කරන ලද ගමක ඒ වැට ඉක්මවා යන්නීට පාචිත්තිය ඇවැත් වේ. වට කර නැති ගමක ගම අවට පෙදෙසට (උපචාරයට) ඇතුළු වන්නීට පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: සිවුර (සංකච්චිකාව) පැහැර ගනු ලැබූ තැනැත්තීට ද, සිවුර (සංකච්චිකාව) නැති වූ තැනැත්තීට ද, ගිලන් වූවාට ද, සිහි නැතිව ගියාට ද, නොදැන ගියාට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දහතුන්වන ශික්‍ෂාපදයයි.
නවවන ඡත්තූපාහන වර්ගයයි.
ආර්යාවෙනි, පාචිත්තිය ධර්ම එකසිය හැටහයක් උදෙසන ලදී. ඒ ගැන ආර්යාවන්ගෙන් අසමි: ඔබ පිරිසිදු ද? දෙවන වරටත් අසමි: ඔබ පිරිසිදු ද? තුන්වන වරටත් අසමි: ඔබ පිරිසිදු ද? මෙහි ආර්යාවෝ පිරිසිදු වෙති. එහෙයින් නිශ්ශබ්දව සිටිති. මෙය මෙසේ දරමි.